ලොව සැප පහසුකම් වැඩිම බන්ධනාගාර 10

බන්ධනාගාර කියූ සැනින් ඔබේ සිතේ ඇති වන චිත්‍රය කොයි වගේද? ඔබට මතක්වෙන්නේ යකඩ කූරු වලින් වෙන්වූ අඳුරු සිර මැදිරි,ගරා වැ‍ටුණු බිත්ති , අපිරිසිදු කැම බිම , අපිළිවෙල ඇඳුම් ඇඳගත් සිරකරුවන් ගෙන් පිරුණු ගුප්ත පරිසරයක පිහිටි ගොඩනැගිල්ලක්ද? එසේනම් මේ පින්තූර එකතුව ඔබේ මනසේ මැවී ඇති චිත්‍රයට හාත්පසින්ම වෙනස් බව ඔබට තේරුම් කරාවි. ලෝකයේ සෑම සිර ගෙදරක්ම එසේ නොවන බව ඔප්පු කරන මේ ඡායාරූප පෙළ තුලින් දැක්වෙන්නේ ලොව අධි සුඛෝපභෝගි බන්ධනාගාර 10 ක් ගැනයි.

10. කැලිෆෝර්නියා බන්ධනාගාරය, ඇමෙරිකා එක්සත් ජනපදය

මෙම බන්ධනාගාරය ඉදිකල මුල්කාලයේදී , එනම් 2000 වසරේදී මෙහි සිරකරුවන් රඳවාතැබීමට පෙර, එහි භාවිතා නොකල සිරමැදිරියක ‍රැයක් ගත කිරීමේ අවස්ථාව එරට ජනතාවට ලබාදී තිබුණා. නමුත්, ඒ සඳහා එක් රාත්‍රියකට ඩොලර් 155 ක මුදලක් බන්ධනාගාර නිලධාරින් වෙත ගෙවිය යුතු වුණා. මේ බන්ධනාගාරය තුල අන් බන්ධනාගාර මෙන් නොව සිරකරුවන් සඳහා හොඳ පහසුකම් සලසා දී තිබෙනවා. උදාහරණයක් ලෙස පුළුල් තිරයක් සහිත HDTV පහසුකම්, ක්‍රීඩා මේස, නාන කාමර, පෞද්ගලික සිර කුටි, නිදන ඇඳවල් පවා ඔවුන් හට ලබාදි තිබෙනවා.

මෙම බන්ධනාගාරයේ ‍රැඳවියන් 96 දෙනෙකු ‍රැඳවිය හැකි බව සඳහන් වේ. නමුත් එහි ඇත්තේ 56 ක් වැනි සීමිත ඇඳවල් ප්‍රමාණයක් විතරයි. නමුත්, මේ ස්ථානයේ සෑම සිරකරුවෙකුටම ඉන්න ලැබෙන්නේ නම් නේහැ. උසාවි නියෝගයක් යටතේ සුලු වරදවල් සඳහා චෝදනා ලැබූවන් රඳවා තබන ස්ථානයකි.

9. ඔටාගෝ බන්ධනාගාරය (Otago Corrections Facility), නවසීලන්තය

ඉතා දැඩි ‍රැකවල් යොදා ඇතත් මෙම බන්ධනාගාරය තුල ‍රැඳවියන් සඳහා සැපපහසු කාමර සපයා දී තිබෙනවා. මේ ස්ථානයේදී ‍රැඳවියන්ගේ කුසලතා වර්ධනය තුලින් ඔවුන්ව යහ මාර්ගයට ගැනීම අපේක්ෂා කෙරේ. ආලෝකකරණ ඉංජිනේරු තාක්ෂණය, ගොවිපළ සහා සත්ව පාලනය, ආහාර සැකසුම් ආදි ඉගැන්වීම් ක්ෂේත්‍ර කිහිපයක් යටතේ ‍රැඳවියන් පුනරුත්ථාපනය කරන බන්ධනාගාරයකි.

8. ලියෝබෙන් බන්ධනාගාරය (Justice Center Leoben), ඔස්ට්‍රියාව

මෙම ස්ථානයේ රඳවා සිටින සිරකරුවන් සඳහා මුලුතැන්ගෙයක් ,නාන කාමරයක් සහා රූපවාහිණියක් සහිත  පෞද්ගලික සිර කුටියක් ලබාදී ඇත. එපමණක් නොව එහි සිටින ‍රැඳවියන් හට භාවිතා කිරීමට බර එසවීමේ ක්‍රිඩා මධ්‍යස්ථානයක්, වගාකටයුතු සඳහා වන භූමි ප්‍රදේශයක් සහා බාස්කට් බෝල් ක්‍රීඩා පිටියක් වැනි අංගද නිර්මාණය කර දී ඇත.

7. චිලෝන් කාසල් බන්ධනාගාරය (Chillon Castle), ස්විට්සර්ලන්තය

මෙම මාලිගාව පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා ජලාශය අසලයි. මෙය මින් පෙර මධ්‍යතන යුගයේදී බල කො‍ටුවක් ලෙසත් පසුකාලීනව යුධ සන්නද්ධ කිරීම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසත් සිරකඳවුරක් ලෙසත් භාවිතා වී ඇත. එය කලක් පෞද්ගලික නිවසක් ලෙස ද භාවිතා වී ඇත.

6. අරාන්ග්සෝවේ බන්ධනාගාරය (Aranjuez prison), ස්පාඤ්ඤය

පුනරුත්ථාපන මධ්‍යස්ථාන නිසා පවුල් බිඳ වැටීම සිදුවන බව යන ගැටලුවට විසඳුමක් ලෙස මෙම බන්ධනාගාරය පිහි‍ටුවීමට තීරණය කර තිබේ. එහිදි දඬුවමට ලක් වූ දෙමාපියන්ගේ කුඩා දරුවන්ට තම පළමු වසර කිහිපය දෙමාපියන්ගෙන් වෙන් නොවි ඔවුන් සමඟ ගතකිරීමේ අවස්ථාව ලබාදි ඇත. කුඩා දරුවන්ට අවශ්‍ය ඇඳවල්, කා‍ටුන් චරිත වලින් සැරසූ බිත්ති සහිත කාමර, ළමා ක්‍රීඩාගාර ආදි විශේෂාංග එහි දැකිය හැක. එය බොහෝ මානුෂීය මට්ටමකින් සිතා ලබාදී ඇති අවස්ථාවක් බව පෙනේ.

5. බර්වින් බන්ධනාගාරය (HMP Berwyn prison) , එංගලන්තය

එංගලන්තයේ තිබෙන වැඩිම පහසුකම සහිත බන්ධනාගාරය වේ. එහි සිටින ‍රැඳවියන් හට පෞද්ගලික පරිහරණය සඳහා දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක් සහා ස්නානය කිරීමට වතුර මලක් සවිකල නිදන කුටියක් ලබාදී ඇත. මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුල ‍රැඳවියන් 2100 ක් පමණ රඳවා තැබිය හැක. නමුත්, මෙම ස්ථානයේ ඇති විශේෂත්වය වන්නේ කිසිවෙකුත් ඔවුන් හට සිරකරුවන් සේ නොඇමතීමයි. ඒ වෙනුවට Men යන ඉංග්‍රිසි වචනය භාවිතා කරයි. එමෙන්ම ආරක්ෂක නිලධාරින් කුටි තුලට කඩා වදින්නේ නැත. ඇතුල් වීමට පෙර දොරට තට්‍ටු කිරීම ඔවුන් විසින් අනුගමනය කරන ක්‍රමයයි.  සිරකරුවන්ටත් උපරිම ගෞරවයක්!

ඔවුන් හට ලබාදි ඇති ලැප්ටොප් පරිගණකය භාවිතා කල හැක්කේ සතියටම අවශ්‍ය ආහාර ඇණවුම් කිරීම, හමුවීම් යොදාගැනීම, සතියකට වරක් යෙදෙන සාප්පු සවාරි යොදාගැනීම සහා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට අදාල කාර්යන් සඳහායි. සෑම කුටියකම පුද්ගලයින් 2 ක් රඳවා ඇත. කෙසේවෙතත්, එක් එක් පුද්ගලයා හට ලබාදී තිබුණ ද ඔවුන් සතු ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා වයි-ෆයි පහසුකම් සලසා නොමැත.

4. ෆුල්ස්බිටල් බන්ධනාගාරය (JVA Fuhlsbüttel prison), ජර්මනිය

හැම්බර්ග් හි පිහිටි මෙම බන්ධනාගාරය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් වලට ලක් වූ ‍රැඳවියන් සඳහා වන අති සුඛෝපභෝගි සහා සැප පහසුකම් වලින් අනූන වේ. එය ප්‍රතිසංස්කරණය කරමින් නැවත විවෘත කරනු ලැබුවේ 2011 වසරේදීය. හොඳ ඉඩකඩකින් යුත් නිදන ඇඳක්, කවුච් වර්ගයේ පු‍ටුවක්, වතුර මලක් සහා වැසිකිළියක් සහිත සිර කුටි ලබා දී ඇත. එහි කුඩා සම්මන්ත්‍රණ කුටියක් ද වේ (conference room).

3. චෑම්ප්-ඩොලෝන් බන්ධනාගාරය (Champ-Dollon prison), ස්විට්සර්ලන්තය

නාන කාමරයක් සහිත සිරකරුවන් තිදෙනෙකුට වාසය කල හැකි කුටි වලින් සමන් විත බන්ධනාගාරයකි. පුනරුත්ථාපන කාල සීමාව පුරාවට හුදෙකලා නොකර තමන් සිරකරුවෙකු යැයි නොහැ‍ඟෙන තරම් සැපපහසුකම් සලසා ඇති ස්ථානයකි. හරියට විශ්ව විද්‍යාලයක නේවාසිකාගාරයක ඉන්න යාලුවෝ තුන්දෙනෙකු වගේ ඉන්න පුලුවන් අත්දැකීමක් මෙම සිරකරුවන් හට ලබාදී තිබෙනවා.

2. පොන්ඩොක් බැම්බු බන්ධනාගාරය (Pondok Bambu Prison), ඉන්දුනිසියාව

වායු සමීකරණ, ශීතකරණ, කැරෝකේ යන්ත්‍ර, රූපලාවන්‍යාගාර ඇතුලු සිතාගත නොහැකි බොහෝ සැප පහසුකම් සලසා දී ඇති කාන්තා බන්ධනාගාරයකි. උයන් වතු, කැටයම් ශිල්ප වලින් හැඩ වු  මෙම ගොඩනැගිලි සංකීර්ණය බන්ධනාගාරයක් ලෙස නම් පෙනෙන්නේ නැහැ.

01. බැස්ටොයි බන්ධනාගාරය (Bastoy Prison), නෝර්වේ රාජ්‍යය

ඇල්ෆයින් කඳුවටියෙන් හැඩවූ අලංකාර නෝර්වේ රාජ්‍යය තුල සුඛෝපභෝගි බන්ධනාගාර ‍රැසක් දක්නට ලැබේ. ඉන් එකක් වන්නේ බැස්ටොයි බන්ධනාගාරයයි. එහි ‍රැඳවියන් 100 ක් සඳහා උපරිම සැප පහසුකම් සහිත නවාතැන් සපයා ඇත.  එහි සිටින ‍රැඳවියන් වඩාත් සැහැල්ලුවෙන් ගත කරන බවයි දැනගන්නට ලැබේ. නමුත්, බන්ධනාගාරය සඳහා උපරිම ආරක්ෂක විධිවිධාන යොදවා ඇති නිසා කිසිම සිරකරුවෙකුට පළා යාමට නම් අවස්ථාව හිමිවන්නේ නැහැ. මෙම ස්ථානයේ සිට පරිවාස කාලය අවසන් කර පිටවූ පුද්ගලයින් පවසා ඇත්තේ එය සිරකඳවුරකට වඩා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස දැනුනු බවයි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සෑම ‍රැඳවියෙකුටම පෞද්ගලික කොටේජ් නිවසක් ලබා දී තිබීමයි. ඒ වගේම අශ්වයින් පැදීම, ටෙනිස් ක්‍රීඩාව, හිම සපත්තු ක්‍රීඩා(skiing), මාලු බෑම ආදි විනෝද කටයුතු ‍රැසක නිරත වීමේ අවස්ථාවද සිරකරුවන් හට ලබාදි තිබෙනවා. මාලදිවයිනේ බඳු කුඩා කොටේජ් නිවාස තුල තමන් සිරකරුවන් බව පවා අමතක වන තරම් සැපපහසුකම් විඳිමින් ඔවුන් විනෝදයෙන් කාලය ගත කරන බවයි පෙනි යන්නේ. හරියට නිවාඩුවක් ගත කරනවා වගේ! කෙසේ හෝ වේවා මේ ඡායාරූප දෙස බැලිමේදී වැටහෙන්නේ බොහෝ රටවල් බන්ධනාගාර පද්ධතීන්  ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය ‘ කියන සංකල්පය ගැන ගොඩක් දුරට හිතලා තියෙනවා කියලයි.