පාන්බේකරියෙන් පටන්ගෙන ඇමරිකාවේ අපේ විද්‍යාඥයාගේ කතාව

ජේෂ්ඨ විද්‍යාඥ රොෂාන් ලියනගේ මහතාගේ ජීවිත ගමනෙන්…ජීවිතය ජයගන්නවා කියන්නෙ අභියෝග ජයගන්නවා කියන එක.ලෝකය වෙනස් කරන්න දායක වෙලා තියෙන්නෙ, සමහරවිට අපටත් වඩා ජිවිතයට අභියෝග ආපු මිනිස්සු. මේ කතාවත් ඒ වගේ කතාවක්. ලෝකෙටම නව ඖෂධ හදුන්වාදෙන ඇමෙරිකාවේ ඉහළ ඖෂධ සමාගමකට නැතිවම බැරි පුද්ගලයකු වෙන්න අපේ රටෙන් බිහිවුණ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු සමත්වෙලා තියෙනවා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යකුවන ඒ මහතා පසුගිය දිනෙක ලංකාවට පැමිණියා.මම ඔබව කොහොම හැදුන්නුවොත්ද කැමැති ?මට මොන විධියට කතා කළත් කමක් නැහැ.( සිනාසෙයි) මගේ වෘත්තිය ගත්තම මම දැන් රැකියාව කරන්නෙ ඇමෙරිකාවේ ඖෂධ සමාගමක ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු ලෙසයි.

ඒක දුර ගමනක්. ඒ ගැන අහන්න කලින් පවුලෙ විස්තර සහ ගම ගැන කතා කළොත් ?මගේ අම්මා වී.ඒ කුසුමලතා, තාත්තා ඩබ්ලිව් සී නන්දසේන, මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. මම තමයි පවුලෙ වැඩිමලා.කටුක අත්දැකීම් කොතරම් තිබුණත් ගාල්ලෙ මලවැන්න මම හැදී වැඩුණු ගම්මානය ඉතා සුන්දර ගම්මානයක්. මම පටන් ගත්තෙ ගමෙන්.

පාසල් මතකය අවධිකළොත් ?මම මුලින්ම ස්කොලෙ ගියෙ ගාල්ලෙ කලුපෙ කණිටු විදුහලට, පහ ශ්‍රේණියෙන් පසුව පැරෑලිය ජිනරතන විද්‍යාලයට, උසස් පෙළ සදහා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත්වුණා.

ජිවිතයේ මිහිරිම අතීතාවර්ජනය තියෙන්නෙ පාසල් කාලයේ ඔබට ඒක දැනෙන්නෙ කොහොමද ?පාසල් කාලය ගැන මට තියෙන්නෙ අනෙක් අයට වඩා වෙනස් මතකයක්. පාසල් යන්න ලැබුණුවාරයන්ට වඩා මට පාසල් නොයන්න හේතු ගොඩක් තිබුණා. අපේ තාත්තාට තිබුණෙ බේකරියක්. පළමු පංතියේ ඉදන්ම පාන්දර 4.30ට නැගිටලා තාත්තගෙ බේකරියෙ වැඩ කරන්නයි මට පැවැරිලා තිබුණෙ. ඉගෙන ගන්න ඕන. පාසල් යන්න ඕන කියලා බල කෙරෙන ගෙදර පරිසරයක් මට තිබුණෙ නැහැ. ඊට වඩා මම බේකරියෙ වැඩ කරනවාට ගෙදර අය කැමැති වුණා. මම පාසල් යන්න පටන් ගත්තෙ බේකරියෙ වැඩ වලින් බේරෙන්න.පාන්දර 4.30 ඉදන් බේකරියෙ වැඩ කරන මට උදේ 7.30ට බේකරියෙන් පැනගන්න පුළුවන් වුණේ පාසල් යන්න උවමනා බව කියපුවාමයි.කලුපෙ කණිටු විදුහලෙන් පැරෑලියෙ ජිනරතන විද්‍යාලයට යන්නෙ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන්ද ?අනේ නැහැ. මම ඇත්තටම ශිෂ්‍යත්ව විභාගෙ කියලා එකක් තිබුණද කියලවත් දන්නෙ නැහැ. මම කලින් කිව්ව පරිසරයක ශිෂ්‍යත්වයට උනන්දු කිරීමක් තියෙන්න බැහැනේ. සිද්ධවුණේ කණිටු විදුහලේ හයේ පංතියේ ඉදන් පංති නැති නිසා පැරෑලිය ජිනරතන විද්‍යාලයට ඇතුළත්වීමයි. මට මතකයි අපි එක්ක හිටපු ළමයි ශිෂ්‍යත්වයට පංති ගියා. මම කවදාවත් ඒ වගේ පංති ගිහින් නැහැ. ඒ නිසා ශිෂ්‍යත්වය ගැන මතකයක් නැහැ. එහෙම විභාගයක් ලිව්වෙත් නැහැ.

ජිනරතන විද්‍යාලයට ඇතුළත් වු පසුව ඔබේ දෛනික ජීවිතය වෙනස් වුණාද ?බේකරියෙ වැඩ ඉවරවෙලා මම හුගක් දවසට පාසල් ගියේ ප්‍රමාද වෙලා. සාමාන්‍යයෙන් ප්‍රමාද වෙලා පාසල් යන ළමුන්ට පොදුවේ ලබා දෙන දඩුවම් විදින්න මට හැමදාම වගේ සිද්ධ වුණා. විදුහල්පිතිතුමා මට දඩුවම් දුන්නා. හැබැයි විදුහල්පතිතුමා මුලින් දැනගෙන හිටියෙ නැහැ මම බේකරියෙ වැඩ ඉවරවෙලා ස්කෝලෙ එන්නෙ කියලා. නමුත් ගුරුවරියන් දෙදෙනෙකු නිසා මගේ ජීවිතය වෙනස් වුණා.කවුද ඒ ගුරුවරියන් ?මාලා මිස්, සුරම්‍යා මිස්.

ගුරුවරියන් දෙදෙනෙක් කොහොමද අනෙක් ගුරුවරුන්ට වඩා වෙනස් වුණේ ?මගේ ගෙදර පරිසරය ගැන මාලා මිස්ට අවබෝධයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි බේකරියේ වැඩ කරලා, සමහර දවසට පාන් බෙදලා, මම ස්කොලෙ එන්නෙ කියලා මාලා මිස් දැනගෙන හිටියා. නිතර නිතර විදුහල්පතිතුමාගෙන් දඩුවම් විදිනකොට ඒක බලාගෙන ඉන්න බැරි කමට මාලා මිස් විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරු හැමෝටම වගේ මගේ පරිසරය තේරුම් කරලා දුන්නා. ඒ නිසා වෙනදාට වඩා වෙනස් විධියට ගුරුවරු මගේ ගැන හිතන්න පටන් ගත්තා.

එතකොට සුරම්‍ය මිස් ?සුරම්‍ය මිස් 9 පංතියේ වාණිජ කරන්න ආපු මිස්. ඒ කාලේ 9 පංතියේදී වාණිජ ද කෘෂිකර්මයද කරන්න දෙන්නෙ කියලා තීරණය කළේ ගණිතය විභාගයට ගන්න ලකුණු අනුවයි. මට ගණිතයට ලකුණු 8යි තිබුණේ. විදුහල්පතිතුමා තදින්ම කිව්වා ලකුණු 8 ගත්ත රොෂාන් අනිවාර්යයෙන්ම කෘෂිකර්මය කරන්න ඕන කියලා. හැබැයි මට පුදුම ආසාවක් තිබුණේ වාණිජ්‍ය කරන්න. මම සුරම්‍ය මිස්ට බැගෑපත්වෙලා මේ තීරණය වෙනස් කරලා දෙන්න ඉල්ලුවා. සුරම්‍ය මිස් මම වෙනුවෙන් ඒ කැපකීම කරලා කොහොම හරි විදුහල්පතිතුමාගෙ තීරණයත් වෙනස් කරලා වාණිජ්‍ය කරන්න අවස්ථාව දුන්නා. දන්නවද ප්‍රතිඵලය. පළමුවැනියට තිබ්බ වාණිජ විභාගයටම මම ලකුණු සියයම ගත්තා. ගණිතයට 8ක් ලැබුණු මම වාණිජ්‍යට එදා සියයෙන් සියය ගැනීම ගැන ගොඩක් දෙනා කතා වුණා.

අනෙක් ගුරුවරු ගැන මතකයක් තියෙනවද ?මට උගන්වපු හැම ගුරුවරයෙක් ගැනම මට මතකයක් තියෙනවා. ඒ අය නිසා තමයි මම අද මේ තත්ත්වයේ ඉන්නෙ. 9-10-11 පන්තිවල ගණිතයට ආපු ජයනාත් කාරියවසම් සර්, විද්‍යාව උගන්වපු සුරත් විජේමුණි වගේ සර්ලා ඉතාම හොදින් ඔවුන්ගේ විෂයන් අපට කියලා දුන්නා. මමත් බේකරියෙන් පැනලා ඇවිත් සර්ලගෙන් ඉගෙන ගත්තා. රෑට ආයෙ බේකරියෙ වැඩ ඉවරවෙලා රෑ 11.30 විතර වෙනකම් පාඩම් කරන්න ගත්තා.

මේ වෙනකොට ගමේ ගෙදර පරිසරය ඔබ වෙනුවෙන් වෙනස් වෙලාද ?අපෝ නැහැ. ගොඩක් අය මගේ දිහා බැලුවේ බේකිරියේ කොල්ලා කියලා. ඒ නිසා කටවත් මගේ ඉගැනීම ගැන එතරම් විශ්වාසයක් තිබුණෙ නැහැ. ඒත් මම එක දෙයක් කළා. ඒ ගමේ ඉන්න හොදට ඉගෙන ගන්න පුළුවන් හැමදෙනාම හමුවෙලා කතා කළා. ඒ ගෙවල්වලට ගියා. ඔවුන්ගෙන් තොරතුරු විමසුවා. මේ කාලෙ වෙනකොට මට රසායන විද්‍යාව ගැන පුදුම ආසාවක් තිබුණේ. මාලා මිස්ගෙ අක්කා ඇමෙරිකාවේදි රසායන විද්‍යාව පිළිබද ආචාර්ය උපාධියක් කළා කියන එකයි. තොටගමුවෙ ඇඩ්වින් මාමාගේ පුතා කැළණියෙ රසායන විද්‍යාව විශේෂවේදී උපාධිය හදාරණවා කියන එකයි මගේ හිතේ තදින්ම පැළපදියන් වුණා. මම ඒ ගෙවල්වලට ගිහිං ඒ විස්තර දැනගත්තෙ ඉතා ආසාවෙන්. ඔවුන් මට උදව් කළා.සාමාන්‍යපෙළ ප්‍රතිඵලය මොකද්ද ?මට විශිෂ්ට සමාර්ථ 3යි සම්මාන සාමාර්ථ 5 යි තිබුණෙ.

අම්බලන්ගොඩ ධර්මාශෝකෙට යන්නෙ ?අපේ මාමා ඒ වෙනකොට මට උදව් කරන්න ඉදිරිපත් වුණා. දැන් දකුණේ මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහත්මයා තමයි අපේ මාමාගේ ඉල්ලීමට එදා මට ධර්මාශෝකයට යන්න ලියුමක් දුන්නෙ. ධර්මාශෝකෙට එන කාලෙ වෙනකොට අපේ බේකරිය බංකොලොත් වෙලා. මම පංතියන්න සල්ලි හොයාගත්තෙ කොන්ත්‍රාත් වැඩවලට අත් උදව් දීලා. සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ පටන් ගන්න කම් මම කොන්ත්‍රාත් වැඩවලට අත්උදව් දීලා සල්ලි හොයාගත්තා. ඒ පංති යන්න උවමනාවට. ගමේ කොන්ත්‍රාත් ගන්න අයියලා එක්ක මම මොරටුවේ පවා ඇවිල්ලා තියෙනවා. ඒ දවස්වල රෑ 11.30 වෙනකම් වැඩ කරාම දවස් දෙකක සල්ලි හම්බෙනවා.

ධර්මාශොකෙ ගෙවුණු පාසල් කාලය ගැන සිහිපත් කළොත් ?1994 -1995 කාලයේ ධර්මාශෝකය අධ්‍යාපනය අතින් ඉහළම තැනක තිබුණෙ. මම ජීව විද්‍ය අංශයෙන් ඉගෙන ගත්තෙ. පංතියේ හිටපු ළමයි අතරෙ සාමාන්‍යපෙළ අඩුම ලකුණ තිබුණෙ මට. ගොඩක් ළමයි ඉංගිරිසි පංතිය තිබුණු පීරියඩ් එක කට් කළා. මම හැමාදාම ඒ පංතිය අතනොහැර ඉගෙන ගත්තා. මගේ ඉලක්කය තිබුණෙ හැමදාමත් රසායන විද්‍යාවෙන් ඉහළට යන එක ගැන. 13 පංතියේ වාර දෙකකම පළමු වැනියා වුණේ මමයි.

1995 උසස් පෙළ විභාගට මුහුණ දෙන ඔබට සරසවි වරම් ලැබෙනවා.මගේ උසස් පෙළ ප්‍රතිඵලය ඒ එකයි.බී දෙකයි. සී එකයි. මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට තේරි පත්වුණා. මගේ ජීවිතයේ ලබපු ලොකුම ජයග්‍රහණයක් වුණේ පේරාදෙණිය සරසවියට තේරි පත්වීම. නමුත් ඒ වනවිටත් මට ඇමෙරිකාවේ රසායන විද්‍යාව හැදැරීමේ හීනය තිබුණා. ඒ වෙනුවෙන් විද්‍යා පීඨයට ඇතුළත්වුණ දවසෙ ඉදන්ම වැඩ කළා. රසායන විද්‍යාව තෝරාගන්න ඕන නිසාම පළමු අවුරුද්දෙ විභාගය මම ඉහළින්ම සමත් කරගත්තා. දෙවැනි අවුරුද්දෙ ඉදන් රසායන විද්‍යාව විශේෂ උපාධිය හදාරන්න මට ඒ නිසා අවස්ථාව ලැබුණා.

පේරාදෙණිය සරසවියෙ උපාධියෙන් අනතුරුව මොකද වෙන්නෙ ?2002 වසරෙදි මම පේරාදෙණිය සරසවියෙන් රසායන විද්‍යාව විශේෂ උපාධිය ලබනවා. ඒ විතරක් නෙමෙයි විශිෂ්ට ප්‍රතිඵල නිසා මට පේරාදෙණිය සරසවියෙම සහය කථිකාචාර්වරයෙක් ලෙස සේවය කරන්න ලැබෙනවා. මේ කාලය වනවිට මම ඇමෙරිකාවේ ශිෂ්‍යත්වයකට යාමට අවශ්‍ය විභාග දෙකක්ම ඉහළින් සමත්වෙලා හිටියෙ. ඒ අනුව මට 2003දි ඇමෙරිකාවේ කැන්සස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය (Ph.D) හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලැබෙනවා.

කැන්සස් සරසවිය ඔබගේ ගමනට ලබාදුන් සහය කුමක්ද ?කොරි ජොන්සන් කියන මහාචාර්යවරයා යටතේ මම ආචාර්ය උපාධිය හදාරන්නෙ. රසායනික විද්‍යාව, තනුක ජීව විද්‍යාව, ජෛව තාක්ෂණය කියන විෂයානුබද්ධව ආචාර්ය උපාධිය සදහා මම කළ පර්යේෂණ කේෂ්ත්‍රය 2009 වසරේදී ඉතා සාර්ථකව නිම කරන්න මට හැකිවෙනවා. එහි ප්‍රතිඵලයක් විධියට ඇමෙරිකාවේ කැන්සස් සරසවියෙම සේවයට මම බදවා ගන්නවා. ජෛව තාක්ෂණය සම්බන්ධ පර්යේෂණාගාරයේ පර්යේෂණ සහයෙකයෙක් විධියට.

ඔබ විශේෂිත වන්නෙ ?ප්‍රෝටීන විශ්ලේෂණය කරන්න පුළුවන් විශේෂඥ දැනුම මම ළගා කරගන්නවා. ඒ අනුව ප්‍රෝටීන නිපදවීම ගවේෂණය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ලබා ගැනීමට හැකිවෙනවා. අචාර්ය උපාධියෙන් අනතුරුව ඒ රටවල පශ්චාත් ආචාර්ය උපාධිය කියලා තවත් උපාධියක් තිබෙනවා. මම ඒකත් කරන්න පටන් ගන්නවා. කැන්සස් සරසවියෙම (Macromolecule and Vaccine Stabilization Center) තමයි මම වැඩ කරේ. අවුරුද්දයි මාස 8 ගතවෙද්දි මම ඒ හැදැරීමත් අවසන් කළා. එහිදී මම biophysical characterization of recombinant proteins for vaccine development using Fluorescence, CD, FTIR, DSC, AUC, cIEF, DLS, particle size characterization (MFI), Peptide map analysis, and mass spectrometry. වගේ දේවල් සාර්ථකව අධ්‍යනය කොට සොයා ගැනීම්වලට මුලපිරුවා. Formulation development of a plant-derived H1N1 influenza vaccine containing purified recombinant hemagglutinin antigen ආදි පර්යේෂණ පත්‍රිකා 6ක් පමණ මම ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ඖෂධ සොයාගැනීම් සිදුවුණාට මදි ඒවා වාණිජකරණයට පත්කිරීම දක්වා විශාල ක්‍රියාවලියක් තියෙනවා. පිළිකා එන්නතක් වාණිජකරණය කිරීමට මම මුලින්ම දායක වුණේ ඩෙන්රියාන් කියන සමාගමට සම්බන්ධවෙමින්. කොටින්ම කියනවා නම් සොයාගත් ඖෂධයක් වෙළදපොලට යොමු කිරීම දක්වා ක්‍රියාවලියෙ විශාල වැඩකොටසක් සිදුවන්නෙ මගේ අතින්. ඒ නිසාම ඒ ඒ කාලවලදි මම සේවය කරන ආයතනවල උනන්දුවෙන්ම මට ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය ලැබෙනවා. පිළිකාව, පාකින්සන් රෝගයට අදාල එන්නත් රැසක් සම්බන්ධයෙන් කළ සොයාගැනීම් හා පර්යේෂණවලට අදාල එන්නත් නිපදවීම දක්වා ක්‍රියාවලියේ විශ්ලේෂණ කාර්යේ වැඩි කොටසක් මගෙන් සිදුවෙනවා. ඇත්තෙන්ම කියනවානම් ලංකාවට තවමත් පැමිණ නැති තාක්ෂණික දැනුම සමගයි මගේ සේවය දැන් සිදුවන්නෙ. ALCM Group Lead හි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු ලෙසයි මම දැනට සේවය කරන්නෙ.

ඇමෙරිකාවේ වත්කම් ගැනත් කිව්වොත් ?ඇමෙරිකාවේ මට තියෙන ලොකුම වත්කම බිරිද මේකලා ලියනගේ සහ අපි දෙන්නගෙ දුවයි පුතයි. දුවට අවුරුදු 13යි. පුතාට අවුරුදු 11යි. ඒ දෙන්නම ඉපදිලා හැදිලා වැඩෙන්නෙ ඇමෙරිකාවේ. රැකියාවේ ලැබෙන මුදල එක්ක මගේ වත්කම මම කියන්නම්. සාමාන්‍යයෙන් උසස් ඇමෙරිකානුවකු රැකියාවක් කරලා ලබන වැටුප වගේ දහ ගුණයක වැටුපක් මම දැන් ලබනවා. ඒ මට ඇති. මම හැමදාම කැමැති අභියෝගවලට මුහුණ දීලා සතුටු වෙන්නයි. ඒ වගේම එක තැනකට සීමා නොවී රැකියා ස්ථාන රැසකට මගේ සේවා ස්ථානය මාරු වෙන්නත් අධ්‍යන කටයුතුවලට තිබෙන මගේ නැඹුරුව හේතුවක්.

ලංකාවේ අපි දකින්නේ එදිදො ජීවිතයේදී හීන අහිමිකරගන්න තරුණ පරම්පරාවක් ඔබ ඔවුන්ට දෙන වැදගත්ම ඔවදන මොකක්ද?මගේ ජිිවිතය ගත්තම හැමෝම මගේ දිහා බැලුවේ සමච්චලයට වගේ ගෙදරත් සමාජයත් මම දිහා බලන විදියහ මට වැදගත් උනේ නෑ ඒ නිසා මම මගේ ජීවිතය වෙනස් කරත්තා හැමදාම අලුත් අභියෝග එක්ක ජීවත් වෙන්න ඉන්න තැනින් අලුත් තැනකට ගිහින් අලුත් දේ ඉගෙන ගනන් එතකොට තමන්ගේ ජීවිතය නොදැනීම වෙනස් වෙයි.ආයෙ දවසක අපි හමුවෙමු. ( ඔහු මට සමුදුන්නෙ එහෙමයි)

විශේෂ ස්තුතිය අයිඩියා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි සම්පත් මායාකඩුව මහතාට.මේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රොෂාන් ලියනගේ මහතා නැවත ඇමෙරිකාවේ වොෂින්ටන් බලා පිටත්ව යාමට පෙර වෙබ් අඩවියක් සමග කළ සොදුරු කතාබහක්.
සාකච්ඡා කළේ රමේෂ් වරල්ලෙගම.