විදුරු බෝතල් වෙනුවට මැටි බෝතල් හදුන්වා දෙයි

කාර්යාලවල, රථවාහනවල මෙන්ම නිවාසවලද බොන ජලය ගබඩා කරන වීදුරු බෝතල ඉවත් කර ඒ වෙනුවට මැටි බෝතල හඳුන්වාදීමට රජය තීරණය කර ඇත.රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ වීදුරු බෝතල භාවිතයෙන් සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි.නැවුම් රසයක් සහිත ජලය නිරන්තරයෙන් බීමට ගැනීමට හැකිවන පරිදි මැටි බෝතලය නිර්මාණය කරන බව ඔහු අවධාරණය කර සිටියි.

සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් සහ වෛද්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ (24 වැනිදා) පැවැති සමුළුවකදී ඔහු මේ බව කියා සිටියේය.එමෙන්ම ජලය ගබඩා කිරීම සඳහා යොදා ගන්නා වීදුරු බෝතල බොහෝමයක්ම මත්පැන් බෝතල්ය. 2019 වර්ෂයේදී පමණක් මිලිලීටර් 750 බෝතල් මිලියන 52ක්ද, මිලිලීටර් 500 වීදුරු බෝතල් මිලියන 40ක්ද, මිලිලීටර් 185 වීදුරු බෝතල් මිලියන 108ක්ද අලෙවි වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.