රංගන ශිල්පීන් ඇතුළු පිරිස වසර 30කට පසු

#දූදරුවෝ ටෙලි නාට්‍ය ඉතිහාසය අලුතින්ම ලියපු ටෙලි වෘතාන්තයක්. මීට දශක තුනකට ඉහත දී රූපවාහිනිය වින්දනීය ප්‍රවේශ පිළිබඳ සොයමින් අත්හදා බලමින් සිටින වකවානුවක නිර්මාණය වුණු මනරම් ටෙලි වෘතාන්තයක් තමයි දූ දරුවො කියන්නේ. එය අපේ තරුණ පරම්පාරවට ස්පර්ශ නොවුණු ඔවුන්ගේ යුගයට එපිට කාල වකවානුවක්.එහෙත් අපේ ආලින්දය ආක්‍රමණය කළ, ජීවිත විවරණයක් නැති, කලාත්මක ප්‍රවේශ නැති කොටින්ම අගක් මුලක් නැති ඕලාරික මෙගා ටෙලි නාට්‍යය හැදෙන්න හිතලාවත් නොතිබුණු වකවානුවක මෙගා ටෙලි නාට්‍යයක් නිර්මාණය වී පවත්වා ගත යුතු පදනම් භූමිය කුමක් විය යුතු දැයි සන්නිවේදනය කළ නිර්මාණයක් ලෙසයි දූ දරුවෝ ටෙලි නාට්‍යයය අපට වැටහෙන්නේ.

සෝමවීර සේනානායක පිටපත් රචනය කළ, නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ දූ දරුවෝ ටෙලි නාට්‍යයේ චමත්කාරය දශක තුනක් ගත වූ පසුත් අපේ වැඩිහිටියන්ගේ හදවත්වල ඇඳිලා තියන විදිහ පුදුම හිතෙනවා. දූ දරුවෝ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත වන ඩල්සි ආච්චි, සැම්සන්, ඩයස්, කුසුමලතා, සුමනේ, නන්දනී, පුන්සිරි, සුදර්මා වැන්නවුන් අපේ නිවෙස්වල සාමාජිකයන් වුණා. වර්ෂ 1990 දි ලංකාවෙ ජනප්‍රියම ටෙලි නාට්‍යය දූ දුරුවෝ. එතැන් සිට පුරා වසර පහක් තිස්සේ විකාශය වුණු මෙම ටෙලි වෘතාන්තය එවකට මිලිනය 8ක ප්‍රේක්ෂක පිරිසක් නරඹා තිබුණා. ඒ ආනන්දයක් හා ජීවිතාවබෝධයක් ලබමින්.

දූ දරුවෝ පටිගත කිරීම් ආරම්භ කරන්නෙ වර්ෂ 1990. 08. 23 දා. විකාශය ආරම්භ වන්නේ වර්ෂ 1990.12.27 වැනිදා. පුරා වසර පහක් එක දිගට විකාශය වීමෙන් අනතුරුව එය නිමා වෙන්නෙ වර්ෂ 1995.12.17 වැනිදා.

අවුරුදු විසි පහකට පසු දූ දරුවෝ ටෙලි නාට්‍යයෙ රඟපෑව විශිෂ්ට පරිනත කලා ශිල්පීන් බොහොමයක් අද ජීවතුන් අතර නෑ. යුගයක සලකුණු වූ හෙන්රි ජයසේන, ජයලත් මනෝරත්න, එච්.ඒ පෙරේරා වගේම අපේ ටෙලි නාට්‍ය කලාවට වෙනස්ම මානයක් පෙන්වූ විශිෂ්ට පෙළ නිමැවුම්කරු සෝමවීර සේනානායක එසේ අපව අත්හැර ගිය අපරිමිත මිනිසුන්..

අප දූ දරුවෝ ටෙලි නාට්‍යයය ගැන නැවත මතක් කරන්නෙ විශේෂ හේතුවක් එක්ක. එය සංවේදී නිමිත්තක්. දූ දරුවෝ ටෙලි නාට්‍යයේ එදා යෞවනයන් ලෙස පෙනී සිටි නළු නිළි පිරිස අද මැදි විය පසු වූ පැසුණු මිනිසුන්… ඒ වියපත් තරුණ තරුණියන් ටෙලි නාට්‍යය රූ ගත කළ පන්නිපිටිය පැලවත්තෙ දූ දරුවෝ නිවසේ දි අවුරුදු 25කට පසු නැවත හමුවුණා. ඒ පසුගිය 25 වැනිදා. එදා ඔවුන්ගෙ හමුවේ මනරම් ඡයාරූප මාලාවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. ඒ මනරම් නිමේෂය සම්බන්ධව කතා කරන්න අප මුලින්ම ඇමතුවෙ දූ දරුවෝ ටෙලි වෘතාන්තය අධ්‍යක්ෂණය කළ නාලන් මෙන්ඩිස්ට. ඔහු තමයි මේ සිරිමත් මොහොතේ පූරක ලෙස කටයුතු කරන්නෙ.

“ ඒක අපූරු මොහොතක්…“ නාලන් මතකය අවදි කළා. “අවුරුදු 30ක් කියන්නේම ලොකු කාලයක්. නමුත් මේ වසර 30 පුරාම දු දරුවෝ හී චරිත මිනිස්සුන්ගෙ හිත්වල අමතක නොවී තිබුණා. අදටත් ඒ ජනප්‍රියත්වය තියනවා. ආදරය තියනවා. ඉතින් මට හිතුනා එදා දූ දරුවෝ රඟපෑ තරුණ පිරිස එකතු කරලා ෆොටෝ ෂුට් එකක් කරන්න.“

“වසර 30 ගත වෙලා ගිහින්. නමුත් ඒ පිරිස එකතු කරලා තවම කිසිම නිර්මාණයක් කරලා නැහැ. ඒ නිසා ඔවුන් එකතු කරගෙන අද පරපුරේ පිරිසත් එක්කාසු කරගෙන අලුත් ටෙලි නාට්‍යයක් මා නුදුරේදීම කරන්න ලැස්ති වෙනවා.“

නාලන් මැන්දිස් තමන්ගේ අලුත්ම ටෙලි සිත්තම ගැන වූ අදහස දක්වන්නෙ ඒ ආකාරයට. ඒ සමඟම දූ දරුවෝ නිර්මාණය කරන කාලයේ පැවති නිර්මාණ සමාජය සම්බන්ධවත් ඔහුට කියන්න බොහෝ දේ තිබුණා.

“දු දරුවෝ ඒ කාලේ විදිහට නොසිතු ජනප්‍රියත්වයක් දිනා ගත්තා. ඊට හේතු තිබුණා. ඒ කාලයේ සමස්තයක් ලෙස හොඳ නාට්‍යය කෙරුණා. ගුණාත්මක බව සම්බන්ධව ලොකු වගවීමක් තිබුණා. නිර්මාණයකට ඒ දවස්වල හිටියේ එක් අනුග්‍රහකයෙක් විතරයි. ඔවුන් රූපවාහිනියේ විකාශන කාලයක් අරගෙන ඒ නාට්‍ය පෙන්වනවා. ඒ කාලය අතරේ ඔවුන්ගේ දැන්වීම් යන්නේ තුනයි. මුල මැද අග පමණයි. ප්‍රේක්ෂකයාගේ රසවින්දනයට බාධා වෙයි කියලා සමහර අනුග්‍රහකයන් නාට්‍යයේ මැදට ගිය ඒ දැන්වීමවත් දැම්මේ නැහැ. ඒක එහෙම කාලයක්. “ ඔහු ඒ ටික කියන්නෙ අද ටෙලි නාට්‍යයක් මුල මැද අග හා ඒ අතර යන අතෝරක් නැති වෙළෙඳ දැන්වීම් සහිත ටෙලි වෙළෙඳාම ගැන අපටම සිතන්න යමක් ඉතිරි කරලා. රූ ගත කිරීම් ගැන කියැවෙන කතාවත් එහෙමයි.

“ අපිට තිර පිටපත් හිතලා බලලා ලියන්න, රූගත කරන්න එදා දවසේ හොඳට වෙලා තිබුණා. නාට්‍යයේ කොටසක් පෙන්නුවේ සතියට එක දවසයි. ඉතින් අපිටත් වැඩේ කරන්න හොඳට වෙලාව තිබුණා. තිර රචකයාටත් එය හිතලා බලලා නිදහසේ ලියන්න හොඳට කාලය ලැබුණා. රඟපාන අයටත් ඒ නිදහස තිබුණා. දූ දරුවෝ කරන කාලේ එක් කොටසක් අපි රූ ගත කළේ දවස් තුනක විතර කාලයක් අරන්. නමුත් අද කාලේ එක දවසින් කොටස් තුනක් විතර රූ ගත කරන්න ඕනේ. ඒ හැම දේමත් එක්ක තමයි නාට්‍ය කාලාවේ මේ වෙනස වෙලා තියෙන්නේ.

ඒ සියල්ල සංසන්දනය කරද්දි අද ටෙලි නාට්‍ය කලාව යම් කිසි දුර්වල තැනෙක තියෙනවා කියලයි හිතෙන්නේ. “ නාලන්ගේ අලුත් ටෙලිනාට්‍යය මේ දුර්වලතාවලට හසුනොවන, ගුණාත්මක බව ආරක්ෂා කරගත් කෘතියක් ලෙස පෙළ ගැස්වීම සඳහා ඔහුගේ සැලසුම ඒ වචන අතර තිබුණා.

මේ එක්කම එදා දූ දරුවෝ ටෙලි නාට්‍යයේ තරුණ රංගන ශිල්පීන් ලෙස චරිත මැවූ ආදරණීය කලාකරුවන් කිහිප දෙනෙක් අප සමඟ සංවාදයට එක් වුණා. මුලින්ම කතා කළේ දූ දරුවෝ හි සම්පත් ගෙ චරිතය රඟපාපු උදේනි අල්විස්. තවමත් ඔහු ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් හඳුනන්නෙ උදේනි අල්විස් ලෙස නොවෙයි. සම්පත් ලෙස.

ඒ චරිතය ගැන අදටත් පුදුම සතුටක් දැනෙනවා. සෝමවිර සේනානායකයන්ගේ හිතේ ඇඳුණු‘සම්පත්‘ මම කළා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. අදටත් මම සම්පත්. අදටත් මාව දැක්කහම මිනිස්සු කතා කරන්නේ සම්පත් කියලා. මමයි නිල්මිණියි තමයි ඒ දවස්වල අනික් ශිල්පීන් එක්ක බැලුවම ආධුනිකම දෙන්නා. ඒ වගක් නොපෙනෙන්න ආලෝකයක් අපට අධ්‍යක්ෂවරයාගෙන්, පිටපතින් වගේම අපේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගෙනුත් ලැබුණා. රචකයා, අධ්‍යක්ෂවරයා, කැමරා අධ්‍යක්ෂවරයා හා ශිල්පීන් ඇතුළු මුළු කණ්ඩායමේම හිටියේ ක්ෂේත්‍රයේ සම්භාවිත ප්‍රවීණයන්. රටක් පිළිගත්තු එවැනි නාට්‍යයක තමයි අපි වැඩ කළේ කියන එක බොහොම සතුටෙන් අදටත් කියන්න පුළුවන්. මගෙ අත්දැකීමක් කියන්නම්. ඒ කාලේ සම්පත් කට්, දීප්ති කට් කියලා කොණ්ඩ විලාසිතා ආවා. අපේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ පළමු යෞවනය තමයි මමයි නිල්මිණියි ඉදිරිපත් කළේ කියලා මම විශ්වාස කරනවා.“උදේනි අල්විස් මේ හමුව ගැන කියන කතාව හරිම අපූරුයි. එය කවුරුත් පුදුමයට පත් කළ හමුවක්.

“ අපි එදා එතැනට යනකල් දැනන් හිටියේ නැහැ මොකද්ද කතන්දරේ කියලා. මුලින්ම දිනේ කියලා අහවල් වෙලාවට අපේ ගෙදරට එන්න කියලා නාලන් කිව්වා. ඒ දවස කිට්ටු වෙද්දි කිව්වා කැමරා එකත් අරන් එන්න. පස්සේ කිව්වා ස්මාර්ට් කැෂුවල් එන්න කියලා. කුතුහලේ වැඩි වෙලා හේතුව ඇහුවට කියන්නෙත් නැහැ. ඉතින් එදා මම ගියාට පස්සෙයි දන්නේ අනිත් අයත් ඇවිල්ලා කියලා. කාටත් හිතා ගන්න බැරුව ඉන්නකොට තමයි නාලන් කතාව පටන් ගත්තේ කාරණාව මේකයි කියන්න. පස්සේ පොඩි සංග්‍රහයක් තිබුණා. ඊට පස්සේ දූ දරුවෝ ලොකේෂන් එකට යමු මට පින්තූරු ටිකක් ගන්න ඕනේ කියලා නාලන් කිව්වා. එහෙමයි මේ හමුව වුණේ“.

ශිරන්ත ප්‍රේමවර්ධනගෙ දෙවෙනි ටෙලි නාට්‍යය තමයි දූ දරුවෝ. ඔහු අතීත අත්දැකීම සිහියට නැන්වුවා. “එය නාට්‍යයක් නොවෙයි. පාඨමාලාවක්.“ ශිරන්ත කියන්නෙ ඒ විදිහට.

“ඒ නාට්‍යයෙන් තමයි අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ. විශේෂයෙන් නළු නිළියන්ට තිබිය යුතු විනය වගේ දෙවල් පිළිබඳව. අපි අපේ කොටස කරලා එතැනින් යන්නේ නෑ. ඒ කාලේ අපේ ප්‍රවීණයෝ රඟපානවා අපි බලන් හිටියා. “

කැලුම් විජේසූරියත් දූ දරුවෝ ඔස්සේ ප්‍රභාමත් වුණු අතීත යෞවනයෙක්.අවුරුදු 30 කට පස්සේ අපි එකට මුණ ගැහිච්ච් පළවෙනි අවස්ථාව තමයි මේ… එය බොහෝ මතක අලුත් කළ, රසවත් කතා බහ ඉපදුණ මොහොතක්. පරණ පින්තූර අපිව අපූරු මතක වෙත අරන් ගියා. හරිම ලස්සන හැන්දැවක්. නාලන් අයියට ස්තුති වන්ත වෙන්න ඕනේ ඒ දවස අපිට ආයිත් අරන් දුන්නට.

මම දූ දරුවෝ සඳහා දායක වුණේ කොටස් 100 -110 කට විතර. තේ එකක්වත් හදාගන්න බැරි ගැනියෙක්ව කසාද බැඳලා රොද පුටුවේ හිටපු අම්මවත් බලාගෙන කසාද ජීවිතෙත් හරියට බැලන්ස් කරපු චරිතයක් ප්‍රවීණයන් රැසක් පසුබිමේ රූපණය කරන්න ලැබීම ඒ කාලයෙ තරුණ රංගන ශිල්පියකුට සමාන්‍යයෙන් නොලැබෙන අවස්ථාවක්. එය භාග්‍යයක්. මම ඒ භාග්‍යය ලැබුවා…

අජිත් ලොකුගේ කියන්නෙ අද අපේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න විශිෂ්ටම ශිල්පියෙක්. වේදිකාව, ටෙලිනාට්‍ය වගේම සිනමාව තුළ ඔහු ඔහුගේ ලකුණ තබා තිබෙනවා. දූ දරුවෝ ටෙලි නාට්‍යයට අජිත් සම්බන්ධ වෙන්නෙත් යෞවනයෙක් විදිහට.

“අවුරුදු 30 කලින් මේ නාට්‍ය කරන කාලේ අද වගේ හරිම කාර්ය බහුලත්වයක් තිබුණේ නැහැ අපි කාටවත්. හරි සුන්දර පරිසරයක තේ හදන කෙනාගේ ඉඳලා මුළු දූ දරුවෝ කණ්ඩායම එක පවුලක් වගේ එකතු වෙලා කලබලයක් නැතිව කරපු නිර්මාණ තමයි ඒවා. මට හදිස්සි නැහැ කවදාවත් මගේ කොටස විතරක් කරලා යන්න. අපි ඒ නාට්‍යයට දින දුන්නහම එදාට ඒ නාට්‍යයේ රූ ගත කිරීම් විතරයි තිබුණේ. වසර 5 එකම පවුලක් වගෙ අපි ඒ නාට්‍ය කළා. ඒ කාලය තුළ සහ ඉන් පසු පවා අපේ කා අතරවත් හිත රිදීම්, අමනාපකම් ඇති වුණේ නෑ වචනෙකින්වත්. ඒක තමයි වෙනස…“ අජිත් කියන ඒ වෙනස අසංවේදී සමාජ විචලනයක ශෝකාන්තයක් නෙවෙයිද කියලා හිතුණා.

කුමාර ජයකාන්ත ඒ වකවානුවේ තරුණ ආකර්ෂණය දිනූ කඩවසම් නළුවෙක්. ඔහු දූ දරුවෝ හි අසේලගේ චරිතය රඟ පෑවා.

“අවුරුදු තිහක් තුළ මා විශාල ටෙලි නාට්‍ය ප්‍රමාණයක් රඟ පෑවා… නමුත් තවමත් මිනිස්සුන්ට මාව මතක අසේල විදිහට. මා විශ්වාස කරන්නෙ ටෙලි නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය එන්නෙ 90 දශකයේ. ඒ වකවානුවේ මේ වැනි දැවැන්ත නිර්මාණයකට දායක වෙන්න ලැබුණ එක මගෙ වාසනාවක්.“

අවුරුදු තිහකට පසු කුමාර ඒ වාසනාවන්ත ප්‍ර‍ෙව්ශය ගැන ආදරෙන් කතා කරනවා. එවැනි වාසනාවන්ත නිර්මාණ බලාපොරොත්තුවක් තවමත් අපේ ප්‍රේක්ෂකයන් අතර නොමැකී තියනවා…

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30