‘හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ මම වයසක කෙනෙක්ට ආදරේ කරන එක’ නිලූශි පවන්‍යා කියන කතාව

විවිධ විලාසිතා නිසාම බොහෝ දෙනෙක් අදුරන නිලුෂි පවන්‍යා දක්ෂ නවක රංගන ශිල්පිනියක්. ඉතින් මේ සුන්දර කතා බහ ඇය සමඟයි. කොරෝනා සමඟ රංගන කටයුතු ඉතාම පරිස්සමෙන් කරන නිලුෂි බෙහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇත්තේ හිරු ටිවි එකේ විකාශය වන දිවිතුරා නාට්‍ය සමඟයි. වින්ඩිගේ චරිතයට පණ දෙන නිලුෂි කතාව පුරාවට ගෙනියන්නේ වෙනස්ම චරිතයක්.

නිලුෂි තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක්ට ආදරේ කරනවා නේද? “ඔව් වින්ඩි අගස්තිට ආදරේ කරනවා. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ මම වයසක කෙනෙක්ට ආදරේ කරන එක. දෙන්නා අතරේ වයස් පරතරයක් තියෙනවා හැබැයි ආදරේට ඒවා බලපාන්නේ නෑ. ඇත්තම කතාව මගේ සැබෑ ජීවිතයේ සමහර යාළුවෝ ඉන්නවා අගස්තිගේ අතින් අල්ලනවට එයා එක්ක ආදරෙන් ඉන්නවට අකමැතියි. සමහරු මගෙන් අහනවා ඇයි වයසින් වැඩි කෙනෙක්ට ආදරේ කරන්නේ ඒක වැරැද්දක් නේද කියලා. එහෙම ප්‍රතිචාර ලැබෙනවා කියන්නේ ඇත්තටම මම සාර්ථක චරිතයක් කියලා මට හිතෙනවා.” කියලයි.

වින්ඩිගේ චරිතයට හැඩවෙන්න නිලුෂිට භාෂා ශෛලිය මෙන්ම විවිධ වෙනස්කම් වලට මුහුණ දෙන්න වුනා කියලා ඇයම අප සමඟ කියා සිටියා. නිලුෂි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක්. ඉතින් ඇයට විවාහ යෝජනා ගලාගෙන එනවා කියලත් අපිට දැනගන්න ලැබුනා ඉතින් අපි හිතුවා නිලුශිගෙන් මෙහෙම අහන්න.

නිලූෂි සැබෑ ජිවිතය තුළ පෙම්වන්තියක්ද? “නෑ මම තවම තනිකඩයි. මම ආදරේ කරලා තියෙනවා. හැබැයි මම කවදාවත් බූට් කාලා නෑ. බූට් තියලනම් තියෙනවා. දෙන්නට දෙන්නා තේරුම් ගන්න බැරිනම් බැදිමක් ඉස්සරහට ගෙනියන්න බෑ. මම ජනප්‍රිය ⁣වෙන්න පෙම්වන්තයෙක් හොයන්නේ නෑ. අනික විවාහය කියන්නේ දික්කසාදයකින් කෙලවර නොවෙන්න ඕනි දෙයක්. මම හිතන්නේ මට තව ටික කාලයක් නිදහසේ ජිවත් වෙන්න ඕනි. මම විවාහ වෙන කෙනා මාව තේරුම් ගන්න ඕනි. ම⁣ගේ රංගන ජිවිතය තේරුම් ගන්න ඕනි.

නොගැළපිම් අස්සේ බැදිම් තියාගෙන ජිවත් වෙන්න මම ආස නෑ. මට ගැලපෙන කෙනෙක් ලැබුන දවසකට මම ආදරේ ගැන හිතනවා. හැබැයි තවම එහෙම දෙයක් ඕනි ⁣කියන අදහස නෑ. මොකද මේ නිදහසට මම කැමතියි. විවාහ වුන දවසක මම මගේ ජිවිතේ මුල් තැන දෙන්නේ විවාහ ජිවිතේට මිසක් රංගන ජිවිතේට නෙවෙයි. බලමු කාලය හරි ම දේ ලං කරලා දෙයි.” කියලයි. නිලුෂි කියන්නේ රංගනයට මෙන්ම නර්ථනයටද දක්ෂ අයෙක්. ඉදිරියේද ඇය හොද නිර්මාණ වලට තම දායකත්වය දෙන බවයි අප සමඟ කියා සිටියේ.