තවත් එකක් ගැන හෙළිදරව්වක්

නව ආසාදිතයන් 145 දෙනෙකු ඊයේ රාත්‍රියේ හඳුනාගැනීමත් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝනා පොකුරෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1,591 දක්වා ඉහළ ගියා.ඊයේ රාත්‍රියේ හඳුනාගත් නව ආසාදිතයන් අතර, 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින එම කර්මාන්තශාලාවේ සේවකයින් වන අතර, අනෙක් 97 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.එම නව ආසාදිතයන් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්දහස ඉක්මවා ගියා.ඒ අනුව මෙරට සමස්ත කෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,038 දෙනෙකු ලෙස දැක්වෙන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 3,328 ක්.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 1,697 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ කොරෝනා ආසාදිතයෙකු හමුවූ බවට පළ වන වාර්තා අසත්‍ය බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන ප්‍රකාශ කළා.තම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කෝනා ආසාදිතයෙකු ලෙස මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමේ කටයුතු තවදුරටත් අඛන්ඩව සිදුවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මිනුවන්ගොඩ කොඞ් පොකුර වර්ධනය වීම හේතුවෙන් තවදුරටත් සෞඛ්‍ය ධාරිතාව ඉහළ නැංවිය හැකි බවයි.රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වුවහොත් මෙලෙස මෙරට සෞඛ්‍ය ධාරිතාව ඉහළ යා හැකි බව ද එහි සඳහන්.

එමෙන්ම, කෝනා වෛරසය වැළඳීමෙන් පසු එය සුවවීම සඳහා ගතවන පශ්චාත් කාලසීමාව තුළදී වැළඳෙන නව රෝගයක් පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.එම රෝගය නම් කර ඇත්තේ “පෝස්ට් කොවිඩ් 19 ස්නායු රෝග සහලක්ෂණය” ලෙසයි.මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.ඔහු කියා සිටියේ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 135 දෙනෙකු සහ වාහන 37ක් මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි.එමෙන්ම අද දිනය තුළ සෞඛ්‍ය නීති අඩංගු ගැසට් නිවේදනයක්ද නිකුත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.