පරිණාමයේදී නැති වී ගියත් තවමත් ඇතැමුන් තුළ ඉතිරි වී පවතින ශරීරයේ ඉන්ද්‍රියයන්

“අවශිෂ්ඨ ඉන්ද්‍රියයන්” ලෙසින් හඳුන්වන්නේ අතීතයේ එක්තරා කාලයකදී මිනිසුන්ට ප්‍රයෝජනවත් වුණත් මේ වන විට ඒවායේ ක්‍රියාකාරීත්වයේ වැදගත්කමක් නොමැති ඉන්ද්‍රියන් වලට. ඒ කියන්නේ පරිණාමය වීමත් සමග එම ඉන්ද්‍රියයන් වල අවශ්‍යතාවය නැති වී ගියත් තවමත් ඉතිරිව පවතින ඉන්ද්‍රියන් වලට. පුදුමයට කාරණය කියන්නේ මෙය මිනිසුන් හැමදෙනා තුළම නැති එකයි. අපි මේ ලිපියෙන් එවන් ඉන්ද්‍රියයන් හයක් ගැන කියනවා. ඔබත් පරික්ෂා කරල බලන්න පරිණාමයේදී නැති වී ගිය ඉන්ද්‍රියයන් තවමත් ඔබේ ඉතිරි වී තිබෙනවාද කියලා. එසේ නම් නවීන මනුෂ්‍යයෙකු වන ඔබගේ තවමත් අපේ මුතුන්මිත්තන්ගේ සලකුණු ඉතිරි වී තිබෙනවා!

01. ලෝන්ග් පාමර් මාංශ පේශිය. (Long Palmar Muscle)

ඔබ අත්ල උඩු අතට සිටින සේ වැලමිට ළඟින් අත මේසයක තබන්න. ඉන්පසු මහපට ඇඟිල්ලෙන් සුළැඟිල්ල අල්ලන්න. ඉන්පසු අත තරමක් ඉදිරියට නවන්න. එවිට නහරයක් මෙන් පෙනෙන මාංශ පේශියක් ඉලිප්පෙනවා නම් එය තමයි ලෝන්ග් පාමර් මාංශ පේශිය. එය ඔබේ නැත්නම් කලබල වෙන්න එපා. මොකද මේ වන විට එය සම්පූර්ණයෙන්ම අනවශ්‍ය මාංශ පේෂියක්‌. අපේ මුතුන් මිත්තන් විසින් එය අතීතයේදී යොදා ගැනුණේ ගසින් ගසට පැමිණීමේදී වඩා හොඳ නම්‍යශීලි බවක් ලබා ගනිමින් අතු හොඳින් ග්‍රහණය කර ගැනීමටයි.

02. හිරිගඩු.

ආතතිය, අධික ශීතල, බිය, සතුට හෝ තෘප්තිමත්භාවය ආදී හැඟීම් හේතුවෙන් හිරිගඩු පිපීම සිදුවෙනවා. එවන් හැඟීමක් ඇතිවූ විට සුශුම්නාවෙන් යැවෙන සංඥාවක් හේතුවෙන් රෝම කූප වලට සම්බන්ධ කුඩා මාංශ පේශීන් සංකෝචනය වීම සිදු වෙනවා. එසේ සංකෝචනය වන විට ඒ රෝමකූප කෙලින් වීම සිදුවෙනවා. අතීතයේ ජීවත් වූ වානර මිනිසාගේ සිරුර රෝම කූප වලින් වැසී තිබුණු නිසා මෙසේ රෝම කූප සියල්ල එකවර කෙලින් වීම බිය වූ අවස්ථාවක සතුරා බිය පත් කිරීමටත් (බළලුන් ලෝම පුම්බන ආකාරයෙන්), සීතල අවස්ථාවකදී සිරුරෙන් තාප හානිය වළක්වා උණුසුම තබා ගැනීමත් සිදු කෙරෙනවා. නමුත් අද වන විට අධික ශීතලට හෝ විලෝපිකයන්ට මුහුණ දීමට සිදු නොවීමත්, ඒ මාංශ පේශීන්වලට සම්බන්ධක රෝම කූප වලින් වැසුණු ශරීරයක් අපට නොමැති වීමත් නිසා හිරිගඩු පිපීමේ අවශ්‍යතාවයක් දැන් නැහැ.

03. එපිකැන්තික් නැම්ම. (Epicanthic fold)

එපිකැන්තික් නැම්ම කියන්නේ ඇතැම් ආසියානු රටවල මිනිස්සුන්ගේ ඇස් ඉතා සිහින් බවට පත්කරමින් ඇසිපියන් වල සමේ ඇතිවන නැම්මක්. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එය බොහෝවිට ආන්තික පරිසර වල, එනම් අධික ශීතල, කාන්තාර වල වැනි අධික උණුසුම ඇති පරිසරවල ජීවත් වන මිනිසුන්ගේ ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා ස්වභාවිකව නිර්මාණය වූවක් බවයි.

04. නිමීලන පටලය.

Caruncula කියන්නේ අපගේ ඇසේ ඇතුළු කොනට වන්නට ඇති කුඩා මාංශ පේශීමය ගැටයයි. එය මත්ස්‍යයන්, පක්ෂින් හා උරගයන් සතුව තවමත් තිබෙන, අතීතයේදී මිනිසා සතුවත් තිබුණු නිමීලන පටලයේ අවශිෂ්ට වූ කොටසක්‌. මෙම පටලය යොදාගැනෙන්නේ ඇස ආරක්ෂා කිරීමටත් එහි තෙතමනය රඳා පවත්වා ගැනීමටත්. එය ඇසි පියනට ඇතුලෙන් පිහිටන තවත් ආවරණයක් ලෙස පැවැතුණා. නමුත් මේ වන විට එහි ප්‍රයෝජනයක් නොමැති නිසා ක්‍රමයෙන් නැති වී ගියත් එහි කුඩා කොටසක් ඇස කෙළවරට වන්නට තවමත් ඉතිරි වී තිබෙනවා.

05. කනේ මාංශ පේශි.

කනේ මාංශ පේශිත් මේ වන විට බොහෝදුර‍ට අවශිෂ්ට වී ගොස් තිබෙනවා. අතීතයේදී කනේ මාංශ පේශි මිනිසුන්ට විලෝපිකයන්ගෙන් හා වෙනත් අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා වඩා හොඳ ශ්‍රවණයක් ලබාගැනීමට කන එහා මෙහා චලනය කිරීමටත් පැත්තෙන් පැත්තට හැරවීමටත් ප්‍රයෝජනවත් වුණා. නමුත් මේ වන විට එවන් අවශ්‍යතාවයක් නොමැති නිසා කර්ණ මාංශ පේශී ක්‍රමයෙන් නැතිවී ගොස් තිබෙන අතර ඉතාම සුළු පිරිසකට පමණක් යන්තමින් කන චලනය කිරීමට හැකියාවක් අදටත් පවතිනවා.

06. ඥාණ දත්. (Wisdom teeth)

බොහෝ දෙනෙකුට අවසානයට හටගන්නා ඥාණ දත් අතීතයේදී යොදා ගැනුණේ ඝන රළු මස් කැබලි සැපීමට හා ඇඹරීමටයි. නමුත් අද වන විට මිනිසා බොහෝ විට පිසින ලද මෘදු ආහාර වර්ග ගන්නා නිසා එවන් දත්වල ප්‍රයෝජනයක් නැහැ. මේ නිසා අද වන විට බොහෝ දෙනකුගේ මුඛයේ සෑම පැත්තකම ඇති 8 වන දත, එනම් කෙළවරේම පිහිටන දත් නැතිවී ගොස් තිබෙනවා. ඇතමුන්ට පමණයි අදටත් ඥාණ දත් පිහිටන්නේ. අනාගතයේදී එය මුළුමනින්ම නැතිවී යාවි. මේ නිසා අනාගතයේදී ඉපදෙන දරුවන්ට දත් 32ක්‌ නොමැති වන බව නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්!