ආදරණිය ටෙනිසන් ජිවිතයෙන් සමුගන්න පෙර කියූ කතාව

ටෙනිසන් කුරේ කලාකරුවාණන් සිය ජීවන රඟ මඩලින් බැස ගියේ ලාංකික රසික රසිකාවියන් නොසිතූ මොහොතකයි.කුඩා තරුණ මහලු වයස් බේදයකින් තොරව ඔහුට ආදරය කළ ලාංකික ජනතාව ඔහුගේ වියෝව අසා දුක්වන මොහොතකි මේ.ටෙනිසන් කුරේ ආදරණිය කලාකරුවාණන් සිය ජීවිතය පිළිබඳ අපූරු ආවර්ජනයක් 2020 සැප්තැම්බර් 01 වන දා කරනු ලැබුවා.ඒ මතක ආවර්ජනය පහතින් කියවිය හැකියි.‘මගේ උපන් ගම මොරටුව. මගේ තාත්තා එඩ්ගා ආතර් කුරේ. අම්මා රත් මුදියන්සෙලාගේ රන් මැණිකා. පාසල් ගියේ මොරටුවේ මෙතෝදිස්ත පාසලට. පාසල් කාලේ ඉඳන්ම තමා මම කලාවට ආස කළේ. පාසල් කාලෙදිම මම වෙසක් නාට්‍යයක් කළා. ඒ අපායේ තප්පර අසූහාර දහසක් කියලා. ඒ නාට්‍ය පිටපත ලියලා නිෂ්පාදනය කළෙත් මම. පසුකලෙක මේ කතාවෙන්ම චිත්‍රපටයක් කළා.

මම මුලින්ම බැලුව චිත්‍රපටය තමයි පුරුෂ රත්නය. එහි එන ළමා නළුවන් ගේ රඟපෑම දැකලා තමා මට ආසාවක් ආවේ රඟපාන්න. අල්ලපු ගෙදර චිත්‍රපටය මම එකොළොස් වතාවක් විතර නරඹලා තියෙනවා. එහි දෙබස් පවා මට කට පාඩම්. ඒ වගේම රේඛාව චිත්‍රපටයේ රංගනයන් දැක්කමත් සිනමාවට කලාවට තියෙන ආසාව වැඩි වුණා.සිනමාවට කොච්චර නම් උනන්දුවක් තිබ්බද කියනවා නම් මම චිත්‍රපට නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණවලටත් සහභාගී වෙලා තියෙනවා. නමුත් ප්‍රතික්ෂේප වීම් තමා වැඩි. මොකද මම ලස්සන නැහැනේ. දන්වලා එවන්නම් කියලා තමා හුඟක් තැන්වලින් මට කිව්වේ.ඔය අතරේ මම දවසක් ගියා විනෝද සමය මෙහෙය වන ඇල්ප්‍රඩ් පෙරේරා සහභාගි වන උත්සවයකට. එදා ඇල්ප්‍රඩ් පෙරේරා මහතා පොඩ්ඩක් ප්‍රමාද වෙනවා පුළුවන් නම් විහිළුවක් කරලා සභාව පිනවන්න කියලා මට අවස්ථාවක් ලැබුණා. කොහොම හරි මම සභාව පිනවන අතරේ ඇල්ප්‍රඩ් පෙරේරා මහතා ආවා. මම නතර කරන්න හැදුවත් ඔහු කිව්වා මට දිගටම කරගෙන යන්න කියලා. කොහොම හරි එදා ඇල්ප්‍රඩ් පෙරේරා මහතා මගේ කුසලතාව අගය කළා.ඊට පස්සේ මට විනෝද සමය නැරඹීමට ගුවන් විදුලියට යන්න අවස්ථාවත් ලැබුණා.

1972 හද ඇඳි සිත්තම් චිත්‍රපටයේ පිටපත ලිව්වේ මම. ඒ මට රඟපාන්න තියෙන ආසාවට. අම්මත් එක්ක රණ්ඩු වෙලා ගෙදර වහල හදන්න තිබ්බ සල්ලිවලින් තමා චිත්‍රපටය කළේ. ඒකෙ රඟපෑවේ සෝනියා දිසා, දොන් සිරිසේන, රෝහිණි ජයකොඩි වගේ දක්ෂ අය. හැබැයි ඉතින් චිත්‍රපටය තිරගත කර ගන්න ලැබුණේ නැහැ. අන්තිමට ගෙදර වහලත් නැහැ. චිත්‍රපටයත් නැහැ.හේමසිරි සෙල්ලප්පෙරුමගේ ජීවන්ති කියන චිත්‍රපටයේ සුළු චරිතයකින් තමා මම සිනමා ලෝකයට අවතීර්ණ වෙන්නේ. ඉස්සර ඉඳන්ම මම ළඟින්ම ඇසුරු කරපු දෙන්නෙක් තමා දිනේෂ් ප්‍රියසාද් සහ ගිවන්ත කියන්නේ.

දවසක් මට දිනේෂ් කිව්වා හොඳ පිටපතක් ලියන්න කියලා. ඒ අනුව තමා මම නොම්මර එකයි පිටපත ලිව්වේ. චිත්‍රපටය නිෂ්පාදනය කළේ රාජ් රණසිංහ. හැබැයි ඔහු කැමති වුණේ නැහැ මුලින් මට මේකේ ප්‍රධාන චරිතය දෙන්න.දිනේෂ්ට ඕනේ වෙලා තිබ්බා මට දෙන්න. අන්තිමට පොඩි කොටසක් කරලා පෙන්නන්න කිව්වම මම කරපු කොටසට රාජ් ට හිනා ගියා. ඊට පස්සේ තමා බන්දු සමරසිංහයි මමයි රඟපෑවේ.දිනේෂ් ගේ ඊළග චිත්‍රපටය වන පෙරළිකාරයෝ චිත්‍රපටයේ කතාව දෙබස් ලිව්වෙත් මම. කොහොම හරි පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් පස්සේ විජය කුමාරණතුංග මා එක්ක හොඳටම හිතවත් වුණා. දවසක් විජය අයියා කතා කරලා ඇහුවා මොකද කරන්නේ කියලා. අපි කිව්වා මොනවා කරන්නත් මේ චිත්‍රපටය එළියට එන්න එපැයි කියලා. එතකොට විජය අයියා කිව්වේ එහෙම කරන්න එපා හොඳ චිත්‍රපට පිටපතක් ලියන්න කියලා. ඒ අනුව ලිව්ව පිටපත තමා වරදට දඬුවම චිත්‍රපටය.එතනින් පස්සේ ඉතින් දිගටම චිත්‍රපට ලිය ලියා කරපු එක තමයි කළේ.කම්ඕගෝ චිකාගෝ, හිත හොඳ සෙල්ලම්, කොලොම්පුරේ වගේ චිත්‍රපට. අපි දෙන්නට දෙන්නා හොඳ අවබෝධයෙන් තමා වැඩ කළේ. මගේ හැම චිත්‍රපටයකම හාස්‍ය තමා ප්‍රබල සාධකය වුණේ. 1989 අකීකරු පුත්‍රයා කෙටි චිත්‍රපටය කතාව ලියලා අධ්‍යක්ෂණය කළා.

වේදිකාවේ ජනප්‍රියම හාස්‍යෝත්පාදක රංග ශිල්පියෙක් වූ සිසිල් ගුණසේකර මහතාගේ නාට්‍යවලින් මම නමක් ගොඩනගා ගත්තා. රැල්ල, වඩමාරච්චි, කැප්ටන් කූල්,වැනි නාට්‍ය වටා මෙන්ම විශාල ප්‍රේක්ෂක පිරිසක් මගේ වටාත් එකතු වුණා.1998 නම් සිංහල චිත්‍රපටවලට ඉතා අඳුරු කාලයක් වෙලා තිබ්බේ. මොකද සිනමාශාලා වෙත සෙනඟ නැතිව සමස්ත සිනමා කර්මාන්තයම අන්ත අසරණවෙලා තිබ්බේ. ඔය වෙලාවේ තමා රෝයිද සිල්වා මාවයි බන්දුවයි දාලා ” රෑ දනියෙල් දවල් මිගෙල් ” චිත්‍රපටය කළේ. පුදුමේ කියන්නේ වැහෙන්න ඔන්න මෙන්න තිබ්බ සිංහල සිනමා රසිකත්වයට නව ජීවයක් ඇවිල්ලා සිනමාශාලා පිරෙන්න සෙනඟ ආවා.

රෑ ඩැනියල් දවල් මිගෙල් අතිශයින්ම සාර්ථකව දින 100ත් පසුකරමින් ප්‍රදර්ශනය වුණා. කාලෙකට පස්සේ බොහෝ සිනමාහල්වල හවුස් ෆුල් පුවරු දිස් වුණා. මේක දැක්ක රෝයිද සිල්වා ඒ සාර්ථකත්වයෙන් උපරිම ප්‍රයෝජනය අරන් රෑ ඩැනියල් දවල් මිගෙල් 2 නිර්මාණය කළා 2000 දී. හැමෝම මවිත කරමින් පළමු එකේ වාර්තාවද බිඳ හෙළමින් රෑ ඩැනියල් දවල් මිගෙල් 2 ත් සිනමා ශාලා හවුස් ෆුල් වෙමින් දින 100 ඉක්මවලා ප්‍රදර්ශනය වුණා.චිත්‍රපට 80කට වැඩිය රඟපාලා තියෙනවා. 1989 අකීකරු පුත්‍රයා ( කෙටි චිත්‍රපටය ) සහ 2011 දී තැන්ක් යූ බර්ටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඒ එක්කම චිත්‍රපට රැසක කතාව දෙබස් ලිව්වා. සිනමාවේ දිගටම නිර්මාණවලට දායක වුණා. ජිවිතේ වැඩියෙන්ම මට වටින්නේ ජනතා සම්මානය. ඒක නොඅඩුව ලැබෙනවා. ඒ නිසා තෘප්තිමත් ජිවිතයක් ගත කරනවා.’