කෙස් කළඹ ලස්සනට තබා ගනිමු

කාන්තාවන්ගේ ඇති පුශ්ණ අතර ඇති ප්‍රධාන ප්‍රශ්ණයක් තමයි නිරෝගි කෙස් කලබක් තබා ගැනීම.නිරෝගී කෙස් කළඹක් ලබාගැනීම සඳහා පළමුවෙන් කළ යුත්තේ හිසකෙස් පිරිසිදුව තබාගැනීමයි. එසේම එහි නිරෝගී පැවැත්ම කෙරෙහිද අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. නිරෝගී කෙස් කළඹක් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නම් දිනපතා ඔබ විනාඩි 10 ක් වත් ඒ සඳහා කාලය වෙන් කරගත යුතුයි. කවර මට්ටමක සිටින කාන්තාවක් වුවද සෙසු ශරීරාංග මෙන්ම කෙස් කළඹ කෙරෙහි ද විශේෂ අවධානයක් වෙන් කරගත යුතුය. හිසකෙස් ගැන සැලකිලිමත් නොවීමෙන් අකලට හිසකෙස් පැසීම, කෙස් හැලීම, කෙස් වියළි වීම, අග පැලීම, දුර්වර්ණ වීම, වැනි අහිතකර බලපෑම් ඇතිවේ. කෙස් කළඹේ එවැනි ආබාධයක් ඇතිවූ විට කෙතරම් රුවැති කාන්තාවක් වුවද අඩුවක් ඇතා සේ ඕනෑම කෙනකුට හැඟෙන බව කිව යුතුමය.

නිරෝගී කෙස් කළඹක් ලබාගැනීමේදී පළමුව කළ යුත්තේ මසකට වරක් කෙස් අග අඟල් 1/2 ක ප්‍රමාණයක් කපා දැමීමයි. එසේම පොල්තෙල් හෝ තලතෙල් ස්වල්පක් ගෙන හිසේ ගන්වා විනාඩි 10 ක් පමණ මසාජ් කරන්න. පීනස් වැනි රෝග ඇති අය මෙම කුමන වර්ගයේ තෛලයක් හිස ගැල්වුවත් රත් කර ගැල්වීමේදී පීනස් වැනි රෝග තත්ත්වයන් ඇවිස්සෙනු නොලැබේ.
දිනපතා නින්දට යාමට පෙර විනාඩි 10 ක් පමණ වේලා හිස මසාජ් කරන්න. නිරෝගී කෙස් කළඹක් ලබාගැනීම සඳහා මෙය ඉතා හොඳ ප්‍රතිකර්මයකි. එසේම හොඳ වර්ගයේ බ්‍රෂ් එකක් ගෙන පහතට කොණ්ඩය දමා 100 වතාවක් පමණ පීරන්න. දිනපතාම මෙය කරන්න.
හිසකෙස්වලට අවශ්‍ය පෝෂ්‍ය ගුණය අඩුවීම කෙස්වල අප්‍රාණික ගතියට මෙන්ම කෙස් අග පැළීමටද හේතුවේ. විවිධ කේශාලේප වර්ග වෛද්‍ය උපදෙස් වලින් තොරව හිසට ගැල්වීමද කෙස්වලට අහිතකර බලපෑම් ඇතිවීමට ඉඩ තිබේ. ඒවායින් විවිධ හිසේ රෝග මෙන්ම සමේ රෝග ද ඇතිවීමට ඉඩ ඇත. තම හිතුමතේට විවිධ සබන් වර්ග මෙන්ම ෂැම්පු වර්ග ද පාවිච්චි කිරීම හිසකෙස්වලට අහිතකරයි. එහෙයින් ඖෂධීය ගුණයෙන් යුත් ෂැම්පු වර්ග සහ සබන් වර්ග පාවිච්චි කිරීම යෝග්‍ය වේ. ෂැම්පු වෙනුවට ගම්බද පෙදෙස් වලින් පහසුවෙන් සොයාගත හැකි වෙරළු කොළ යුෂ, ගොඩපර තැම්බූ වතුර, දෙහි උළුහාල් තැම්බූ වතුර, කෝමාරිකා යුෂ වැනි ස්වාභාවික ඖෂධ වර්ග ද හිසකෙස් පිරිසිදු කිරීම සඳහා යොදා ගැනීමද නරක නැත.

හිසකෙස් ගැලවී යාම පරම්පරාවෙන් එන විවිධ ලෙඩ රෝග හේතුවෙන්ද හිසකෙස් ගැලවී යයි. එසේම නාපු වේලාවට තෙතපිටින්ම කොණ්ඩය බැඳීම හා කොණ්ඩය පීරීම නිසාත් හිසකෙස් පහසුවෙන් ගැලවී යයි. කෙස් නුඋවමනා ලෙස පිරිමැදීම ද කෙස් ගැලවී යාමට හේතුවේ. මානසික අසහන, හිස්සොරි තිබීම වැනි දේ ද හිසකෙස් ගැලවී යාමට හේතුවේ.හිසකෙස් ගැලවී යාම හේතුකොටගෙන තට්ටය පෑදීමද දක්නට ලැබේ. එම නිසා ඒ තත්ත්වයන් ඇති නොවන්න නම් පහත සඳහන් ලෙස තෙල් වර්ගයක් සාදා ගන්න.- අරූධ කොළ ස්වල්පයක්,සුදු ලූණු බික් 4 ක්,
කළුදුරු ස්වල්පයක්,සුදු පොල්තෙල් බෝතල් 1/2 ක්


සාදන අයුරු. – පළමුව පිරිසිදු මැටි භාජනයක් ගෙන එයට පොල්තෙල් බෝ. 1/2 දමා ටිකක් රත් වෙන්න තබන්න. රත්වේගෙන එන විට තලා ගත් සුදු ලූණු බික් 4 ත්, කළුදුරු ස්වල්පයත් එයට එක් කරන්න. තව ටිකක් රත්වෙන්නට හැර ලිප නිවන්න. ඉන් පසු අරූධ කොළ එයට දමා හොඳින් වසා තබන්න. අරූධ කොළ එම රස්නයෙන් තැම්බුනාම ඇති. ඉන්පසු පැයකින් විතර පසු මෙය පෙරා ගත් තෙල් හිස ගැල්විය හැක. මෙය දිනපතා කරන්න. විනාඩි 10 ක් මසාජ් කර උණුවතුර පෙඟවූ තුවායක් ගෙන හොඳින් මිරිකා ඔළුවේ බඳින්න. විනාඩි 15 කින් පසු මෙය ඉවත් කරන්න. දිනපතා මෙය කිරීමට අපහසු නම් දවසක් හැර දවසක් මෙය කරන්න. රාත්‍රී කාලයේ තෙල් නොගල්වන්න. ඒ වගේම දහවල් මෙය කර පැය 1/2 කින් පමණ කොණ්ඩය ඖෂධීය ෂැම්පු වර්ගයක් භාවිත කර සෝදාගන්න.
කෙස්වල ස්වභාවය හඳුනා ගන්නේ කෙසේද? එක් එක් පුද්ගලයන්ගේ හිසකෙස් එකින් එකට වෙනස් වේ. මෙයද අපේ මුහුණේ ඇති සම මෙන් වර්ග 3 කට බෙදේ. එනම් වියළි, සාමාන්‍ය, තෙල් සහිත, මෙයින් තමන්ට ඇත්තේ කුමන වර්ගයේ කෙස් ද යන්න හඳුනා ගතහොත් එය රැක ගැනීමට එය ප්‍රබල පිටුවහලක් වනු ඇත.

තෙල් සහිත කෙස් – මෙය ඉක්මනින් වැඬේ. එහෙත් බාහිරව අපිරිසිදු වීම නිසා ඉක්මනින් රෝගවලට ගොදුරුවීමේ හැකියාවක් එහි ඇත. තෙල් සහිත කෙස් ඇතිවීමට හේතු ඇත. අධික ලෙස තෙල් සහිත ආහාර ගැනීම, හරීරයේ ඇති යම් යම් රෝගී තත්ත්වයන් නිසාද තෙල් සහිත කෙස් ඇතිවේ. අධික තෙල් නිසා කෙස් ඉක්මනින් අප්‍රාණික වීම සිදුවේ. තෙල් සහිත කෙස් තමන්ට අවශ්‍ය ආකාරයට සකස් කිරීමටද අපහසුය. මෙවැනි කෙස් ඇති යුවතියන් පහත සඳහන් ආකාරයට කරන්න.හොඳින් ස්නානය කළ පසු අයිස් වතුර ගෙන එයට දෙහි බිංදු කීපයක් දමා නැවත ඔළුව සෝදන්න. එයින් තෙල් ගතිය අඩුවේ.