ලොව මිලෙන් අධිකම පූසන් වර්ග 10 මෙන්න

අපි ගොඩක් ආදරය කරන සුරතලුන් විශේෂයක් තමයි පූසන් කියන්නේ.දඟකාර, ආදරණීය, හුරුබුහුටි ගති ලක්ෂණ තියෙන පූස් යාලුවන් ස්වභාවයෙන් ටිකක් ආඩම්බරකාරයෝ වගෙයි හැසිරෙන්නේ. කොහොම වුණත් ඉතින් මේ අයට තියෙන ආදරය කිසිම හේතුවක් නිසා අඩුවෙන්නේ නම් නැහැ.

අද අපි ඔයාලට කියන්න යන්නේ පූසන් ගැන දැනගන්නට ලැබුණු අපූරු පුවතක් පිලිබඳවයි. ලෝකයේ ඇතැම් රටවල පූස් සුරතලුන් වෙනුවෙන් ඩොලර් දහස් ගණන් මුදල් හුවමාරු වෙනවාලු. ඒ තරමටම මිලෙන් අධික බළලුන් විශේෂ ගණනාවක් ලෝකයේ ජීවත් වෙනවා. ඉතින් පූස් සුරතලුන්ට ආදරය කරන බොහෝ දෙනා වියදම ගැන නොසිතා මේ අයව මිලදි ගන්නවා කියලයි කියන්නේ. මේ ඉන්නේ ඒ වගේ ලෝකයේ මිලෙන් අධිකම බළලුන් විශේෂ 10 යි.

01. නෝර්වේජියන් ෆොරස්ට් කැට් (Norwegian Forest cat)

මොවුන්ගේ වටිනාකම ඩොලර් 1200 ක් පමණ වේ. ඔවුන් සීතල කාලගුණයට අනුවර්තිත වී සිටින බළලුන් විශේෂයකි. මොවුන් සම්බන්ධව කියැවෙන වැදගත් කරුණක් වන්නේ ක්‍රි.ව.1000 කාලයේදී වයිකිංවරු ඔවුන් සමඟ ගෙන ආ ෂෝර්ට් හෙයාර් බළල් විශේෂයෙන්  මොවුන් සම්භවය වී ඇති බවයි. ප්‍රථම ෂෝර්ට් හෙයාර් බළල් විශේෂය සයිබීරියානු සහ තුර්කි අන්ගෝරා බළල් විශේෂ වල අභිජනනයෙන් ඇති වූ බළල් විශේෂයක් ලෙස ද මොවුන් සැලකේ. මෙම බළලුන් විශේෂයයේ ලක්ෂණයක් වන්නේ මොවුන් හට වකුගඩු සහ හෘද රෝග වැලඳීමේ අවදානම වැඩි වීමයි. මොවුන්ගේ පෙනුම සහ ගුණාත්මක බව අනුව ඔවුන් අලෙවි වන මිල ගණන් බොහෝ ඉහළ මිලක් දක්වා වැඩිවිය හැකිය.

02. ඊජිප්තු මාවු  (Egyptian Mau)

ඩොලර් 1200 කට පමණ අලෙවි වන මෙම බළලුන් විශේෂය  කුඩා-මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකට හිමිකම් කියන අතර ඔවුන්ගේ සමේ ස්වභාවික පැල්ලම් පිහිටීම නිසා මොවුන් අතිශය ජනප්‍රිය බළලුන් වර්ගයකි.බහරේන් හි ඩිල්මුන් බළල් විශේෂය මොවුන්ට සමානකම් කියන තවත් විශේෂයකි.මොවුන් සම්භවය වි ඇත්තේ 1952 දීය.මොවුන් ඊජිප්තුවේ බිහිවූ විශේෂයක් සේ සැලකේ. නමුත් ජාන පරික්ෂණ වලදී හෙලි වී ඇති ආකාරයට මොවුන්ට ඇත්තේ උතුරු ඇමෙරිකානු සහ යුරෝපානු සම්භවයකි.මොවුන්ගේ ඉදිරිපස කකුල් මදක් කෙටිව පිහිටා ඇත.මොවුන්ගේ හිසේ සිට වල්ගය දක්වා තද ඉරි මෙන් ලප පිහිටයි.

03. බ්‍රිටිෂ් ශෝර්ට් හෙයාර්  (British Short Hair)

ඩොලර් 1500 ක් වැනි මිලක් නියම වි ඇති මෙම බළල් විශේෂය ලොව සිටින ජනප්‍රියම මෙන්ම මිලෙන් අධිකම සුරතලුන් විශේෂයකි. කුට්ටියක් බඳු ඇඟ, පළල් මුහුණ සහිත ලක්ෂණ ඇත. මොවුන්ගේ සම්භවය පළමු ශත්වර්ෂයේදී පමණ සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

04. ස්කොට්ලන්ත ෆෝල්ඩ් විශේෂය  (Scottish Fold)

http://s23.postimg.org/wqoxgaqwb/fold.jpg

ලොව සිටින තවත් මිල අධිකම බළල් විශේෂයක් වන මොවුන් ඩොලර් 3000 ක් තරම් ඉහළ මිලකට අලෙවි වේ. කාටිලේජ විකෘතිතාවක් හේතුවෙන් කන් නැවි පිහිටා තිබීම මොවුන්ගේ වර්ගයේ විශේෂත්වයයි. බකමූණෙකුට සමාන පෙනුමක් මොවුන්ට තිබෙන බව විස්තර වල සඳහන් වේ. 60 දශකයට පෙර මොවුන්ව හඳුන්වා ඇත්තේ ලොප්ස් යනුවෙනි.ප්‍රථම ස්කොටිෂ් ෆෝල්ඩ් විශේෂය වූයේ සුදු පැහැති කන් වල විකෘතිතාවක් තිබූ පූසන් විශේෂයකි. මෙම බළලුන් ගේ පැටවුන්ට ද වැඩිහිටි සතුන්ගේ මෙන් නැවුණු කන් පිහිටා තිබූ නිසා මෙය අලුත් බළල් විශේෂයක් ලෙස හැඳින්විමට පටන්ගත්තේය. මෙම බළලුන් මයිටාවන්ගේ පීඩාවන්ට සහ බිහිරිවීමට ලක්වීමේ අවදානම වැඩිය.මේ හේතුව නිසාම මොවුන් බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ෂෝර්ට් හෙයාර් බළල් විශේෂ සමඟ අභිජනනය කරවීම සිදුවේ.

05. ස්‍ෆින්ක්ස් බළල් විශේෂය (Sphynx)

ඩොලර් 3000 තරම් අධික මිලකට අලෙවි වන මෙම පූසන්ගේ සිරුරේ ලොම් පිහිටා නොමැති තරම්ය. පිටතට නොපෙනෙන නමුත් සම මතුපිට යම් ලොම් ස්වභාවයක් තිබේ. වෙනත් බළල් විශේෂ මෙන් නොව ඔවුන්ගේ සිරුරෙන් තාපය නිකුත් වන ප්‍රමාණය වැඩිය. මොවුන් ඉතා සමාජශිලි වන අතර හිමිකරුට ලෙන්ගතු බව සහ සෙනෙහස දක්වන බළලුන් වර්ගයක් ලෙස ප්‍රචලිතය. මොවුන්ගේ හැසිරීම බල්ලෙකුගේ හැසිරීමට සමානය. හිමිකරුට ආචාර කිරීම වැනි හැසිරීම් සිදුකරන අතර පිටස්තරයින් සමඟ පවා ඉක්මනින් මිත්‍රශීලි වේ.

06. රෂියන් බ්ලූ විශේෂය (Russian Blue)

මොවුන් අලෙවි වන්නේ ද ඩොලර් 3000 ක් තරම් පරාසයකින් යුතු ඉහළ මිල ගණන් යටතේය.  මොවුන්ට අලංකාර ලොම් පිහිටිමක් ඇත. මිනිසුන් සමඟ මිත්‍රශිලි බළලුන් විශේෂයක් වන අතර මොවුන්ගේ සිරුර පතුරු අළු පැහැයක් ගනියි. රුසියාවේ Arkhangelsk හි මොවුන්ගේ සම්භවය සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මොවුන් ආර්කේන්ජල් බ්ලූස්  (Archangel Blues) යනුවෙන් ද හැඳින්වේ.මොවුන් උතුරු යුරෝපයේ පිහිටා ඇති ආර්කේන්ජල් දූපතේ සිට 1860 ගණන් වලදි රුසියාවට ගෙන එන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙම බළලුන් වසර 10-20 ක් වැනි කාලයක් ජීවත් වේ. ඇතැම් විට වසර 25 ක් වුණත්!

07. පීටර්බෝල්ඩ් (Peterbald)

ඩොලර් 5000 කට පමණ අලෙවි වන ලොව මිලෙන් අධිකම බළලුන් විශේෂයක් වන මොවුන් බිහිවී ඇත්තේ රුසියාවේය. පෙනුමින් ෂෝර්ට් හෙයාර් බළලුන්ට සමානකම් කියන මොවුන්ගේ ප්‍රභේද ගණනාවක්ම සිටියි. මොවුන්ගේ සිරුරේ ලොම් හැලීයන ජානයක් පිහිටා ඇත.මෙම බළල් විශේෂය ඉතා සෞම්‍ය හැසිරීමක් ඇති දක්ෂ විශේෂයකි. මෙම බළලුන් බිහිව ඇත්තේ 1994 තරම් ඉතා මෑත කාලයකදියි. මොවුන් ස්‍ෆින්ක්ස් බළලුන් ඇසුරේ සිදුකල පර්යෙෂණයක ප්‍රතිඵලයකි.

08. බෙන්ගාල් බළල් විශේෂය (Bengal cat)

මෙම බළලුන්ගේ වටිනාකම ඩොලර් 25000 ක් පමණ වන බව පැවසේ. පෙනුම කැලෑ බළලෙකුට සමානකම් කියන අතර බොහෝ දුරට කොටියෙකු මෙන් පෙනේ. ඊට හේතුව නම් මොවුන් ලෙපර්ඩ් කැට් (Asian Leoapard cats) බළලුන් සමඟ සිදුකල දෙමුහුන් අභිජනනයක ප්‍රතිඵලයක් වීම නිසාය. ඒෂියන් ලෙපර්ඩ් කැට් විශේෂය දකුණු සහ නැගෙනහිර ආසියානු කලාප වල බහුලව දක්නට ලැබේ. මෙම විශේෂයන්ගේ ප්‍රකෝපකාරිබව මර්දනය කිරීම සඳහා මොවුන් ගෘහස්ථ බළල් විශේෂ සමඟ දෙමුහුන් අභිජනනයට ලක්කර තිබේ. ඒ අනුව පෙනුමින් රෞද්‍ර ලක්ෂණ පිහිටයත් මොවුන් නිවෙස් වල ඇති කරන සාමාන්‍ය පූසන් මෙන් සුරතල්ය.

09. ඇලර්කා හයිපෝඇලර්ජෙනික් බළලුන්(Allerca Hypoallergenic cat)

මොවුන්ගේ වටිනාකම ඩොලර් 50000 ක් තරම් ඉහළ වටිනාකමකි.ඇතැම් අයට බළලුන් නිසා ආසාත්මිකතා ඇතිවේ. නමුත්, පුදුමයට කරුණක් මෙන් පූසන්ට ආසාත්මිකතා දක්වන පුද්ගලයෙකුට වුණත් මෙම වර්ගයේ පූසෙකු කිසිඳු අපහසුතාවක් නොමැතිව ඇති දැඩි කල හැකිවීමයි.මිලෙන් ඉතා අධික වුණත් මොවුන් සඳහා හොඳ ඉල්ලුමක් පවතියි.

10. අෂේරා බළලුන් (Ashera cat)

බෙංගාල් කැට් විශේෂයට සමානකම් කියන මෙම බළලුන් අභිජනනය කරවා ඇත්තේ ඒෂියන් ලෙපර්ඩ් කැට් විශේෂය හරහායි. මොවුන්ගේ වටිනාකම ඩොලර් 125000 ක් පමණ වේ. මොවුන් කුඩා දරුවන් සමඟ බොහෝ මිත්‍රශීලි බව අසන්නට ලැබේ. මොවුන් උණුසුම් කාලගුණයට අනුවර්තනය වු විශේෂයක් නිසා සීත කාල වලදී උණුසුම ලබාදීම වැදගත් වේ. හොඳම සුරතලුන් විශේෂයක් ලෙස ප්‍රචලිත  මොවුන්ගේ ඇතැම් බළලුන් අනපේක්ෂිත ලෙස ප්‍රකෝපකාරී ලක්ෂණ පෙන්නුම් කල හැකි බව කියවේ. ඊට හේතුව මොවුන්ගෙන් ඇතැම් සතුන් කැලෑ බළලුන්ගෙන් අභිජනනය වූ විශේෂ වීමයි.