සාර්ථක දරුවන් ඇති දැඩි කරන්න මෙන්න මේ දේවල් 08 පිළිපදින්න

ඕනම දෙමාපියෙක්ගේ ආශාව තමයි තමන්ගේ දරුවා ජීවිතයේ සාර්ථකත්වයට පත්වෙනවා දැකීම. දරුවන් ඇති දැඩි කිරීම කියන්නේ සරල දෙයක් නෙවෙයි. එය ඇත්තෙන්ම භාරදූර කාර්යක්. දරුවන් හට දයාවෙන් කරුණාවෙන් වගේම දැඩි සෙනෙහසකින් ගුණ ධර්ම සහ දැනුම ලබාදිය යුතුයි. එවැනි ළමා කාලයක් නොලැබුණු දරුවන් පසුකලෙක සමාජ විරෝධි කටයුතු වල නිරත වීමට පටන්ගනිමින් සමාජයටම පිළිලයක් වූ කතාපුවත් අසන්නට ලැබෙනවා.

දෙමාපියන් විදියට දරුවන් උස්මහත් කලයුතු ආකාරය එක් විෂයක් විදියට කවුරුත් උගන්වන්නේ නැහැ. ඒ සඳහා වැදගත් වන්නේ දෙමාපියන් විදියට ඔබ සතු ගතිලක්ෂණ  සහ ඔබ දෙදෙනා අනුගමනය කරන උපක්‍රම සහ ප්‍රතිපත්තියි. ඔබ දරුවන් ඇතිදැඩි කරන ආකාරය ඔවුන්ගේ අනාගත ජීවිතය කෙරෙහි දැඩිව බලපානු ලබනවා.විශේෂයෙන්ම දෙමාපියන් විදියට ඔබ අනුගමනය කරන දෙමාපිය ශෛලිය දරුවාගේ පෞරුෂ වර්ධනයේදි සෘජුවම බලපෑම් ඇතිකරවනවා.

විද්‍යාත්මක අධ්‍යයනයන් මඟින් පෙන්වාදෙන ආකාරයට පහත සඳහන් ගති ලක්ෂණ ඇති දෙමාපියන්ගේ දරුවන් වඩාත් සාර්ථකත්වයට පත්විමට ඔවුන්ගේ දෙමාපියන්ගේ මෙම ගති ලක්ෂණ ප්‍රබල වශයෙන් හේතු වන බවයි.

01. දරුවාගේ සිත රිදෙන ආකාරයේ දේ සහ බොරු නොපැවසීම

සිංගප්පූරුවේ සිදුකල එක්තරා අධ්‍යනයකින් පෙන්වාදෙන්නේ අප්‍රසන්න සත්‍ය සැඟවීම උදෙසා දරුවන්ගෙන් සත්‍ය වසන් කර බොරු පැවසීම ඔවුන් වැඩිහිටි ජීවිතයට අනුගතවීමේදී ගැටලුකාරී ලෙස බලපෑම් කල හැකි බවයි. දරුවන් තරමක් අමාරු ගැටලුවක් විමසන විට බොරුවක් පවසා ඉන් පහසුවෙන් පළායාම බොහෝ දෙමාපියන් සිදුකරන දෙයකි. නමුත්, ඉන් දරුවා ලබාගන්නා අවබෝධය සත්‍ය දෙයට වඩා බොහෝ විට හාත්පසින්ම වෙනස් දෙයක් විය හැකියි. අවංකභාවය යනු දෙමාපියන් සතුවිය යුතුම ලක්ෂණයකි. ඔබ නොදන්නා දේට බොරුවක්  පැවසීමට වඩා ඔබ නොදන්නා බව පවසා ඒ ගැන සොයාබලා පිලිතුරු දීම සිදුකල හැකියි. බොරු පවසන දෙමාපියන්ගේ දරුවන් වැඩිහිටි වූ පසු දෙමාපියන් මෙන් බොරු කීමට පටන්ගත හැකියි. ඉතින් ඔබ ඔබේ දරුවාව ‍රැවටීම අනාගතයේ ඔහු/ඇය ඔබව බොරු කියමින් ‍රැවටීමට පටන්ගැනිම දක්වා බරපතල සෘණාත්මක හැසිරීම් වර්ධනයට තුඩු දිය හැකියි. එබැවින් දරුවාට සැම විට ඇත්ත කතා කිරීමට උගන්වන්න.

02. දරුවා ගැන අනවශ්‍ය ලෙස අන්තර්ජාලයේ දේවල් පළ නොකිරීම

බොහෝ දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ ඡායාරූප සහ තොරතුරු අන්තර්ජාලයේ ගිණුම් හරහා පළ කිරීමට අද කාලයේ හුරු වී තිබෙනවා. මෙය ඇත්තටම පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක් කියන්නත් පුලුවන්. ඇතැම් දෙමාපියන් සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන්ව ප්‍රසිද්ධ කිරීමට, ඔවුන්ව වෘත්තීමය කටයුතු වලට පවා බලෙන් යොමු කරන අවස්ථා තිබෙන බව අසන්නට ලැබේ. මින් දරුවා අපහසුතාවයට ලක්විය හැකියි මෙන්ම ඔවුන්ගේ වැඩිහිටි ජීවිතයේ ආත්මාභිමානයට ද හානි ඇතිකරවිය හැකියි.

03. සංචාර කිරීමට දරුවාව උද්යෝගිමත් කිරීම

සංචාරය කිරීම හරහා අලුත් අලුත් දේ අත්දැකීමට සහ දැනුම ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. ලෝකය දැකීමට ලැබෙන අවස්ථාවක් විදියට සරලවම සංචාරය කිරීම නිර්වචනය කල හැකියි. දරුවාට නිදහස ලබාදෙමින් ස්වාධීනව සංචාරය කිරීමට ඉඩ දීමෙන්, දැනුම ලැබී  ඔවුන්ගේ බුද්ධිය වර්ධනය වනවා මෙන්ම පවතින තත්වයට අනුව හැඩගැසීමට ඉගෙනීම, ගැටලු විසඳාගනිමින් අභියෝග වලට මුහුණ දීමට පන්නරය ලැබීම, අනුන් මත නොයැපී ස්වාධීන පුද්ගලයෙකු ලෙස හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ජීවත් වන අයුරු අත්දැකීම් ලබමින් ඉගෙනීමට ඔවුන්ට ප්‍රයෝගික අවස්ථා උදාකර දිය හැකියි. එමෙන්ම විවෘත මනසකින් සමාජය දෙස බැලීමට, සරල ගති පැතුම් සහිත ගෞරවනීය පෞරුෂත්වයක් දරුවා තුල වර්ධනය වීමට මෙම අත්දැකීම් බොහෝ සෙයින් ඉවහල් වේ. එය ඔවුන්ගේ වැඩිහිටි ජීවිතයේ සාර්ථකත්වයට අතිශය වැදගත් වන පෙරහුරුවක් බඳුය.

04. නිවසේ වැඩ කටයුතු සඳහා දරුවාගේද සහය ලබාගැනීම

නිවසේ කටයුතු වලට දරුවාද දායක කරගැනීම ඔවුන්ගේ වැඩිහිටි ජීවිතයේ කටයුතු සාර්ථකව ඉ‍ටුකරගැනීමට ඔවුන්ට හොඳ පුහුණුවක් ලබාදෙන බව අධ්‍යයන වලින් පවා තහවුරු කෙරෙන කරුණක්. දෙමාපියන් ලෙස ඔබට හැක්යි ඔබේ දරුවාගේ වයසට සරිලන කුඩා කුඩා වගකීම් පැවරීමට. උදාහරණයක් ලෙස මුළුතැන්ගෙයි කටයුතු වලට, නිවසේ පිරිසිදු කිරීම් කටයුතු වලට, කෑම මේසය සකස් කිරීම , ගෙවතු වැඩ ආදි ක්‍රියාකාරකම් වලදී දරුවා ඊට සහභාගි කරවා ගන්න. මෙවැනි ක්‍රියාකාරකම් හරහා ඔවුන්ට කණ්ඩායම් හැඟීමකින් කටයුතු කරන ආකාරය, කාල කලමණාකරනය සහ ගැල‍ටු නිරාකරණය වැනි ජීවිතයේ ඉතා වටිනා පාඩම් ‍රැසක් අත්දැකීම් සහිතව ඉගෙන ගැනීමට අවස්ථාව හිමිවේ. උපකාර කිරීම වැනි උතුම් ගුණාංග දරුවා තුල වර්ධනය කිරීමටත් මෙය හොඳ උත්සාහයක් වේවි. තමන්ගේ කටයුතු තනිව ඉ‍ටුකරගනිමින් ස්වාධීනව මෙන්ම කණ්ඩායකමක් ලෙස කටයුතු කරන ආකාරය ඉගෙනීම දරුවාගේ වැඩිහිටි ජීවිතය සඳහා ඉතා වටිනා පාඩමකි.

05. හැකියාවට වඩා උත්සාහය නිතර අගය කිරීම

බුද්ධිමය ජයග්‍රහණයට ප්‍රශංසා කිරීමට ක්‍රම 2 ක් ඇත: “ඔබ හරිම දක්ෂයි!” “ඔබ බොහෝ වෙහෙස මහන්සි වී එය හදුනා ගත්තා!” පළමුවැන්න ස්ථාවර මානසිකත්වයක් පෝෂණය කරන අතර දෙවැන්න – වර්ධන මානසිකත්වයක් ඇතිකරවයි. ස්ථාවර මානසිකත්වයක්  ඇතිවීම තුලින් ළමයින්ට පවසන්නේ ඔවුන්ට සැබෑ ජයග්‍රහණය ලැබිය නොහැකි බවත් ඔවුන්ට දැනටමත් ඇති හැකියාව වැඩි දියුණු කළ නොහැකි බවත්ය. නමුත් ඔබ එම උත්සාහයට ප්‍රශංසා කරන විට, ඔබ ළමයින්ට වඩා හොඳ දේ කිරීමට උනන්දු කරවීමක් ප්‍රේරණයක් ඇතිකරමින් කිසිවිටෙක අත්නොහරින්න යන හැඟීම දරුවා තුල ගොඩනගයි.

වර්ධන මානසිකත්වයක් ඇති දරුවන් වැඩිහිටිභාවයට පැමිණි විට කිසිඳු අපහසුතාවයකින් හෝ ආයාසයකින් තොරව නව ජීවිතයට හැඩගැසෙති.ඔවුන් අපහසු අභියෝග වලට ගැටලු වලට බිය නැත. මේ අතර, ස්ථාවර මානසිකත්වයක් ඇති පුද්ගලයින් බොහෝ විට තමන්ගේ සහජ හැකියාව, ගැටලුව කළමනාකරණය කිරීමට ප්‍රමාණවත් නොවන බව සිතමින්, ඒවාට මුහුණ දීමට නොහැකිව, “මට තවත් කළ හැකි කිසිවක් නැත” යන හැඟීම ඇතිකර ගනිති. එබැවින් දෙමාපියන් ලෙස දරුවාගේ හැකියාවට වඩා ඔවුන් දරන උත්සාහය අගය කරමින් ඔවුන්ව ප්‍රශංසා කරන්න.

06. නිවසින් පිටත ‍රැකියා කරන මවුවරුන්ගේ දියණියන් අධ්‍යාපනයේ ඉහළටම ගමන් කිරීම දක්නට ලැබෙන බව අධ්‍යයනයකින් හෙලිවේ.

young businesswoman thought for laptop holding hands her head

හාවර්ඩ් ව්‍යාපාර පාසලේ පර්යේෂකයින් පිරිසක් සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ මව ගෘහණියක් වන දියණියන්ට වඩා නිවසින් පිටත ‍රැකියා කරන මවුවරුන්ගේ දියණියන් වැඩිදුර අධ්‍යාපනය ලබමින් ඉහළ කලමණාකරන ධූර වලට පත් වී ඉහළ වැ‍ටුප් ඉපයීමට තරම් සාර්ථකත්වයක් උදාකරගැනීමට සමත්වන බවයි. මෙවැනි මවුවරුන්ගේ පුත්‍රයින් බොහෝ විට නිවසේ වැඩකටයුතු වලට උපකාර කිරීම දරුවන් ‍රැකබලාගනිමින් සහය දීම සිදුකරන බව ද එහි සඳහන් වේ.

07. බිරිඳ-සැමියා අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ එකිනෙකාට සහයෝගය දැක්වීම

දෙමාපියන් අතර නිතර අඩදබරවීම් ඇතිවීම දරුවන්ගේ මානසික තත්වයට මෙන්ම පෞරුෂ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කරයි. ගැ‍ටුම් අර්බුධ බහුල පවුල් පසුබිමක ඇති දරුවන් සමාජයීය ගැටලු වලට නිතර මුහුණ දෙති. එමෙන්ම ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධ ගැටලු පැනනැගිය හැකියි. මානසික ඒකාග්‍රතාව පවත්වාගැනීම අපහසුවීම නිසා ඉගෙනීම් කටයුතු අඩාල කරගැනීම බොහෝ විට දක්නට ලැබෙන ලක්ෂණයකි. දෙමාපියන්ගේ නිසි සැලකිල්ලක් ආදරයක් නොලැබුණු ළමාකාලයක් ඇති දරුවන් බොහෝ විට වැඩිහිටි වූ පසු තම දෙමාපියන් මෙන් හැසිරීමට, තම දෙමාපියන් තාට සිදුකල පීඩාකාරී දේවල්  තමන්ගේ දරුවන්ට ද සිදුකිරීමට පටන්ගැනීමේ සම්භාවිතාව වැඩිය.

නමුත්, ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන යුවලකගේ දරුවන් හොඳ මානසිකත්වයක් සහිතව දැනුමින් මුහුකුරා ගිය ධනාත්මක පෞරුෂත්ව ගතිගුණ වර්ධනය කරගනිති.

08. බලයලත් සහයක දෙමාපිය ශෛලිය (authoritative parenting style)

මනෝවිද්‍යාවේදි, දෙමාපිය ශෛලීන් වර්ග 3 ක් යටතේ හඳුනාගැනේ: අනුඥාත හෙවත් යමකට අවසර දෙන (permissive), බලයලත් සහයක දෙමාපිය ශෛලිය (authoritative) සහ ආධිකාරික ශෛලිය (authoritarian)

අවසර දෙන සහ අධිකාරී දෙමාපිය ශෛලියන් සැම දේටම ඉඩ දීම සහ දැඩි පාලනයකට යටත් කිරීම යන උපරිම අන්තයන් සමඟ කටයුතු කරන ශෛලියන් වේ. නමුත්,බලයලත් සහයක දෙමාපියන් තම දරුවන්ට මගපෙන්වීම, ඔවුන්ව දිරිගැන්වීම සහ ඔවුන්ට ඉගැන්වීමේ වගකීම කෙරෙහි වැඩි අවධානයක් ලබාදෙති. මෙම දෙමාපියන්ගේ දරුවන් විනයගරුක, ස්වාධීන සහ ස්වයං අවබෝධයක් සහිත වැඩිහිටියන් බවට පත්වේ.