සංගීතය අත්හැර අක්කර ගණනක කහ වවන රහල් අල්විස්

දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ සංගීත නිර්මාණකරුවෙක් ඊට අමතරව නිවේදකයෙක් විදිහටත් කටයුතු කළ රහල් අල්විස් පසුගිය කාලයේ සමාජ මාධ්‍යවල ගොසිප් මවන්නෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කාලයක් නිහඬව හිටිය රහල් ඔන්න ආයෙත් කරළියට ඇවිත් හැබැයි මෙවර රහල්ගෙ ආගමනය සිද්ධ වුණේ සංගීතය පැත්තෙන් නම් නෙමෙයි මේ දවස්වල ගෘහණියන් මුහුණ දෙන මුළුතැන්ගෙයි ඇති ප්‍රධාන ප්‍රශ්නයකට විසඳුමක් එක්ක කොහොමින් කොහොම වුණත් රහල් සංගීතය පැත්තකින් තියලා කහ ප්‍රශ්නය විසඳන්න මේදවස්වල පොළොව එක්ක හැප්පෙනවා කියලා අපිට ආරංචි වුණා. ඉතින් අපි රහල් හොයාගෙන දඹුල්ලට ගියේ කහ ගන්න නම් නෙමෙයි. රහල්ගෙන් කහගන්න කැමැති උදවියට පාර පෙන්නන්න.

රහල් සංගීත භාණ්ඩ පැත්තකින් තියලා උදැල්ල අතට අරගෙන වගේ නේද..?

මේ වනවිට රටේ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් කොන්දක් තියෙන තරුණයො විදියට අපිට අතපය අකුළගෙන බලාගෙන ඉන්න බෑ කාටවත් දොස් කිය කිය ඉන්නවට වඩා ඇඟ පත පොඩ්ඩක් වෙහෙසවලා අපිට පුළුවන් විදියට රටේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන එකේ වරදක් නෑනේ.

රහල්ට එකපාරටම ගොවිකම මතක් වුණේ මේ දවස්වල සංගීත ප්‍රසංග අඩු වුණ නිසාද?

ඇත්තම කිවුවොත් සංගීතය මගේ ජීවන වෘත්තිය නෙමෙයි. මට ඉස්සර ඉඳම්ම පොඩි පොඩි බිස්නස් තිබුණා සංගීත කටයුතුවලටත් මම වියදම් කළේ ඒ ව්‍යාපාරවලින් ලැබෙන මුදල් ඒ නිසා සංගීත ප්‍රසංග නෑ කියලා මට ජීවත් වීමේ ප්‍රශ්න නම් නෑ

එතකොට මේ කහයි රහලුයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?

ඇත්තටම අපේ රටේ මිනිස්සු කහ එක්ක තියෙන්නෙ ගොඩක් ලොකු සම්බන්ධයක් ඉවුම් පිහුම්වලට වගේම පාරම්පරික බෙහෙතක් විදියටත් අපිට කහ ගොඩක් වැදගත් අපේ රටට අවශ්‍ය කහ ප්‍රමාණය කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ රටෙන්ම සම්පූර්ණ කර ගන්න පුළුවන්කම තියෙද්දි තමයි වෙනත් රටවලින් කහ ආනයනය කළේ ඉතින් කහ ආනයනය නතර කරපු ගමන්ම කහ හිඟයක් ඇතිවුණා. ඒ වෙලාවම අපිට හිතුණා මේ කහ හිඟයට විසඳුමක් විදියට අපේ රටේම කහ වවන්න. රටේ අවශ්‍යතාවට ඇති වෙන්න කහ වවන්න තමයි අපි තීරණය කළේ දැනට මම අක්කර දෙකක කහ වගා කරලා තියෙනවා මම වැව්වෙ අක්කර දෙකයි ඒත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කහ සමිති 27ක් කහ ගොවියෝ 1800ක් අපි තරුණ පරම්පරාවට ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා මොකද එහෙම නැතුව මේක මට, අපිට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේ වැඩේ දී තරුණයෝ අපි එක්ක ඉන්නවා කියන්නේ ගොඩක් ලොකු ගයියක් ඒක

මට පේනවිදියට රහල්ගේ පස්සෙන් මේ වැ‍ඩේ මහ මොළකරුවෙකුත් ඉන්නවා වගේ?

ඇත්තටම ඔව්. මේ ව්‍යාපෘතියට මුලින්ම අත ගැහුවෙ ADC GROUP කියන අපි කණ්ඩායම. දඹුල්ලෙ හිතවතුන් පිරිසක් අපේ සම්පත් අයියා තමයි මේ වැඩේ මහ මොළකරු එයා තමයි නිතරම ලොකු හයියක් වෙමින් අපිව මේ වැ‍ඩේට උනන්දු කළේ. අපිට අවශ්‍ය කහ බීජ ඕන තරම් ති​යෙනවා. අපිට නැත්තේ ඉඩම් විතරයි. වගා කරන්නෙ නැතුව අතහැරදාලා තියන හිස් ඉඩම් අපට දුන්නොත් අපි වගා කරලා අස්වැන්නත් විකුණලා බිම් පංගුව අයිතිකාරයට දෙන්න පුළුවන්. අපිට ඕනේ අපේ රටේ කහ අවශ්‍යතාව සපුරලා දෙන්න විතරයි.

එතකොට මොනවද ඔබගේ ඉදිරි සැලසුම්?

වැඩිහිටි නිවාසයක් ආරම්භ කරන්න ඕනෑ ඒක තමා එකම ඉලක්කය වෙලා තියෙන්නේ. අපේ රටේ බහුතරයක් මිනිස්සු වැඩිහිටියන්ට හරියට සලකන්නෙ නෑ. පහුගිය දවස්වල මම දැක්කා තාත්තා කෙනෙක් මහ පාරේ දාලා ගිහින් මම ඒත් කිව්වා භාර ගන්න කෙනෙක් නැත්නම් මට දෙන්න මම බලාගන්නම් කියලා මම මගේ දෙමව්පියන්ට ගොඩක් ආදරෙයි ඇයි හැමෝටම එහෙම කරන්න බැරි,

ජීවිතේ බෙදා හදා ගන්නත් කෙනෙක් හිටියොත් හොඳයි නේද දැන් කල වයසත් හරි නේද?

හොඳයි නම් තමයි. අම්මයි,තාත්තයි මේ දවස්වල හොයනවා මම කිසිම දෙයක් පස්සෙන් ගිහින් ගන්නෙ නෑනේ ලැබුණොත් ගන්නවා නිකන් පස්සෙන් ගිහින් අමාරුවෙන් ලබා ගෙන ඊට පස්සෙ එයාගෙ ගණන් බලනවාට වැඩිය හොඳයි අම්මලට හොඳයි කියලා හිතෙන කෙනෙක් විවාහ කර ගන්න එක ඒක ඇඟට ගුණයි