හයේ හතරේ පාරවල් වලින් LPL හොල්ලපු දහය වසරේ පොඩ්ඩා

2012 වසරේදී ලංකා ප්‍රිමියර් තරගාවලිය පවත්වලා හරියටම වසර අටකට පසුවයි නැවත 2020 දී දහසක් ප්‍රශ්න මැද්දේයි අප මේ දිනවල ගොඩක් විනෝදයෙන් නරඹන ලංකා ප්‍රිමයර් තරගාවලිය පැවැත්වෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ආස කරන ක්‍රිකට් ජීවිතේ කරගත් ගොඩක් දෙනෙක් දෙනෙක් මේ දවස් 14ක කාලය ගත කරන්නේ LPL තරගාවලිය එක්ක බව රහසක් නෙවෙයි. ලංකාවේ විතරක් නෙවෙයි විදෙස් ක්‍රීඩකයින්ගේ එකතුවෙන් පැවැත්වෙන 20/20 තරගාවලි ඔබ නරඹන්නේ තමන් ගේ පළාත් වලට වගේම ඔබේ සිත ගත් කණ්ඩායමට ජය පතමින්. මෙම තරගාවලිය නරඹන අතරතුර ඔබට ඇහෙන ඔබ ප්‍රිය කරන නාදයක් වන්නේ ඔබ හෙල්ප් කරන කණ්ඩායමේ සාමාජිකයෙක් හයේ හෝ හතරේ පහරක් ලබා ගත් පසු වාදනය වන තේමා නාදයට නේද ? ඉතින් අපි හිතුවා මේ තේමා නාදයේ සැබෑ හිමිකරු කවුරුද කියලා හොයා යන්න. ඔහු තමයි දැනට ලංකාවේ සිටින ළාබාලතම ශබ්ද ඉංජිනේරුවා අයෝධ්‍ය කරුණාරත්න. මේ කතාවේ විශේෂත්වය වන්නේ අයෝධ්‍ය කියන්නේ තවමත් පාසල් අධ්‍යාපනය ලබන සිසුවෙක් වීමයි ඉතින් අපි හිතුවා අයෝධ්‍ය එක්ක ටිකක් කතා කරන්න,

මොකද්ද සම්පූර්ණ නම – මම අයෝධ්‍ය කවිඳු කරුණාරත්න

පවුලේ විස්තර ටිකක් කියමු නේද – මගේ තාත්තා අසංග කරුණාරත්න. තාත්තා රූපවාහිනී වැඩසටන් නිවේදන කටයුතු කරනවා. අම්මා නදීකා කරුණාරත්න. අම්මා පෙර පාසල් විදුහල්පතිනියක් විදියට කටයුතු කරනවා. මම පවුලේ ඉන්නේ මම විතරයි

  • අයෝධ්‍ය අද්‍යාපනය හදාරන පාසල – තලවතුගොඩ i-gate 10 වසර
  • එතකොට සංගීතයට නැඹුරු වෙන්නේ කොහොමද?

මෙහෙමයි මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳන්ම මම සින්දු කියන්න ආස කළා. ඉස්සර ඉඳම්ම මට ඕනේ වුණේ කවදා හරි හොඳ සංගීතඥයෙක් වගේම හොඳ සංගීත සංයෝජකයෙක් වෙන්න මම තවත් වැඩ කරන්නේ ඒ හීනේ හැබෑ කරගන්න

මුලින්ම සංගීතය හදාරන්න පටන්ගත්තේ කොහොමද..?

සංගීතයට මම පළමු පියවර පටන්ගත්තේ මගේ නැන්දාගෙන්. එයා විශාරද ප්‍රභානි කරුණාරත්න. පුංචි කාලේ ඉඳන්ම මගේ හැකියාවන් හඳුනාගෙන මාව හරි පාරට යොමු කළේ මගේ නැන්දා. අවුරුදු පහේදී තමා මම ඉස්සෙල්ලම ඩ්‍රම්ස් වාදනය කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ 2017 නෙළුම් පොකුණේ තිබ්බ ප්‍රසංගයකදී පවා මම ඩ්‍රම්ස් වාදනය කළා. මගේ 14 වැනි උපන් දිනයට තමා තාත්තයි, අම්මයි මේ ස්ටූඩියෝ එක දාලා දුන්නා. ඊට පස්සේ 2019 ජූලි මාසේ මම ශබ්ද ඉංජිනේරු පාඨමාලාව හදාරන්න පටන් ගත්තේ.

  • උපන්දිනය හම්බවුනු ස්ටූඩියෝ එකේ මොනවද මේ වෙද්දී කරපු වැඩ?
  • ජනප්‍රිය බැංකු කිහිපයක වෙළෙඳ දැන්වීම් කිහිපයක් නිර්මාණයකළා. අලුතෙන් තිරගතවුණු චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයට සංගීතය සැපයීම කළා. ඒ වගේම ලෝකඩවුන් කාලෙදී මමයි, තාත්තයි, නැන්දයි එකතුවෙලා සින්දුවක් කළා
  • මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර කොහොමද?
  • මම කරන වැඩ දැක්කම සහා මම ඉන්න වයසත් එක්ක ගොඩක් අය හොඳ කියනවා. ඒ වගේම තව හොඳ නිර්මාණ කරන්න ගොඩක් අය උනන්දු කරවනවා. ඇත්තටම මට එක ලොකු හයියක් පාසලෙන් පවා මාව ගොඩක් දිරිමත් කරනවා ඉදිරියට යන්න.

මෙවර 2020 LPL තරගයේ හයේ සහ හතරේ පහරක් ලබාගත්තට පස්සේ වාදනය කරන තේමා නාදය නිර්මාණය කරන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

ඇත්තටම LPL පළවනි මැච් එක පටන් ගන්න කලින් දවසේ තමයි මට කතා කළේ. ඒ මිලියන් ලාෆ් එන්ටර්ටෙට්මන්ට් ආයතනයේ චාමික අයියා. එයා කිව්ව මට IPL එකේ හයේ හෝ හතරේ පහරක් ගත්තම ප්ලේ කරන්න සවුන්ඩ් ට්‍රැක් එකක් ඕනේ කියලා. මම ඒ වෙලාවේ හිටියේ On LIne පන්තියක. ක්ලාස් එක ඉවරවෙලා ගෙදර ඇවිල්ලා රෑ තමා මම හදලා දුන්නේ.

  • ඒ සවුන්ඩ් ට්‍රැක් එක අනුමත වුණා කියලා දැනගත්තම ඔබට මොකද හිතුණේ?
  • ඇත්තටම ගොඩක් ලොකු සතුටක් දැනුණා. තරගය තියෙන දවස් 14ම ඉතින් වාදනය වනවානේ. ඒක ටීවී එක තුළින් ඇහෙද්දී ඔක්කොටම වඩා සතුටුයි.
  • ඔයාගේ අනාගත බලාපොරොත්තුව?
  • මගේ එකම බලාපොරොත්තුව ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකය තුළ ඉන්න ලෝකෙම පිළිගන්න හොඳ සංගීත සංයෝජකයෙක් වෙන්න ඒ වගේම මගේම කියලා කිසිම දෙයක් අඩු නැති 100%ක්ම සම්පූර්ණ හොඳ ස්ටූඩියෝ එකක් දාලා හොඳ නිර්මාණ කරන්න තමයි.