මෙන්න මේ ස්ථාන වලට විනාකිරි සිවල්පයක් ස්ප්‍රේ කරන්න

විනාකිරි කියන්නේ ආහාර රසවත් කිරීමට යොදගන්නා නිෂ්පාදනයක්. විශේෂයෙන්ම අච්චාරු වගේ කල් තබාගන්නා ආහාර වලට මේවා එක්කරනු ලබනවා, ඉන් ආහාරයට එක්වන්නේ සුවිශේෂී ඇඹුල් රසයක්. ආහාර රසවත් කරගැනීමට අමතරව විනාකිරි වලින් ලබාගත හැකි තවත් ප්‍රයෝජන තිබෙනවා. ඉන් කිහිපයක් තමයි පහළින් දැක්වෙන්නේ.

විනාකිරි (white vinegar)

01. වල් පැළෑටි වර්ධනය වීම වළක්වාගැනීමට

කරදරකාරි වල් පැළෑටි සහ පඳුරු වර්ග වැවීම වළක්වාගැනීමට එම පත්‍ර වලට හොඳින් විනාකිරි ස්ප්‍රේ කරගන්න.

02. හිසකෙස් සුමුදු කරගැනීමට

විනාකිරි කොටස් 1 ක් ජලය කොටස් 2 ක් සමඟ මිශ්‍රකරගන්න. ඉන්පසුව, ඔබේ කොණ්ඩයට හොඳින් ස්ප්‍රේ කරගන්න. මිනිත්තු 10 ක් පමණ කෙස් අතරේ තිබෙන්නට හැර සෝදා ඉවත්කරගන්න.

03. දුම්පානය කිරීමෙන් ඇතිවන දුර්ගන්ධය නැතිකරගැනීමට

දුම් දුර්ගන්ධය වහනය වන තැනින් විනාකිරි දැමූ බඳුනක් තබන්න.

04. නිය මත නිය ආලේපනයක් දිගුකල් ආරක්ෂා කරගැනීමට

නිය ආලේපන පළමු තට්‍ටුව ආලේප කරගැනීමට පෙර නියපොතු ටික විනාකිරි කෝප්ප බාගයක මිනිත්තු 10 ක් පමණ පොඟවාගෙන සිටින්න. ඉන් අනතුරුව නිය ආලේපන ගල්වාගන්න. ඒවා බොහෝ කලක් ඔබේ නිය මත ලස්සනට ‍රැඳී තිබේවි.

05. නාන කාමරයේ දිදුලන පිරිසිදු බවකට

විනාකිරි වල ප්‍රතිබැක්ටීරිය සහ සුදු පිරියම් කිරීමේ ගුණයන් ඇත. විනාකිරි කොටස් 1  කට ජලය කොටස් 2 ක් මිශ්‍රකරගනිමින් නාන කාමරයේ අපිරිසිදු තැන් වලට ස්ප්‍රේ කරගනිමින් අතුල්ලා පිරිසිදු කරගන්න.

06. පොලොවේ සහ කාපට් වල ඇති වී ඇති පැල්ලම් නැති කරාගැනීමට

පොලොව පිරිසිදු කරගැනීමට විනාකිරි කෝප්ප 1 ක් සමඟ උණුසුම් ජලය ලීටර් 2 ක් මිශ්‍රකරගන්න. එය භාවිතා කරමින් පොලොව අතුල්ලා පිරිසිදු කරගන්න. කාපට් පිරිසිදු කරගැනීමට පැල්ලම් මතට විනාකිරි ස්වල්පයක් දමා අනතුරුව සබන් දියර හෝ කුඩු දමා වියළෙන්නට හරින්න. පසුව බුරුසුවකින් පැල්ලම් ඉවත්වන තුරු ඒ මත හොඳින් අතුල්ලා ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.

07. දහදිය පැල්ලම් ඉවත්කිරීමට

ඇඳුම් වල දහදිය පැල්ලම් ‍රැඳී ඇති ස්ථාන වලට (කිහිළි වල) විනාකිරි ස්වල්පයක් ඉසගනිමින් මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව, ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.

08. ඇපල් සයිඩර් විනාකිරි (Apple cider vinegar)

සලාද වර්ග රසකරගැනීම සඳහා විශේෂයෙන් භාවිතා කරයි. එමෙන්ම රූපලාවන්‍ය සත්කාර වලදී ද මේවා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා වේ. ආසාත්මිකතා ඇතිවීම වළක්වාගැනීමට භාවිතා කරන විට ජලය මිශ්‍රකරගන්න. හිරුකිරණට නිරාවරණය නොවීම ද ඉතා වැදගත් වේ (නැතිනම් සම මත ලප ස්වභාවයක් ඉතිරිවිය හැකියි). සත්කාර සිදුකිරීමේදී රාත්‍රී කාලයේ සිදුකරගැනිම වඩාත් සුදුසුය.

09. අඳුරු කැලැල් දුරුකරයි.

ඇපල් සයිඩර් විනාකිරි වලින් සමේ මැරුණු සෛල ඉවත්කරමින් සමේ නැවුම් බව සහ තරුණ පෙනුම ආරක්ෂා කරයි. ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් ජලය වීදුරු බාගකයට දියකරගනිමින් මුහුණ පුරා කපු පුළුන් ආධාරයෙන් ආලේප කරගන්න. සම මත මිනිත්තු 30 ක් පමණ තිබෙන්නට හැර සෝදා ඉවත්කරගන්න.

10. කුරුලෑ තත්වයන් වලට එරෙහිව සටන් කරයි.

සමේ අනවශ්‍ය තෙල් ඉවත්කර, සමේ ආසාදනයන් ඇතිවීම වළක්වමින් කුරුලෑ සහ ලප කැලැල් සුවපත් කරයි. සමේ සිදුරු ලිහිල් කරමින් ඔක්සිජන් ලබාගැනීම පහසුකරයි.

11. Facial toner එකක් ලෙස

 ජලය කෝප්ප 2 ක් සමඟ ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් මිශ්‍රකරගන්න. කපු පුළුන් කැබලි එහි පොඟවා සෝදා පිරිසිදු කරගත් වියළි මුහුණේ ආලේප කරගන්න. ඇස් වටා ආලේප කරනොගත යුතුයි. රාත්‍රී නින්දට පෙර මෙය සිදුකරගන්න. මුහුණ සේදීම නොකර නින්දට යන්න. ඇපල් සයිඩර් විනාකිරි මඟින් සමේ pH අගය සමබරකිරීම, සමේ අපද්‍රව්‍ය ඉවත්කිරීම සහ මුහුණේ රුධිර අස්ංසරණ ක්‍රියාවලිය උත්තේජනය කිරීම සිදුකරයි.

12. ඉස් හොරි නැතිකර දමයි

විනාකිරි කෝප්ප කාලක් සමඟ ජලය කෝප්ප කාලක් මිශ්‍රකරගනිමින් ස්ප්‍රේ බෝතලයකට දමාගන්න. හිසකෙස් වලට සහ හිස්කබලට කාවදින සේ ඒවා ස්ප්‍රේ කරගනිමින් තුවායකින් හිස ඔතාගන්න. මිනිත්තු 15 ක් පමණ හිසකෙස් එසේ තබා ස්නානය කරන්න. ඔබේ ෂැම්පූ එකට විනාකිරි ස්වල්පයක් මිශ්‍රකරගැනීම ද ඔබට සිදුකල හැකියි.

13. තුවාල කැලල් ඉවත්කරයි.

පිරිසිදු කපු රෙදිකැබැල්ලක් සැර බාල නොකල ඇපල් සයිඩර් විනාකිරි වල පොඟවාගනිමින් තුවාල කැලැල් මත ආලේප කරගන්න. ඉන්පසුව, ඒවා පැයක් පමණ සම මත තිබෙන්නට හැරිය යුතුයි. විනාකිරි වල ඇති ප්‍රති-ප්‍රදාහක ගුණ මඟින් හානිවූ සම සමනය කිරීම, රුධිර සංසරණය වැඩිදියුණු කිරීම සිදුකරමින් සම සුවපත් වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සිදුකරයි.

14. මදුරුවන්ගේ දෂ්ට කිරිම් නිසා ඇතිවු බිබිලි සුවකරයි.

ඇපල් සයිඩර් විනාකිරි වල ප්‍රතිනාශක ගුණ සහ ප්‍රතිබැක්ටීරීය ගුණ අඩංගු වන නිසා සමේ කැසිල්ල-දැවීල්ල ස්වභාවය සමනය කරමින් සමේ ඉදිමුම අඩුකිරීම සිදුකරයි.

සමට ඇපල් සයිඩර් විනාකිරි වලින් සත්කාර කිරීමේදී,

  • විනාකිරි සැම විටම ජලය සමඟ මිශ්‍රකරමින් භාවිතා කරන්න. සැර බාල නොකල විනාකිරි සෘජුව සම මත ආලේප කරගැනීමෙන් වළකින්න. ඇතැම් විට ඒවා සමේ කැලැල් මෙන් ඉතිරිවීම හෝ ඇතැම් විට සමේ ආසාත්මිකතා හටගැනීම නිසා සමට හානි විය හැකියි. නිර්දේෂිත අනුපාතය වන්නේ විනාකිරි කොටස් 1 කට ජලය කොටස් 3 ක් යනුවෙනි.
  • භාවිතයට පෙර මිශ්‍රණය හොඳින් සොලවන්න(විනාකිරි සහ ජලය නිතර වෙන්වන නිසා)
  • මුහුණේ ගැල්වීමට පෙර ඉන් ඔබට ආසාත්මිකතා ඇතිවේදැයි පරීක්ෂාකර බලන්න. ඒ සඳහා ඔබේ අත මත ස්වල්පයක් ගල්වා මිනිත්තු කිහිපයක් සිටින්න. කිසිඳු ගැටලුවක් ඇති නොවුණේ නම් මිශ්‍රණය මුහුණේ ආලේප කරගන්න. පළමු වරට මුහුණට සත්කාරයක් ලෙස භාවිතා කරන විට ආලේප කර මිනිත්තු 5 කින් පමණ උණුසුම් ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න. මීලඟ වාර වලදී පෙරට වඩා සම මත ‍රැඳී තිබෙන කාලය ක්‍රමයෙන් වැඩිකරගන්න.
  • මෙම සත්කාරයන් රාත්‍රී කාලයේදී සිදුකිරීම වඩාත් සුදුසුවේ.
  • ස්ප්‍රේ බෝතලයකට ජලය සහ ඇපල් සයිඩර් විනාකිරි දමා refreshing lotion එකක් ලෙසත් බාවිතා කල හැකියි. මුහුණට ස්ප්‍රේ කරගැනීමේදි ඇස් වල නොතැවරෙන සේ භාවිතා කිරීමට සැලකිලිමත් විය යුතුයි.