ලෝකප්‍රකට තරු 15 ක ටැටූ විලාසිතා වලින් කියවෙන රහස්

ටැටූ කියන්නේ අද ලෝකයේ ඉතා ප්‍රචලිත විලාසිතාවක්. කුඩා තිත් වල සිට විශාල ප්‍රමාණයේ ටැටූ නිර්මාණ දක්වා පරාසයක විහිදුණු ජනප්‍රිය ටැටූ විලාසිතාවන් වර්තමානයේදී භාවිත වෙමින් පවතිනවා. ටැටූ එකක් එකක් කියන්නේ සම මත සදහටම ‍රැ‍ඳෙන දෙයක් නිසා ටැටූ ගැසීම සදාකාලික කැපකිරීමක් වගෙයි. ටැටූ සංකල්පය ආසියාතික රටවල එතරම් ප්‍රචලිත නොවුණත් බටහිර රටවල් වල මෙය විශාල ව්‍යාපාරයක් හා වෘත්තියක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ටැටූ සම්බන්ධයෙන් මීලඟට වැඩිම අවධානයක් යොමුවෙන්නේ සුපිරි තරු භාවිතා කරන ටැටූ විලාසිතා දෙසටයි. ඔවුන් අතරින් ඇතැම් අය ටැටූ භාවිතා කර ඇත්තේ තම ආදරණීයයන් සිහිපත් වෙන ලෙසයි. ඇතැම් අය තමන්වම උද්‍යෝගීමත් කරගැනීමේ අරමුණෙන් අර්ථවත් වැකි සහිත ටැටූ භාවිතා කර තිබෙනවා. ඒ ආකාරයේ යම් විශේෂිත අරුත් සහිත ටැටූ භාවිතා කරන සුපිරි බටහිර තරු ගැනයි අද අපේ අවධානය.

1. ලිලී කොලින්ස්

‘Love Rosie’ චිත්‍ර පටයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් ලිලී කොලින්ස් ගේ පාදයේ අලංකාර රෝස මලක හැඩයේ ටැටූ විලාසිතාවක් දැකිය හැකියි. එහි න‍ටුව නිර්මාණය කර ඇත්තේ වචන පෙළක් භාවිතයෙනි. එනම්,’The nature of this flower is to bloom’ යනුවෙනි. ‘පිබිදීම මේ මලේ ස්වභායවයයි’ යන්න එහි දළ අදහසයි. ඇය විසින් මෙම ටැටූ විලාසිතාව සිදුකරගෙන ඇත්තේ එම චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වූ පසුයි. ඇය පවසන ආකාරයට මෙම ටැටූ විලාසිතාවේ මලෙන් ගිලිහී යන මල් පෙත්තේ සැඟවුණු පණිවිඩය වන්නේ: ‘ඇය සුන්දර අයෙක් ලෙස බාහිරට දිස් වුණත් ඇය රෝස මලක් මෙන් ශක්තිමත් බවයි’.

2. රිහානා

ජනප්‍රිය ගායිකා රිහානා ටැටූ විලාසිතා වලට බොහෝ ප්‍රිය කරන අයෙක් බව ප්‍රසිද්ධයි. ඇගේ ටැටූ විලාසිතා අතරින් ඇගේ දකුණු උරහිස අසල දැකිය හැකි ටැටූ වදන් පෙළ වඩාත් විශේෂ එකකි. එහි සඳහන් වන්නේ ‘Never a failure. Always a lesson’ යනුවෙනි. ‘පරාජය හැමවිටම පාඩමක්’ යන්න එහි දළ අදහස ලෙස සඳහන් කල හැකියි. එහි ඇති තවත් සුවිශේෂීත්වයක් වන්නේ එම වදන් පෙළ ආපස්සට සඳහන් කර තිබීමයි. සෑම විටම කණ්ණාඩිය බලන විට ඇයට එය කියවීමට හැකි වන ලෙස එසේ සඳහන් කල බවයි ඇය පවසන්නේ. වරක් ඇය මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ මේ ටැටූ එක මඟින් මූලිකවම අදහස් කරන්නේ අත්වැරදීම් සිදුවිය හැකි බවයි. නමුත්, කිසිදා එකම වරද දෙවරක් සිදුනොකරන්න යනුවෙනි.

3. සොෆී ටර්නර්

රංගන ශිලිපිණි සොෆී ටර්නර් මුලු සිරුර පුරාම කුඩා කුඩා අලංකාර ටැටූ විලාසිතා භාවිතා කර තිබෙනවා. මෑතකදී ඇය විසින් සිදුකරගත් ටැටූ එකේ විශේෂත්වය වී තිබුණේ ඇගේ සීයා වෙනුවෙන් ඇති ලෙංගතුකම ප්‍රකාශ කෙරෙන ආකාරයේ විලාසිතාවක් වීමයි. ඇය තම සුලැඟිල්ලේ ඉංග්‍රීසි ‘G’ අක්ෂරය ටැටූ කරගෙන තිබුණා. ඇයගේ ජීවිතයේ වීරයා ඇයගේ සීයා බවයි ඇය පවසන්නේ.

4. ජස්ටින් බීබර්

ජස්ටින්ගේ සිරුර පුරා සිදුකර ඇති ටැටූ විලාසිතා බොහෝමයක් අතරින් එක් විශේෂිත අකුරු හැඩයකින් යුත් ටැටූ පාඨයක් දැකිය හැකියි: ‘Better at 70’ .එය ඔහු විසින් ඔහුටම සිදුකරගන්නා සිහිගැන්වීමක් වෙනුවෙන් බවයි සඳහන් වෙන්නේ. “මම ජීවිතයේ ආපස්සට හැරී බලනවිට මට දකින්න ලැබෙන්නේ අත්වැරදීම්, අනාරක්ෂිත හැඟීම් සහා ජිවිතයේ බොහෝ කාලයක් මම නාස්ති කර ඇති බවයි. එය මාව ඉක්මනින් යහමාර්ගයට පැමිණීමට උනන්දු කරවනවා. පෞද්ගලිකවම, මට ඕන හැමදාම හොඳින් වැඩ කරන්නයි. එතකොට තමයි මට 70 දී සාර්ථක කෙනෙක් වෙලා ඉන්න පුළුවන් වෙන්නේ.” ඔහු පවසයි.

5. කෙන්ඩල් ජෙනර්

කෙන්ඩල්ගේ එක් ඇඟිල්ලක ඇති මෙම ටැටූ විලාසිතාව ඇසට නොපෙනෙන තරම් කුඩා එකකි. ඇය සුදු පැහැති තිතක් පමණක් වුවත් ඇයගේ ටැටූ නිර්මාණ ශිල්පියා ඒ ගැන දක්වන්නේ මෙවන් අදහසකි: “ඇයට කුඩා කුඩා දේවල් තමයි වඩාත් වැදගත් වෙන්නේ” යනුවෙනි. ඒ වගේම එම ටැටූ විලාසිතාව කැපී පෙනෙන ආකාරයෙන් සිදුනොකිරීමට තවත් හේතුවක් වී ඇත්තේ ටැටූ විලාසිතා නිසා ඇයගේ නිරූපණ වෘත්තියට බාධා ඇති වීම වළක්වාගැනීමට බවත් සඳහන්ය.

6. බිලී ලෝර්ඩ්

රංගන ශිල්පිණි බිලී ලෝර්ඩ් විසින් ඇයගේ මවට දක්වන ගෞරවයක් ලෙස මවගේ ටැටූ විලාසිතාවට සමාන විලාසිතාවක් සිදුකරගෙන තිබෙනවා. බිලීගේ මවගේ 61 වන උපන්දිනය යෙදීම නිමිත්තෙන් ඇය මෙම විශේෂ ටැටූ විලාසිතාව සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ. කුඩා මන්දාකිණියක ස්වරූපයක් ගන්නා මෙම ටැටූ විලාසිතාවේ හඳ, ග්‍රහලෝක සහා තරු දැකිය හැකියි. මෙම ටැටූ විලාසිතාව ඇයගේ මවගේ ටැටූ විලාසිතාව මෙන්ම සිදුකර ඇත්තේ පාදයේ වළලුකර ප්‍රදේශයේයි.

7. සැක් බ්රාිෆ්

ප්‍රසිද්ධ නලු සැක් විසින් තම හොඳම මිතුරා වූ නික් කෝර්ඩෙරෝ සිහි වෙනු පිණිස ඔහුගේ රුව සහිත ටැටූ එකක් සිදුකරගෙන තිබෙනවා. ඔහුගේ මිතුරා මිය ගොස් මසකට පසුවයි ඔහු මෙසේ සිදුකිරීමට පෙලඹී ඇත්තේ. ඔහුගේ මිතුරා විසින් Bullets Over Broadway නම් සංගීත වැඩසටහනට හැඳ සිටි ආකාරයට සමාන ඇඳුමකින් සැරසී නර්ථනයේ යෙදෙන ආකාරයේ ටැටූ එකක් සැක් විසින් සිදුකරගෙන තිබෙනවා. එහි ඔවුන් දෙදෙනා එක්ව රංගන දායකත්වය දක්වා තිබීමද විශේෂත්වයකි.

8. ලේඩි ගාගා

ලේඩි ගාගාගේ ප්‍රියතම කවියා වන රේනර් මාරියා රිල්කෙ විසින් රචිත ‘Letters to a Young Poet’ නම් කවියේ ජර්මන් බසින් උපුටාගත් කොටසක් ඇයගේ ඉහළ බාහුවේ ටැටූ එකක් ලෙස භාවිතා කර ඇත. ඇය පෞද්ගලිකව ඔහුගේ හුදකලාව පිලිබඳ දර්ශණය කෙරෙහි ඉතා පැහැදී සිටින්නියකි. ඇය පවසන්නේ ‘කලාකරුවෙකුගේ විවාහය වන්නේ හුදකලාව සමඟයි. ඔබ කලාකරුවෙකු නම් ඔබට වැලඳගැනීමට සිදුවන්නේ හුදකලාව පමණයි’ යනුවෙනි.

9. ඩේවිඩ් බෙකම්

ඩේවිඩ් තම බිරිඳට සහා දරුවන්ට ඉතා ආදර කරන පුද්ගලයෙකු ලෙස ඔවුන් වෙනුවෙන් බොහෝ ටැටූ විලාසිතා තම සිරුර පුරාවටම සිදුකරගෙන තිබෙනවා. ඔහු සතු ඇතැම් ටැටූ ඔහු විසින් ඔවුන් ලවා නිර්මාණය කරගත් ඒවා බවත් ඔහු ඉතා සතුටින් ඒවා තම ටැටූ එකතුවට එක්කරගන්නා බවත් සඳහන් ය.

10. එමා වොට්සන්

සමාජ ක්‍රියාකාරිනියක් වන එමා ලෝකය යහපත් තැනක් කිරීම වෙනුවෙන් දියත් කරන සමාජ ව්‍යාපාර ‍රැසක් වෙනුවෙන් පෙනී සිටින්නියක් ලෙස ප්‍රචලිතය. ඇය සහභාගී වූ TimesUp සමාජ ව්‍යාපාරය වෙනුවෙන් ඇය තම සිරුරේ ටැටූ නිර්මාණයක් පවා එනමින් සිදුකරගෙන තිබුණා. එය ‍රැකියා ස්ථානවලදී කාන්තාවන් මුහුණ දෙන අසමානාත්මතාවන්ට එරෙහිව ක්‍රියාත්මක වූ සමාජ ව්‍යාපාරයකි.

11. කයිලී ජෙනර්

කයිලී ඇයගේ මිත්තණිය වන මේරි ජෝ ෂැනොන් හට ඉතා සමීප බවයි පැවසෙන්නේ. ඇයගේ තම මිත්තණියට ඇති ආදරය නිසාම මිත්තණියගේ නම ටැටූ එකක් ලෙස සටහන් කරගැනීමට ඇය කටයුතු කර තිබෙනවා. ඇයගේ අනෙකුත් ටැටූ විලාසිතා මෙන්ම මෙය ද රතු පැහැයෙන් යුක්ත වන අතර එහි ඇති අත් අකුරු ඇයගේ සීයාගේ බවයි සඳහන් වන්නේ.

12. පැරිස් ජැක්සන්

මයිකල් ජැක්සන් ගේ දියණිය විසින් ඇයගේ පියාගේ මතකයක් ලෙස ඇයගේ අතේ ‘Bad’ යනුවෙන් ටැටූ එකක් සිදුකරගෙන තිබෙනවා. එය රතු පැහැයක් ගන්නා අතර 1987 වසරේ මයිකල් ජැක්සන් විසින් එලිදැක්වූ Bad ඇල්බමයේ සඳහන් අත් අකුරු හැඩයෙන්ම එම ටැටූ විලාසිතාව සිදුකරගෙන තිබීමත් විශේෂත්වයකි.

13. ඩෲ බැරීමෝර්

ඇය විසින් තම දියණියන් වන ඔලිව් සහා ෆ්‍රෑන්කී වෙනුවෙන් මෙසේ ටැටූ විලාසිතාවක් සිදුකරගෙන තිබෙනවා. ඇය පවසන විදියට මෙසේ ටැටූ එකක් සිදුකර ගැනීම ටැටූ සාප්පුවකට ඇතුල් වූ පසු හදිසියේ තීරණය කල එකක් වූ බවයි. ඇගේ ටැටූ අත්දැකීම ඇය විස්තර කරන්නේ “ජීවිත කාලය පුරාවටම ‍රැ‍ඳෙන අපුරු කුඩා සටහනක් අතේ ලියාගත්තා” යනුවෙනි.

14. ඩෙමී ලොවෙටෝ

2019 වසරේදී ඇය විසින් තම මිය ගිය මීමිත්තණියගේ ඡායාරූපයක් ටැටූ කරගෙන තිබුණා. මෙහි ඇති විශේෂත්වය වන්නේ ටැටූ එක සිදුකරගත් වසරේදී ඩෙමි 26 වන වියේ පසුවීමත් , ඇයගේ මීමිත්තණියගේ ඡායාරූපය ඇය 26 වන වියේදී ලබාගත් එකක් වීමත් ය. “විසි හය හැවිරිදි වියේ ඔබේ රුව විසි හය හැවිරිදි වියේදී මගේ අත මත. සදහටම, මම ඔබට ආදරෙයි ගොඩක්” ඇය පවසන්නීය.

15. කෙලී ඔස්බර්න්

ඇය LGBTQ සමාජ ව්‍යාපාර සඳහා සහාය දෙමින් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන සමාජ ක්‍රියාකාරිනියකි. ඕලන්ඩෝ රාත්‍රී සමාජ ශාලාවේ සිදුවූ වෙඩි තැබීම් සිද්ධිය නිසා කම්පා වූ ඇය ඇයගේ හිසේ ‘Solidarity’ (සමූහත්වය) යනුවෙන් ඉතා වේදනාකාරී ටැටූ එකක් සිදුකරගත් බව සඳහන් ය. එමඟින් ඇය අන් සියලු දෙනාටම ලබාදීමට සූදානම් පණිවිඩය වූයේ කුමක් දැයි ඇය සඳහන් කර තිබුණේ මෙසේය: “සියල්ලෝ එකට සිටීමෙන්, ශක්තිමත් සහා බලසම්පන්න සමඟියක් ඇතිකල හැකියි. ඕලන්ඩෝ ඛේදවාචකය මාව ඉතා කම්පාවට පත් කලා. එය අපගේ ජීවිත වල ගත වන සෑම මොහොතක්ම කොතරම් වටිනවා දැයි මා හට නිරතුරුවම සිහිපත් කරවනවා” යනුවෙනි.