සරල ඇඳුම් ඇඳගෙන ඇවිදින්න යන්න හරිම කැමතියි

රංගනයෙන් දායක වන සෑම චරිතයක්ම ප්‍රේක්ෂකයාගේ මනසේ රැඳෙනවා කියන්නේ එය ඇගේ හෝ ඔහුගේ දක්ෂතාවය.ඒවගේ රංගන ශිල්පිනියක් තමා සඳනි ප්‍රනාන්දු කියන්නේ ඇය මුලින්ම රඟපෑ ස්වර්ණවාහිනී ඔස්සේ විකාශනය වූ හාර කෝටියේ රශ්මිගේ චරිතය තාමත් හැමෝටම මතකයි. “අග්නි පියාපත් ටෙලි නාට්‍යහි මාධවී කියන්නේ මගේ පස්වෙනි චරිතය. මවකගේ වගේම බිරිඳකගේත් චරිතයක අත්දැකීමක් නැති නිසාමයි මේ චරිතය කැමැත්තෙන්ම භාරගත්තේ. මොකද අභියෝගයක් තියෙනකොට රඟපාන්න හරිම ලේසියි ඒවගේ දේවල් වලට අපි මුහුණ දෙන්න ඕන. කොහොමත් මම අභියෝග වලට ගොඩක් කැමතියි හැමදාම ජීවිතේ අභියෝග එක්ක ගත කරපු කෙනෙක්, මාරවිල වගේ පුංචි ගමක ඉපදිලා නිගම්බු සවුත් ඉන්ටර්නැෂනල් එකේ ඉගෙන ගන්න කාලේ හීනෙකින්වත් හිතුවේ නෑ නිළියක් වෙයි කියලා උසස් පෙළට කළමනාකරණ විෂයත් තෝරාගත්තේ කවදා හරි හොඳ රස්සාවක් කරන්න කියලා හිතාගෙන. ඒත් 2017 අවුරුද්දේ මගේ ජීවිතේ හැම දෙයක්ම හිතුවේ නැතිවිදියට කණපිට පෙරලුණේ මටවත් හිතාගන්න බැරි විදියට

අයි.ටී.එන්. අවුරුදු කුමාරි තරගයට මම ඇප්ලිකේෂන් එකක් දැම්මේ ඇයි කියලා මටවත් හිතාගන්න බැහැ. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරිට ඉල්ලුම් කළේ කලාවට තිබුණ ආසාව නිසා. හැබැයි මගේ ඉගෙනීමේ කටයුතු එතනින් තාවකාලිකව නතර කරන්න සිද්ධ වුණා ඒ ගැනනම් පොඩි කනගාටුවක් තියෙනවා අපේ පවුලෙ මම හැරුනම කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් නැහැ පුංචි කාලේ අම්මා කියන විදියට මට පුදුම දාංගලයක් තිබිලා තියෙන්නේ ඒත් දවසින් දවස මම මුහුකුරා එනකොට බොහෝම නිහඬ චරිතයක් බවට පත්වෙලා

මගේ දිහා බලන ගොඩක් අය මගේ නිහඬ බව නිසා මම මහ ගුප්ත කෙනෙක් කියලත් කියනවා. අනේ ඒත් මම ගුප්ත නෑ… ක්​ෂේත්‍රයට ආපු දවසේ ඉඳලම ගොඩක් ඉවසීමෙන් මම ඒ දිහා හොඳට බලාගෙන ඉන්නවා. මම රංගනය පැත්තට යොමු වෙනකොට ගෙදරින් ලොකු හයියක් ලැබුණා. ඒ ලැබීම නිසාම වෙන්න ඇති මම ඉස්සරහට තල්ලු වුණේ.

මම මුලින්ම කැමරාවට මුහුණ දුන්න දවස අද වගේම මට තාමත් මතකයි. හාරකෝටිය රශ්මිගේ චරිතය රශ්මි නැටුම් පන්තියේ එකේ ඉන්නවා තමා මුලින්ම ශුට් කළේ. ඊට පස්සේ රංගනය ඉගෙන ගන්න ඕනේ කියන එක මට ගොඩක් දැනුණා. මොකද වෘත්තියක් හැටියට මම රංගනය තෝරාගන්නවා නම් ඒ ගැන නිවැරදිව සහ ක්‍රමවත්ව දැනුවත් වීම හරිම වැදගත් නිසා. රඟපාපු හැම අවස්ථාවකම මට දශමෙන් දස්හමේ හරි උඩට යන්න අවස්ථාව ලැබුණා. ඒ හැම වෙලාවෙම මට හිතුණේ මම ඉපදිලා තියෙන්නේ කලාව වෙනුවෙන්මයි කියලා ඒ හැංගීම මාව ගොඩක් දිරිමත් කළා.

ගොඩක් අය මගෙන් අහනවා කලාව වෘත්තියක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඒක මෙහෙමයි හරියට වැඩ කරනවා නම් ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන්. වෘත්තීය නිළිය කියලා සමාජය හදාගත් සීමාව ඇතුළේ අපි අපේ රංගනය අපි බාල්දු කරගන්න හොඳ නැහැ. ලැබෙන කළු සුදු හැම චරිතයක්ම භාරගැනීම නෙමේ වෘත්තීය නිළිය කියන්නේ. ප්‍රේක්ෂකයාගේ මනසට බලපෑමක් කළ හැකි චරිතයි කරන්න ඕන. මම හැම වෙලාවේම එය කරන්න උත්සාහ කරනවා.

කාලයක් මමත් මොඩ්ලින් කරපු නිසා මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්න මට සුදුසුකම් තියෙනවා කියලා විශ්වාස කරනවා ඒ නිසා ඒ පැත්තට යොමු වෙන්නත් පොඩි අදහසක් තියෙනවා. කොච්චර දේවල් ලැබුණත් මොනවා තිබ්බත් බොහොම සරලව ඒ දේවල් විඳගන්න තමයි මම කැමති. මම හිතන්නේ ඒ සරල බව දැන් මගේ ජීවිතේ කොටසක් වෙලා. රඟපාන චරිතයේ ජීවත් වෙන්නේ ඒ මොහොතේ විතරයි. නැත්නම් මම මගේ පාඩුවේ නිහඬව ඉන්න කැමැතියි. ඇඳුමක් ඇන්දත් සරල ඇඳුමක් ඇඳගෙන යන්න හරිම කැමතියි. මම හිතන්නේ සරලකම තරම් නිදහසක් මේ ලෝකේ තවත් නැහැ. කොහොම උනත් මම ආදරවන්තියක් කියලා ලෝකෙටම ඇහෙන්න දැනෙන්න කෑගහලා කියන්න ඕන. නමුත් ඒ දේට මම තව චුට්ටක් කල් ඉල්ලනවා. මේ පොඩි කාලෙට මොන තරම් දේවල් ලැබුණත් තාම සඳනි ඉස්සර උන්න පුංචි කෙල්ලමයි. ඉඩක් ලැබෙන හැම වෙලාවෙම මාරවිල ගිහින් නිදහසේ මුහුද දිහා බලාගෙන ඉඳලා එන්න කැමැතියි. කවුරු හරි කියනවා නම් ඒක මගේ ගුප්ත ගතිගුණයක් කියලා මම දෙවැනි පාරටත් කියනවා ඒ තමා මගේ හැටි