දෙමහල් නිවසක්,මෝටර් රථ දෙකක් ඔහු සතු බව හෙලිවේ

දෙමහල් නිවසක්,මෝටර් රථ දෙකක් ඔහු සතු බව හෙලිවේ – කොලඹ ප්‍රදේශයේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටි පුද්ගලයෙකු සතු කෝටි ගණනක දේපළ රැසක් පිළිබද පොලීසිය තොරතුරු අනාවරණ කරයි. ඒ, ඔහු සිඟමන් යදිමින් සිටි ස්ථානයේ පළතුරු කරත්තයක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදීයි. එහිදී හෙළි වී ඇත්තේ සිඟමන් යැදුනු මෙම සැකකරුට අයත් දෙමහල් නිවසක් මහරගම, පමුණුව ප‍්‍රදේශයේ ඇති බවයි. එහි උඩු මහල කුලී පදනම මත ලබාදී ඇති අතර ඉන් මසකට රුපියල් තිස්දහසක් මුදලක් ලැබෙන බවද පොලීසිය සදහන් කළා.

ඔහුට අයත් මෝටර් රථ දෙකක් පිළිබදවද හෙළි වී තිබෙනවා. කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටින සැකකරු දිනකට රුපියල් පන් දහසක මුදලක් උපයා ගන්නා බවයි පොලීසිය පැවසුවේ.දේවස්ථානය අසලදී සොරගත් පළතුරු කරත්තය නිවසට රැගෙන එන ලෙසට භාරදී ඇත්තේ වෙනත් පුද්ගලයෙකුටයි. ඒ සදහා අදාළ පුද්ගලයාට රුපියල් පනස්දාක මුදලක්ද ලබාදී තිබෙනවා.සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිසිටිවි කැමරා දර්ශන උපයෝගි කර ගනිමින් සිදුකළ පරීක්‍ෂණයක ප‍්‍රතිඵලයක් ලෙසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 64 ක් වන පුද්ගලයෙක්.

ආකර්ෂණය දිනා ගත හැකි ස්ථාන දෙදහස්හයසියක් අලුතින් හඳුනාගනී

සංචාරක කර්මාන්තය සඳහා මෙතෙක් යොදානොගත්, එහෙත් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන දෙදහස්හයසියක් අලුතින් හඳුනාගෙන තිබෙනවා. ඒවා කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවයි විෂය භාර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත පැවසුවේ.අමාත්‍යවරයා සඳහන් කළේ ගුවන් තොටුපල විවෘත කර සංචාරකයින් මෙරටට පැමිණෙන අවස්ථාවේ මෙම ස්ථාන දෙදහස්හයසියක් සංචාරක ස්ථාන ලෙස සංවර්ධනය කිරීම සිදු කරන බවයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුලින් එක්වර මෙරටට වැඩි සංචාරකයින් පිරිසකට පැමිණිමට හැකි පරිදි එහි සිදුකරන සංවර්ධන කටයුතු ද පුළුල් කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදී මෙරට තුල ඇති වෙනත් ගුවන් තොටුපලද සංවර්ධනය කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි.මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වී ඇති සංචාරක ක්ෂේත‍්‍රයේ සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම සඳහා සියලු සංචාරක හෝටල් හා සංචාරක නියෝජිත ආයතන වෙත සියයට හතරක සහන පොලියක් යටතේ ණය මුදලක් ලබා දීම කඩිනම් කිරීමටයි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත්තේ. එමෙන්ම සංචාරක සහන පැකේජය ලබාදීමේදී මතුව ඇති ප‍්‍රායෝගික ගැටලු සඳහාද කඩිනමින් විසඳුම් ලබා දෙන බව සංචාරක අමාත්‍යංශය පැවසුවා.