ලොව වයස්ගතම විවාහක යුවළ ඉක්වදෝරයෙන්

දැනට ජීවතුන් අතර සිටින ලොව වයස්ගතම විවාහක යුවළ ඉක්වදෝරයෙන් හමුවී තිබෙනවා.110 හැවිරිදි ජුලියෝ සීසර් මෝරා සහ 105 හැවිරිදි ඔහුගේ බිරිඳ මැක්ලොවියා ක්වින්ටෙරෝස්ගේ විවාහ ජීවිතයට මේ වන විට හැත්තෑ නව වසරක් ගතවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා .

1910 මාර්තු 10 වැනිදා උපන් ජුලියෝ හා 1915 ඔක්තෝබර් 16 වැනිදා උපන් මැක්ලොවියා හමුවී තිබෙන්නේ එක්තරා පාසල් නිවාඩු කාලයකදීයි. ඒ මැක්ලොවියාගේ සොයුරියක හා විවාහ වී සිටි ජුලියෝගේ ඥාති සහෝදරයකු නිසායි.

පසුව පෙමින් බැඳුණු මේ දෙදෙනා හත් වසරක ප්‍රේම කතාවකට පසුව විවාහ වන්නේ 1941 පෙබරවාරි 7 වැනිදා තමන්ගේ මිතුරන් කීප දෙනකුගේ සහභාගිත්වයෙන් පැවති කුඩා රහසිගත විවාහ උත්සවකදී බවත් වාර්තා වෙනවා. ඒ දෙපාර්ශ්වයේම වැඩිහිටියෝ මේ සම්බන්ධයට විරෝධය දැක්වීම නිසායි.එහෙත් පසු කලෙක මෙම දෙදෙනාට ඔවුන්ගේ දෙමාපියන්ගේ හා ඥාතීන්ගේ ආශිර්වාදයද ඔවුන්ට ලැබී තිබෙනවා.

වෘත්තියෙන් ගුරුවරුන් වූ මේ මේ දෙදෙනාට දරුවන් පස් දෙනෙක් ඉන්නවා. මේ පස් දෙනාටම මොවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීලා. මේ දරුවන් පස් දෙනාට දරුවන් 11 දෙනෙක් සිටිනවා . එම දරුවන් එකොළොස් දෙනාට දරුවන් 21 දෙනෙක් . එම දරුවන් 21 දෙනාටද මේ වන විට දරුවන් නව දෙනෙක් සිටින බව තමයි සඳහන් වෙන්නේ..

ජුලියෝගේ සහ මැක්ලොවියාගේ වැඩිමහල් පුතු ඔහුට වසර 58 දී මිය ගොස් තිබෙනවා. සෙසු දරුවන් තවමත් ජීවත් වෙනවා.වයස්ගතම විවාහක යුවළ ලෙස ගිනස් වාර්තාවද ඔවුන් සතුයි . ඔවුන්ගේ විවාහ ජීවිතය හැත්තෑ නව වසරක් වුවද ඊට පෙර හත් වසරක් තිස්සේ ප්‍රේම කළ ඔවුන්ගේ ආදර කතාව අසූ හය වසරක් වෙනවා.