ඔයාට මේ පුදුම දේවල් දකින්න ලැබෙන්නේ තායිලන්තයේදී විතරයි

සංචාරකයන්ගෙ ආකර්ෂණය කාලාන්තරයක් තිස්සේ දිනාගත්ත රටක් තමයි තායිලන්තය කියල කියන්නෙ. කෙසේ වෙතත් ගවේෂණය කරන්න අවශ්‍ය කෙනෙකුට තවමත් ලෝකයට පුදුමයක් වෙන දේවල් රාශියක් තායිලන්තයෙන් සොයා ගන්න පුලුවන් අතර ඇත්තටම තායිලන්තයේ අගනුවර, බැංකොක් කියලා කියන්නේ ලෝකයේ දිගම නමක් ඇති නගරය. මේ නමට කොටස් 21ක් ඇත .පහසුව තකා කොටසක් විතරයි භාවිතා කරන්නෙ. මේ වගේ තායිලන්තය ගැන අරුම පුදුම දේවල් ගොඩාක් ඇති අතර මෙම ලිපියෙන් ඒ ගැන ඔබට දැනගන්න හැකි.

1. කෝගි කැෆේ

කෝගි කියලා කියන්නෙ සුරතල් පෙනුමක් තියන සුනඛ විශේෂයක් නේ. තායිලන්තයේ සුප්‍රකට කෝගි කැෆේ එකේ අයිතිකරුවන්ට මුලින්ම කෝගි සුනඛ පැටව් 7 දෙනෙක් හිටියා. මේ ගාන එන්න එන්න වැඩි මිසක් අඩු උනේ නම් නැහැ. මේ දෙන්නටම ඕන වුණා මේ බලු සුරතලුන් එක්ක ගෙවන විනෝදජනක ජීවිතය අනිත් අය වෙනුවෙනුත් විවෘත කරන්න. ඉතින් දැන් එතනදි බලු සුරතුලුන් සමඟ විනෝද වෙන්නත් රසම රස ආහාර වේලක රසක බලන්නත් ඉඩකඩ තියනවා.

2. ඔයාගෙම සෙල්ෆියක් එක්ක කෝපි කෝප්පයක් බොන්න කැමතිද?

තායිලන්තයේදි කෝපි රස විඳිනවා නම් ඒක කරන්න පුලුවන් කෝපි වගේම රසවත් තවත් ක්‍රම රාශියක් තියනවා. කේසී සෙල්ෆි කොෆි කියන මේ කෝපි හලේ ෆේස්බුක් ගිණුමට ඔබ කල් තියා ඔබේ සෙල්ෆියක් යවලා තිබ්බොත් කෝපි ඇනවුම ලබාගන්න කොට කප් එක උඩ ඔබේ රූපය ලස්සනට ප්‍රින්ට් කරලා දෙනවා. කෝපි විතරක් නෙවෙයි වෙනත් බීම වර්ගත් මේ විදියට ලබාගැනීමේ පහසුකම තියනවා.

3. අලි බෙටි සිහිවටන

තායිලන්තයේ චියැන්ග් – මයි ප්‍රදේශය පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස ප්‍රසිද්ධයි. එහෙ ද එලිෆන්ට් පු පු පේපර් පාර්ක් හිදී ඔබට අලි බෙටි ආශ්‍රිත කඩදාසි නිපදවන ක්‍රියාවලියට සහභාගි වෙලා ඔබේම කඩදාසිත් ඒ වගේම ඒ ආශ්‍රිත වෙනත් සිහිවටනත් නිර්මාණය කිරීමේ අවස්ථාව හිමි වෙනවා.‌මේ ක්‍රියාවලිය ඉතාම විනෝදයි, අලි බෙටි එකතු කරන එක, සාම්ප්‍රදායික නිශ්පාදන ක්‍රම භාවිතා කරන එක, නිර්මාණ කරන එක විනෝදජනකයි වගේම පරිසර හිතකාමියි.

4. තායිලන්තයේ ජල සැනකෙලි

ඔබ අප්‍රේල් මාසේ තායිලන්තයේ සංචාරය කරන්න ගියොත් ඔබට අවස්ථාව තියෙනවා තයිලන්තයේ සොන්ග්‍ක්‍රන් ලෙස හඳුන්වන ජල උත්සවයට සහභාගි වෙන්න. මෙය තායි නව වසර සැමරීම ආරම්භ කරන්න කරන චාරිත්‍රයක්. හැමෝම වතුර බාස්කට් සහ වතුර විදින තුවක්කු වලින් වතුර විද ගන්නවා. විශ්වාසයක් තියෙනවා මෙයින් කෙනෙක්ව පාරිශුද්ධත්වයට පත් වෙනවා කියලා. කාටවත් මේ උත්සවයේදි නම් තෙමෙන්නෙ නැතුව බේරෙන්නෙ ඉඩක් ලැබෙන්නේ නැහැ.

5. සැබෑ ළැමයින් වගේ පෙනෙන බෝනික්කන් ගෙනෙන වාසනාව

තායිලන්තය කියන්නෙ විවිධ විශ්වාසයන්ගෙන් සහ චාරිත්‍ර වලින් පිරුණු රටක්. එහෙදි ඔබට හිතා ගන්න බැරි අමුතු චාරිත්‍ර ගැන අහන්න ලැබෙනවා.ලූක් තෙප් (ළමා සුරඟන)ලෙස හඳුන්වන ජීවමාන පෙනුමැති බෝනික්කන් විශේෂය තායි ජනතාව ඉතාම පූජනීය වස්තුවක් ලෙස සළකනවා.මේ බෝනික්කන්ට යහපත්ව සැළකීමෙන් වාසනාව උදා කරගත හැකි බව ඔවුන් තදින් විශ්වාස කරනවා. ඒ හින්දා මේ බෝනික්කන් තායිලන්තයේ කාර්‍යාලවල එහෙමත් මේස මත ඉන්නවා දැක ගන්න පුලුවන්. ඒ වගේම බෝනික්කාගේ ඇඳුම් දිනපතා මාරු කරන්න, ඔවුන්ව පිරිසිදු කරන්න, බෝනිකාව බලාගන්න ආයම්මලා ගන්න වගේම රෙස්ටුරන්ට් වලින් විශේෂ කෑම වර්ග‍ අරන් දෙන්නත් තායි ජනතාව පෙළඹෙනවා.

6. සමුත් ප්‍රකාන් – පුදුමාකාර ගොඩන්ගිලි ඇති ඉපැරණි නගරය

අක්කර 320ක් පුරා පැතිරුණු පැරණි උද්‍යාන, ගොඩනැගිලි සහ ජලයෙන් පිරුණු මේ නගරය සංචාරකයන්ගේ පාරාදීසියක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. එක්තරා භූ විද්‍යාත්මක සැකැස්මට අනුව පිහිට වූ විවිධ විදියේ ගොඩනැගිලි 116ක් මේ ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. මෙහි ප්‍රධාන අරමුණ තායිලන්තයේ අනාගත පරම්පරාවන් වෙනුවෙන් ඔවුන්ගේ අනන්‍ය සංස්කෘතිය අරක්ෂා කරතැබීම.මෙහි වඩාත්ම සිත් ඇද ගන්නා නිර්මාණය තමයි විශාල මාළුවෙකුගේ ආකෘතියකින් වටවී තිබෙන සුමෙරු කඳුකර මාළිගාව.

7. කුරුල්ලෙකු වගේ ඉන්න පුලුවන් ට්‍රී හවුස්

ලෝකයේ කලබලකාරී බවින් මිදිලා, පරිසරයත් එක්ක ඒකාත්මික වෙලා ඉන්න කැමති අයට කීමාලා වනයේ සැඟවිලා තියන ට්‍රී හවුසස් තෝරා ගන්න පුලුවන්. උදේ නැගිටලා යෝගා ටිකක් කරලා, සම්බාහනයකුත් ලබාගෙන, ප්‍රාදේශීය බෝග සහ ඖෂධ වර්ග වලින් හදපු කෑම කමින් ඉන්න පුලුවන්. කැමති නම් ට්‍රී හවුස් එකක උඩම තියන නාන තටාකයක් සහිත ගෙයක් තෝරා ගන්න පුලුවන්. ගැඹුරු තටාකයේ ගිලිලා අවට පැතිරුණු මහා වනය වගේම ඈතින් පෙනෙන මුහුදු දර්ශනයත් රස විඳින්න පුලුවන්.

8. භයා-නක සාප්පු අත්දැකීමක්

සමහර අය සාප්පු සවාරි යන්න භාණ්ඩ මිළදී ගන්න හරිම කැමතියි. තවත් සමහර අය ඉන්නවා ත්‍රාසජනක දේවල් කරන්න කැමතියි. මේ දෙකටම කැමති අයට නියම අත්දැකීමක් ගන්න පුලුවන් තැනක් තමයි මීක්ලොන්ග් මාකට් එක. මේකත් සාමාන්‍ය එළවලු සහ වෙනත් උයන පිහින බඩු ගන්න පුලුවන් මාකට් එකක්,නමුත් විශේෂත්වය තියෙන්නේ මේක පිහිටලා තියෙන්නෙ රේල් පාර දෙපැත්තෙ, රේල් පාරෙ ගාවෙන දුරින්. දවසට දෙතුන් වතාවක් මෙතනින් කෝච්චිය යනකොට වෙළෙන්දන් තමන්ගෙ බඩු පස්සට කරගෙන ඉක්මණින් ඈත් වෙලා කෝච්චියට ඉඩ දෙනවා.ගැනුම්කරුවන්ට කෝච්චි පාර දිගේ ඇවිදින ගමන් බඩු ගන්න පුලුවන්. නමුත් ඉතාම ප්‍රවේශම් සහගත වෙන්න වෙනවා.

10. හිරකූඩුවක් වගේ හෝටලයක්

හිරේ ඉන්නකොට දැනෙන්නෙ කොහොමද කියල දැනගන්න හිරේ යන්නම ඕනම නෑ. තයිලන්තයේ බැංකොක් නුවර සූක් ස්ටේෂන් එකේ තියන හිර කූඩුවක ආකෘතිය අනුව හදපු මේ හෝටලයේදි ඔබට ඊට ආසන්න අත්දැකීමක් ගන්න පුලුවන්. නමුත් වෙනසකට තියෙන්නෙ ඔබට හිරේදි හම්බෙන කෑම වලට වඩා ඉතාම ප්‍රණීත ආහාර පාන ලබාගන්න පුලුවන්. ‍යතුර වෙනුවට පාවිච්චි කරන්න මෙහිදී ඔබට නේවාසික අංකයක් වගේම හිරේදි අඳින විදියේ ඇඳුමකුත් ලැබෙනවා. අනිත් අමුත්තන් එක්ක එකම කාමරයක කූරු ගණින්න වගේම ඒකත් මදිනම් හුදකලා හිර කුටියක් තෝරා ගන්නත් පුලුවන්.‌නමුත් ඔබට ආස හිරකූඩුවක අත්දැකීම ලබන්න නම් ලංකාවෙදි තරකාරයෙකුට දෙකක් ගහලා ඊට වඩා ගොඩාක් ගණන් අඩුවට මේ අත්දැකීම ගන්න පුලුවන්.තායිලන්තයේ තවත් මේ වගේම පුදුමාකාර දේවල් ගොඩාක් තියනවා. අපි තවත් ලිපියකින් ඔබට ඒවා ගැනත් කියන්නම්. ඔබ තායිලන්තයේ ගිහින් තියනවද? මොනවද දැකපු අරුම පුදුම දේවල්? ඔයා සදහන් කරන්න.