‘සිංහල සින්දු කිවුවට මට හරියට සිංහල බෑ’ රංවල බලකායේත් හිටපු ආදිත්‍යා දැන් කියන කතාව

ආදිත්‍යා නම කියුවත් දන්න තරුවක්. සිරස ‘වොයිස් ටීන්’ හරහා රටම දැනගත් ඇය දක්ෂ තරඟකාරියක්. බොහෝ දෙනෙක් ඇයව ආදරයෙන් වැළද ගද්දි සමහරුන් ඇයට විවේචන එල්ල කරන්න වුනේ සමාජ මාධ්‍ය තුළ ඇය බොහෝ කටකතා පැතිරුණ නිසා .අද අපේ කතාව ඒ දක්ෂ ගායිකාව ආදිත්‍යා වැලිවත්ත සමඟ.

‘නොමිලේ දුන් නිසා’ ගීතය හරහා විනිසුරු මඩුල්ල මෙන්ම ප්‍රෙක්ෂකයන්ගේ හදවත දිනාගත් ආදිත්‍යාට ඒ ගැන තියෙන්නේ මොන වගේ හැගිමක්ද? ” ඇත්තටම ඒක වචනයෙන් කියන්න බෑ. මොකද මම මුලින්ම වොයිස් ටීන් වේදිකාවේ ගයපු ගීතය ‘නොමිලේ දුන් නිසා’. ජිවිතේ කවදාවත් ඒ වගේ වේදිකාවක මම ගීත ගායනා කරලා නෑ. හැබැයි එදා හොදම ගායනය මගේ. ඉතින් ඒ හැගිම ගැන කියන්න මට වචන නෑ.

මට මම ගැන ලොකු ආඩම්බරයක් දැනුන දවසක් එදා. ජය පරාජය ඕනිම දෙයක් දරාගන්න භාරගන්න තමයි මම ගියේ. මට ඕනි වෙලා තිබුනේ ජය පැරදුම කොහොම වුනත් තරඟයට ඉදිරිපත් වෙන්න. මගේ අම්මා මට නිතරම කියන දේ තමා සහභාගිත්වය වැදගත් කියලා. මම පුළුවන් හැම වෙලාවකම මගේ දක්ෂතාවය පෙන්වන්න එළියට එනවා. ඉතින් එදා වොයිස් ටීන් මතකය අදටත් හරි සුන්දරයි මට.”

සංගිත ක්ෂේත්‍රයේ ගමනක් ඒම ලෙහෙසි පහසු නොවේ. මොකද ඇත්තටම ඒසදහා උදව් කළ යුතු පිරිසක් සිටිය යුතුමයි. ආදිත්‍යාගේ ජිවිතේ එහෙම උදව් කරපු අය ඉන්නවද? “ඔව් ඉන්නවා. මගේ අම්මා තාත්තා ඇතුළු මගේ පවුලේ අය. මොකද එයාලා නිසය ආදිත්‍යා කියන චරිතයක් බිහි වුනේ. අනිවාර්යයෙන් තව කියන්න ඕනි උමාරියා මිස්, උමාරා මිස් වගේම භාත්ය සර්. ඇත්තටම එයාලා මට ගොඩක් උදව් කළා. මොකද මම හිතපු තරම් මේ ගමන එන්න අමාරු වුනා. තාඩන පීඩන හැල හැප්පිම් එක්ක තමා මම ආවේ. සිංහල වුනත් මට කතා කරන්න අමාරුයි. ඒ වගේම සමාජ ජාලා වල ගියපු සමහර දේවල් නිසා මම ගොඩක් මානසිකව වැටුනා.ඉ තින් ඒ හැමතැනකම මේ අය මට උදව් කළා”

ජිවිතේ දරාගැනිම් කියලා දුන්නේ කවුද? “මගේ අම්මා. මොකද මම පරාජ වෙන හැම තැනකම මට වැටෙන්න නොදි අල්ලගත්තේ එයා. ඒ වගේම මම යම් දෙයක් බෑ කිවොත් නෑ ඔයාට පුළුවන් කියලා මාව දිරිමත් කරන්නේ එයා. ඉතින් මගේ ජිවිතේ මගේ අම්මා. කාලයක් තිබුනා සමාජ මාධ්‍ය වල මගේ චරිතයට මඩ ගහපු. ඒ හැම තැනකම මම තනිවෙලා විදවද්දි අම්මා මගේ ලග හිටියා. ඉතින් අම්මා තමා මගේ ලෝකේ. ඒ තමා මගේ හයිය. මට දරාගැනිම කියා දුන්න කෙනා.” කියලයි,