සුපිරි පාපන්දු තරුව මැරඩෝනාගේ ජීවිත කතාව

ලොකයේ අති විශිෂ්ටතම පාපන්දු තරුව වන මැරඩෝනා දිවියට සමු දුන්නා. එම සිදුවීම ලොව පුරා පාපන්දු ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලෝලීන්ගේ නෙත් කඳුලින් තෙත් කළ පුවතක් බවට පත්වුනා. ආජන්ටිනාවේ බුවෙනෝස් අයර්ස් නම් නගරයේ මුඩුක්කු නිවසක, කුස පිරෙන්න හරිහමන් අහරක් නොමැතිව උපන් මැරඩෝනාගේ කුඩා කාලය කඳුළින් පිරි දුක්බර කාලයලයක්. ඔහුගේ පියා එම ප්‍රදේශයේම කම්කරුවෙක්. මව රැකියාවක් කළේ නෑ. ඔහුට අක්කලා හතර දෙනෙක් හා මල්ලිලා දෙදෙනෙක් සිටියා. දිළිඳු බවේ පත්ලේම සිටි ඔවුන් යාන්තම් බඩ කට පුරවා ගත්තේ පියා දෑතේ සවියෙන් එදිනෙදා ගෙනා සොච්චම් මුදලෙනි බොහොදිනවල දවසටම එක වේලක් පමණයි ඔවුන් ආහාර ගත්තේ. දිළිඳු පවුලක වැඩිමල් කොලුගැටයා වශයෙන් උපන් පුංචි මැරෙඩෝනා තම පවුලේ බර කරට ගෙන කුඩා වියේ දීම ඔහු අඩු වයසින් ම වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු ලෙස පාපන්දු කණ්ඩායමකට බැඳුනා,

වයස අවුරුදු තුනේ උපන් දිනය දවසේ ඔහුට තෑග්ගට ලැබුණු පාපන්දුව, ඔහුගේ ජීවිතය නොසිතූ නොපැතූ මඟකට අරගෙන ගියා. අවසානයේ පාපන්දුවෙන් පෑ දස්කම් නිසා මරෙඩෝනා පාපන්දු පිටිය දෙවනත් කරමින් කිසිවෙක් නොසිතූ ලෙස ලෝක පූජිත පාපන්දු තරුව බවට පත් වීමට සමත්වුනා. 1986 පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාවට හිමිකරදීමේ ප්‍රධාන ගෞරවය හිමිවන්නේ අංක “10” ජර්සියෙන් ක්‍රීඩා කළ මැරඩෝනාට. එහිදී ඔහු පෙන්වූ දස්කම් සදා අමරණීයවුනා. තමන්ගේ උපන් රට වන ආජන්ටිනාවේ තිග්‍රේ නුවරදී මැරඩෝනා දිවි ගමන නිමාකළේ මොළයේ ලේ කැටියක් ඉවත් කිරීමේ සැත්කමකට භාජනය වී දෙසතියකට පසු හදිසියේ හටගත් හෘදයාබාධයකින්. දිවිගමන නිම කරද්දී දියේගෝ මැරඩෝනා 60 හැවිරිදි වියෙහි පසුවුනා. මැරඩෝනාගේ අවසන් වදන් වූයේ “මට අසනීප ගතියක් දැනෙනවා” යන්නයි.

දියේගෝ ආර්මන්ඩෝ මැරඩෝනා ෆ්‍රෑන්කෝ උපන්නේ 1960 ඔක්තෝබර් මස 30 වැනිදා ආර්ජෙන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරදී. සහෝදර සහෝදරියන් හත්දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියා මැරඩෝනාය. 1979 වසරේ පැවති වයස අවුරුදු 20 න් පහළ පාපන්දු ලෝක කුසලානයේ දී හොඳම ක්‍රීඩකයා සම්මානය හිමිකරගැනීමට මැරඩෝනා සමත් වුනා. ඉන්පසු 1981 දී ඔහු ඇමෙරිකන් ඩොලර් මිලියන 4 ක මුදලකට ආර්ජන්ටිනෝස් ජූනියර්ස් කණ්ඩායම හැර දමා බොකා ජූනියර්ස් කණ්ඩායමට එකතු උනා.

1982 දී පාපන්දු ලෝක කුසලානය පැවැත්වූයේ ස්පාඤ්ඤයේදී. මැරඩෝනා සහභාගී වූ ප්‍රථම පාපන්දු ලෝක කුසලානය මෙය වූ අතර, එවකට ආජන්ටිනාවේ සහ ලතින් ඇමෙරිකාවේ පාපන්දු ක්‍රීඩකයන් අතරේ පමණක් ජනප්‍රිය චරිතයක් වූ මැරඩෝනා ලෝ පුරා සුවහසක් පාපන්දු ලෝලීන්ගේ අවධානයට ලක් වූයේ මෙම පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන්. ආජන්ටිනා කණ්ඩායම තරග පහක් ක්‍රීඩා කළ අතර, මැරඩෝනාගේ විශිෂ්ට දස්කම් ක්‍රීඩාලෝලීන් හා විචාරකයන් පුදුමයට පත්කලා. ඉතාලිය සමඟ පැවැති තරගයේදී ඉතාලි ක්‍රීඩකයන් මැරඩෝනාට 23 වතාවක් නීති විරෝධී බාධා කිරීම් සිදුකර තිබුනා. මෙතෙක් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරඟයක දී එක් ක්‍රීඩකයෙකුට කරන ලද වැඩිම නීති විරෝධී බාධා කිරීම් ගණන මෙයයි. මැරඩෝනා ඒ තරමට දක්ෂයි. මැරඩෝනා පිටිය පුරා අකුණක වේගයෙන් දිව යන්නේ පන්දුව පාදයේ අලවා ගෙන වගේ. ‘පිටියට ගියාම මට සියල්ල අමතක වෙනවා. ජීවිතයත් අමතක වෙනවා. මට පෙනෙන්නේ පන්දුව විතරයි වෙන කිසිදෙයක් ගැන මම තැකීමක් කරන්නේ නෑ.’ මැරඩෝනා සිය තරඟ රටාව ගැන කීවේ ඒ විදියට.

ස්පාඤ්ඤයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරඟයෙන් පසු, මැරඩෝනාගේ සුවිශේෂී දක්ෂතා හඳුනාගත්, ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම ඇමරිකානු ඩොලර් මිලියන 9.81 ක මුදලකට ඔහු එම කණ්ඩායමට බඳවා ගන්නවා. මැරඩෝනා වෙනුවෙන්, බොකා ජූනියර්ස් කණ්ඩායමට, ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම දුන් එම මුදල එවකට පාපන්දු කණ්ඩායම් දෙකක් අතරේ ක්‍රීඩකයෙකු හුවමාරු කර ගැනීමට ගෙවන ලද වැඩිම මුදල ලෙසයි සැලකෙන්නේ. 1983 දී බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් අති විශේෂ ජයග්‍රහණ රැසක් අත්පත් කර දීමට මැරඩෝනා සමත් වෙනවා. ඔහු වසර දෙකක් ස්පාඤ්ඤ බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කලා, තරග 58 කදී ගෝල් 38 ක් වාර්තා කලා.

1984 වසරේ ඉතාලියේ නාපෝලි කණ්ඩායම මැරඩෝනා එක් වෙනවා. මැරඩෝනාගේ ක්‍රීඩා දිවියේ ටර්නින් පොයින්ට් එක වූයේ මෙයයි. නාපෝලි ක්‍රීඩකයකු ලෙස මැරඩෝනා පළමු වරට නාපෝලි ක්‍රීඩාංගනය වෙත පැමිණි අවස්ථාවේ, 75,000 කට අධික පාපන්දු ක්‍රීඩාලෝලීන් පිරිසක් ඔහු පිළිගැනීමට ක්‍රීඩාංගනයට රැස්ව සිටි අතර ප්‍රීතිඝෝෂා පවත්වමින් ඔල්වරසන් දෙන්නට වුනා. නාපෝලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිද්දී, ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයා ලෙස මැරඩෝනා 1986 වසරේ ලෝක කුසලානයට සහභාගී වුනා.1986 වසරේ ලෝක පාපන්දු ලෝක කුසලානය පැවැත්වූයේ මෙක්සිකෝවේදී. මැරඩෝනා පිළිබඳව පාපන්දු ලෝලීන්ට නොමැකෙන මතක ඉතිරි කළ ලෝක කුසලානය මෙයයි.

“මගේ වීරයා චේ” යැයි පවසමින් පච්චය පෙන්නූ අවස්ථාව

1986 ජූනි මස 22 වැනි දා මෙක්සිකෝ සිටි නගරයේ ඇස්ටෙකා ක්‍රීඩාංගනයේ පැවති ආර්ජෙන්ටිනාව සහ එංගලන්තය අතර එම අර්ධ අවසාන තරගය මැරඩෝනාව පාපන්දු ක්‍රීඩකයකු ලෙස අමරණීය තත්ත්වයකට ඔසවා තැබීය. මේ වන විට ආර්ජන්ටිනාව සහ මහා බ්‍රිතාන්‍යය අතර ෆෝක්ලන්ඩ් දූපත් වෙනුවෙන් පැවති යුද්ධය නිසා සිදු වූ හානිය හේතුවෙන් දෙරට අතර විරසකයක් හට ගෙන තිබුනා. ඒ නිසා ආර්ජන්ටිනාව සහ එංගලන්ත කණ්ඩායම පාපන්දු පිටියේ මුහුණට මුහුණ හමුවීම යුද ගැටුමකට නොදෙවැනි තත්වයක් අරගත්තා. ප්‍රථම භාගයේ දී කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි විය.

මැරඩෝනා ගේ දියණියන් දෙදෙනා සමග

තරගයේ දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 6 කින් මැරඩෝනා ගෝලයක් වාර්තා කළේය. මෙම ගෝලය සුවිශේෂී එකකි. මැරඩෝනා එම ගෝලය වාර්තා කළ වේගය නිසා ඔහුගේ අත පාපන්දුවේ වැදුණු බව සහය විනිසුරු දුටුවේ නැත. ඔහු සංඥා නොකළ නිසා ප්‍රධාන විනිසුරුවරයා එය ගෝලයක් ලෙස නම් කළේය. තම අත වැදුණු බව දැනුනත් මැරඩෝනා ඒ බව කීවේ නැත. පසුව ඔහු එය දෙවියන්ගේ අතින් ලබා දුන් ගෝලයක් ලෙස හැඳින්වීය. ඒ ගෝලය සම්බන්ධයෙන් එංගලන්ත කණ්ඩායම විරෝධය පළ කළත්, විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් එම ගෝලය වාර්තා කළ පසු, වරක් මැරඩෝනා තරගයේ 55 වැනි මිනිත්තුවේදී, පිටියේ එක් කෙළවරක සිට, එංගලන්ත ක්‍රීඩකයින් අබිබවමින් පන්දුව සමඟ දිවවිත් යළිත් වරක් ගෝලයක් ලබා ගත්තේය. එය පාපන්දු ඉතිහාසයේ පමණක් නොව, මැරඩෝනාගේ ක්‍රීඩා දිවියේත් අනුස්මරණීය මතක සටහනකි. විශිෂ්ට ගෝලයක් ලෙස සැලකෙන මෙය හැඳින්වෙන්නේ ‘සියවසේ ගෝලය’ යනුවෙනි.

අවසන් පූර්ව වටයේ තරගයේ මැරඩෝනා ද්විත්ව ගෝල ලබා ගැනීමත් සමඟ බෙල්ජියම සමඟ තරගය ජයග්‍රහණය කිරීමට ආජන්ටිනාව සමත් විය. 1986 ජූනි 29 වැනිදා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ බටහිර ජර්මනිය සහ ආජන්ටිනාවය. අවසන් මහා තරඟය 3-2 ක් ලෙස ජය ගත් ආජන්ටිනා කණ්ඩායම 1986 පාපන්දු ලෝක ශූරයින් විය. තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට පිරිනමන රන් පන්දුව හිමිකරගැනීමට මැරඩෝනා සමත්විය. අවුරුදු 20 න් පහළ පාපන්දු ලෝක කුසලානයක දී සහ පාපන්දු ලෝක කුසලානයක දී තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙසින් අභිෂේක ලද ප්‍රථම ක්‍රීඩකයා වූයේ ද දියේගෝ මැරඩෝනාය. කෙසේ නමුත් 1990 ජූලි 8 වැනිදා බටහිර ජර්මනියට එරෙහිව පැවති අවසාන මහා තරගයෙන් ආජන්ටිනාව පරාජය විය.

1990 ලෝක කුසලානයෙන් පසු මැරඩෝනාට යළි සුපුරුදු හපන්කම් දැක්වීමට නොහැකි විය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. නොයෙක් පෞද්ගලික ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවිය. 1992 දී, මැරඩෝනා නාපෝලි කණ්ඩායමෙන් ඉවත් වී, ස්පාන් සෙවීයා කණ්ඩායම හා එකතු වෙනවා. මැරඩෝනා නාපෝලි කණ්ඩායම වෙනුවෙන් කළ මෙහෙවර අදටත් නේපල්ස් වැසියන්ට අමතක වී නෑ. නේපල්ස් වැසියන්ට මැරඩෝනා පාපන්දු සුපිරි තරුවක් නොවෙයි. දෙවියකෙි. විසි වසරකට වැඩි කාලයක් පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ දක්ෂතා වෙනුවෙන් 2000 දී අන්තර්ජාතික පාපන්දු සංගමය, සියවසෙහි පාපන්දු ක්‍රීඩකයා ලෙසින් බ්‍රසීලයේ පේලේ හා මැරඩෝනා නම් කරමින්, ඔවුන් ඇගැයීමට ලක් කළේය. අවසානයේ ඔහු ලෝකයේ සියලුම පාපන්දු රසිකයන් හඬවා ජීවන තරගයෙන් ඉවත්විය

මැරඩෝනා ගේ දෙවියන්ගේ අතින් ලබා දුන් ගෝලය
මැරඩෝනා ඔහුගේ මව සහ පියා සමග