ලෝකේ ලස්සනම මංගල ඇඳුම් 10

විවාහය කියන්නේ සෑම කෙනෙකුගේම ජීවිතයේ ඇති වැදගත්ම අවස්ථාවක්.ආහාර පාන, තැගිබෝග, නැ‍ටුම්- ගැයුම් වැනි විනෝදාස්වාදයෙන් පිරුණු උත්සවශ්‍රීයෙන් සමරන විවාහ මංගල්‍යයන් ලෝකය පුරාම දැකිය හැකියි. ලොව පුරා විවිධ රටවල විවාහ උත්සව සම්ප්‍රදායන් ඒ රටට ආවේණික සංස්කෘතිකාංග, චාරිත්ර -වාරිත්‍ර අනුව වෙනස් වේ. ඒ විවිධත්වය අතර වඩාත්ම කැපී පෙනෙන දෙයක් තමයි ඔවුන්ගේ විවාහ මංගල ඇඳුම් භාවිතය. වෛවර්ණ රටා සහිත අතිශයින්ම එකිනෙකට වෙනස් වූ අලංකාර විවාහ මංගල්‍ය ඇඳුම් අතරින් වඩාත්ම ලස්සන ඇඳුම් වර්ග 10 පිළිබඳවයි මේ සටහන.

1 චීනය

චීනයේ මිනිසුන් වඩාත් ප්‍රිය කරන එරට ප්‍රමචලිතම වර්ණයක් වන්නේ රතු වර්ණයයි. චීන විශ්වාසයට අනුව රතු වර්ණයෙන් වාසනාව, ප්‍රීතිමත් බව සහා සතුට යන ගුණාංග සංකේතවත් කරනුලබනවා. සාම්ප්‍ර දායික චීන දර්ශණවාදයට අනුව රතු පැහැය මඟින් දරුඵල, ජීවගුණය සහා උත්සවශ්‍රීය බව සංකේතවත් කෙරෙනවා. චීන මනාලයා සහා මනාලිය තම විවාහ දිනයේදී රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසෙන අතර ඔවුන් විශ්වාසකරන්නේ එමඟින් නපුර දුරුකරමින් දෙදෙනාගේම අනාගතය අභිවෘද්ධියට ආශිර්වාදයක් ලැබෙන බවයි.

2 දකුණු කොරියාව

දකුණු කොරියානු සාම්ප්‍රදායික මංගල ඇඳුම හඳුන්වන්නේ ‘හන්බොක්’ යන නාමයෙනි. මනාලයා සහා මනාලිය යන දෙදෙනාම මෙම ඇඳුමින් සැරසෙති. මේවා ඔවුන් දෙපලටම විශේෂයෙන් සකස් කරන ඇඳුම් වන අතර එම ඇඳුම මඟින් ඔවුන්ගේ වසර දහස් ගණනක් පැරණි සම්ප්‍රදායන් නිරූපණය වේ. මේවා සේද ඇඳුම් විශේෂයක් වන අතර බරින් ඉතා සැහැල්ලු ස්වභාවයක් ගනියි. ඒවායේ යොදා ඇති දීප්තිමත් වර්ණ උත්සවයේ අලංකාරවත් බව තවත් වැඩි කරයි.

3 ජපානය

ජපාන මංගල ඇඳුම හඳුන්වන්නේ ‘කිමෝනාව’ ලෙසයි. කිමෝනාව සාම්ප්‍රදායික ජපන් ඇඳුම් වර්ගයකි. විවාහය සිදුවන අවස්ථාවේදි මනාලිය සුදු පැහැති හිස්වැස්මක් සහිත කිමෝනාවකින් සැරසෙයි. මෙම ඇඳුම හැඳින්වෙනේ ‘උචිකාකේ’ යනුවෙනි. එය තරමක් විශාල සහා බරින් යුත් කඩා හැලෙන ඇඳුම් මෝස්තරයකි. මනාලයා කලු පැහැති කිමෝනෝවකින් සැරසෙයි. එහි සුදුපැහැයෙන් ඔහූගේ පවුලේ මුලකුරු සටහන් කර තිබීම ද විශේෂත්වයකි.

4 කාම්බෝජියාව

කාම්බෝජියාව එරටේ ඉපැරණි ‘ක්මර්’ සම්ප්‍රදාය අනුගමනය කරමින් විවාහ මංගල්යල දිනයේදි සැරසෙනු ලබයි. මනාලයා සහා මනාලිය ‘සරම’ හෝ ‘සම්පාට්’ යන ඇඳුම් වර්ග දෙකෙන් එක් ඇඳුම් වර්ගයක් ‍තෝරාගනිමින් එදිනට සැරසෙති. කාම්බෝජියානුවන් වඩාත් ප්‍රිකරන වර්ණයක් වන්නේ රත්රං පැහැයයි. එම නිසාම ඔවුන්ගේ මංගල්යල ඇඳුම් සඳහා රන් පැහති මෝස්තර සහා දිලිසෙන අලංකරණ වැඩියෙන් භාවිතා කර තිබෙන ආකාරය දැකිය හැකියි.

5 ඉන්දුනීසියාව

ඉන්දුනීසියාවේ පළාත් අනුව විශේෂ විවිධ විවාහ සාම්ප්‍රදායන් පවතියි. ඒවා අතරින් වඩාත්ම ජනප්‍රිය සාම්ප්‍රදායන් ත්‍රිත්වය වන්නේ ජාවා සාම්ප්‍රදාය, හවා සාම්ප්‍රදාය සහා සුඩානි සාම්ප්‍රදායයි . එම සාම්ප්‍රදා අතර භාවිතා වන මංගල ඇඳුම් මෝස්තරද එකිනෙකින් බොහෝ වෙනස් වේ. ස්සම්ප්‍රදායික ඉන්දුනීසියානූ ඇඳුම් මෝස්තරය ලෙස ප්‍රචලිතව ඇත්තේ ‘බාජු අඩට් නැතිනම් පාකියන් අඩට්’ ලෙස හඳුන්වන ඇඳුම් වර්ගයයි. මෙම ඇඳුම් විශේෂය පළාත, විලාසිතාව සහා සැකැස්ම අනුව විශාල විවිධත්වයකින් යුක්තවේ.

6 ශ්‍රී ලංකාව- සිංහල විවාහ සම්ප්‍රදාය

සාම්ප්‍රදායික සිංහල විවාහ චාරිත්‍ර හඳුන්වන්නේ ‘පෝරුවේ චාරිත්‍ර’ යනුවෙනි. මනාලිය සාම්ප්‍රදායික උඩරට ඔසරියකින් හැඩවෙයි. එම ඔසරිය සුදු හෝ ක්රීරම් පැහැයෙන් යුක්ත වන අතර සීක්වින්ස්, පබළු සහා අනෙකුත් අලංකාර මෝස්තර රටාවලින් හැඩගන්වා තිබෙයි. ඔසරිය සඳහා සාම්ප්‍රදායික ආභරණ පැලඳීම සිදුකරන අතර එවා රන් පැහැතිය. මනාලයා සාම්ප්‍රදායික නිළමේ වස්ත්‍රාබරණයෙන් සැරසෙන අතර එය විශේෂිත සේද රෙදි වර්ගයකින් මෙරුන් සහා රත්‍රන් වර්ණ වලින් නිර්මාණය කර තිබෙයි.

7 පාකිස්ථානය

සාම්ප්‍රයික පාකිස්ථාන මනාලිය තම මංගල දිනය දා හැඩ වෙන්නේ ‘ශරාරා-ලෙහෙන්ගා’ ඇඳුමකිනි. මනාලයා ‘ෂර්වානි- කුර්තා’ විලාසිතාවකින් සැරසෙයි. මනාලිය විවාහ මංගල්‍ය අවසන් වන තුරුම තම හිස නිරාවරණය නොකල යුතුයි. සමාජ පන්ති භේදයකින් තොරව මනාලියගේ සුන්දරත්වය කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙන විසිතුරු බවින් අධික විවාහ සාම්ප්‍රදායික ක්‍රමයකි.

8 ඉන්දියාව

ආගම සහා ප්‍රාදේශීය වෙනස්කම් අනුව ඉන්දීය විවාහ සම්ප්‍රදායන් එකිනෙන වෙනස් විවිධත්වයකින් යුක්තවේ. මෙම විවාහ සම්ප්‍රදායන් සඳහා විසිතුරු ඇඳුම් ආයිත්තම්, ආභරණ, දීප්තිමත් වර්ණ, ආකර්ෂණීය සැරසිලි අධික ප්‍රණයක් භාවිතාවේ. මනාලයා ‘දෝතියකින්’ සැරසී උඩුකය නිර්වස්ත්රැව හෝ ‘ෂර්වානි-කමිස’ ඇඳුම් මෝස්තරයකින් සැරසී මංගල චාරිත්‍ර වලට සහභාගි වෙයි. මනාලිය ‘ලෙහෙන්ගා’ විලාසිතාවකින් හෝ ‘සාරි’ නැතිනම් ‘ශරාරා’ වැනි වර්ණවත් ඇඳුම් මෝස්තරයකින් සැරසෙයි. විවාහ චාරිත්ර වලට පෙර මනාලයා සහා මනාලිය දෙදෙනාම ගෞරවාන්විත බව සංකේතවත් කිරීම සඳහා මුහුණු ආවරණය කරගෙන සිටීම විශේෂ ලක්ෂණයකි.

9 කසකස්ථානය

කසකස්ථානයේ මනාලියන් සාම්ප්‍රදායික ඇඳුම් මෝස්තරයක් වන ‘සුකේලේ’ ඇඳුමින් සැරසෙයි. එය කේතුකාකාර හිස්වැස්ම මිල අධික ගල් වර්ග සහා රන් කෙඳි වලින් වඩාත් අලංකාරව සකසා ඇත. කසකස්ථාන විවාහ මංගල්‍යන් වල වැඩි පිරිවැයක් දැරීම සිදුවන්නේ මෙම මනාලියගේ ඇඳුම් මෝස්තරය වෙනුවෙනි. මෙම කේතුකාකාර හිස්වැස්ම මනාලියගේ වේලයට සම්බන්ධ කර ඇති අතර විවාහ මංගල්‍යය පුරාවට ඇයගේ මුහුණ ඉන් ආවරණය කරගෙන සිටිනු ලබයි. සාම්ප්‍රදායිකව ඇය තම පළමු දරුවා බිහිකරන තෙක් මෙය පැළඳ සිටියයුතු වීම එරට චාරිත්‍රයයි. නමුත්, කාලයත් සමඟ චාරිත්රවද වෙනස් වෙමින් පවතින බව සපථ කරමින් මෙම මුල් සම්ප්‍රදායක අද වන විට වෙනස් වී භාවිතයෙන් ඉවත් වී ඇත.

10 ඝානාව

අප්‍රිකානු රාජ්‍යක් වන ඝානාවේ විවාහ මංගල ඇඳුම ඉතා ආකර්ෂණීය වර්ණ සහා රටා වල එකතුවකි. අප්‍රිකානුවන් වෛවර්ණ ඇඳුම් මෝස්තර ප්‍රිය කරන බව ප්‍රචලිත කරුණකි. ඔවුන් උත්සව අවස්ථාවලට සැරසෙන ඇඳුම් වඩාත් දීප්තිමත් වර්ණ ‍රැසකින් නිර්මාණය වී ඇති නේත්‍රාකර්ෂණීය විලාසිතා වේ. ඔවුන්ගේ විවාහ මංගල උත්සවය සඳහා මනාල යුවල සැරසෙනු ලබන ඇඳුම් සකසනු ලබන්නේ ‘කෙන්ටේ’ නම් රෙදි වර්ගය භාවිතා කරමිනි. එය වර්ණවත් සහා දීප්තිමත් කපු රෙදි විශේෂයකි. ‘කෙන්ටෙ’ ඇඳුම් විලාසිතාවන් කාන්තා හා පිරිමි මෝස්තර ලෙස වර්ග වේ. පිරිමි අය සාටකයක් සේ එය සිරුර වටා ඔතාගන්නා අතර කාන්තාවන් ‘සාය-හැට්ටය’ ඇඳුම් සුසංයෝගයෙන් සැරසෙති.