මාස ගාණක් කිසිම ආදායමක් නැතිව ඉද්දි අපිටත් ආර්ථික ප්‍රශ්න එනවා

ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යයක් වන සංගීතෙට මොකද වෙන්නේ කියලා සමහරු අහනවා. සංගීතේ නාට්‍යයේ පුංචි සුරංගනාවිය ගීත්මා බණ්ඩාරට කතා කළේ මේ ගැන තොරතුරු ටිකක් දැන ගන්නයි.

ගීත්මා මොනවද අලුත් තොරතුරු ?

ගෙදරට වෙලා ගොඩක් සතුටින් කාලය ගත කරනවා. කාර්යබහුල වෙලා තිබුණ ජීවිතයට පුංචි විරාමයක් ලැබුණා කියලා හිතෙනවා.

පසුගිය දවස්වල ගෙදරට වෙලා මොකද කළේ ?

පොත් කියෙව්වා, චිත්‍රපට බැලුවා, ජීවිතේ මගහැරුණ බොහෝ දේවල්වලට ඉඩක් ලැබුණා. ගොඩක් සතුටින් හිටියා

අලුත් අලුත් කෑම හැදුවෙ නැද්ද?

කොහොමත් අපේ ගෙදර උයන්නේ මමනේ. ඒක හින්දා කෑම හදන එක මට අලුත් දෙයක් නෙවේ.

ගීත්මා ගිය අවුරුද්දේ නේද උසස් පෙළ විභාගය කළේ?

ඔව්. මම හොඳින් විභාගය සමත් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්කමක් තිබුණත් ලංකාවේ විශ්වවිද්‍යාල ගැන මට පුංචි පැහැදීමක්වත් නැහැ. ඒක නිසා වෙනත් පැත්තකට යොමු වෙනවා.

මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

රංගනයට මුල්තැන දෙන්න තමයි අදහස තිබුණේ. නමුත් මේ ඇතිවෙච්ච තත්ත්වය නිසා රංගනය කියන රැකියාව අස්ථාවරයි කියලා හිතෙනවා. ඒ ගැන ගොඩක් දුකයි

ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දුන්නද?

දෙයියනේ කියලා මුදල් ටිකක් ඉතිරි කරලා තියාගත්තු නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් මාස ගාණක් කිසිම ආදායමක් නැති වෙනකොට ඒක ලොකුවටම බලපානවා. මටත් ඒ ප්‍රශ්නේ නැහැයි කියන්න බෑ.

ඒ කියන්නේ ගීත්මා රංගනයෙන් සමුගන්නද කල්පනාව?

අපෝ නැහැ. කවදාවත් එහෙම හිතලා නැහැ. මම රංගනයට ගොඩක් කැමතියි. හැබැයි රඟපාන ගමන් වෙන දෙයක් කරන්න ඕන. ඒක නිසා තීරණය කළා ලෝ එන්ට්‍රස් කරන්න ඕන කියලා. මේ දවස්වල ඊට අදාළ පොත්පත් හොයාගෙන කියවනවා. අනාගතේ කොහොම හරි නීතිඥවරියක් වෙනවා.

රඟපෑමත් එක්ක ඒ දේවල් වලට කාලය වෙන්කර ගන්න පුළුවන්ද?

මුලදී මටත් ඔය විදියටම හිතුණා. කාලය නැහැ කියලා හිතුවොත් නැහැම තමයි. දැනට මම ‘සංගී​තේ ටෙලි නාට්‍යය’ විතරයි භාර අරගෙන තියෙන්නේ. ඉතින් කාල වෙලාව හරියට කළමනාකරණය කරගෙන මගේ ඉලක්කයට යන්න උත්සාහ කරනවා.

රඟපාන නීතිඥවරියෝ කීදෙනෙක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවාද?

ඒ ගැන මම හරියට කියන්න දන්නේ නැහැ. නමුත් ගොඩක් අඩුයි. මොකද මේ දෙකම එකම ආකාරයට කරගෙන යන එක ලේසි වැඩක් නෙවෙයි.

ගීත්මා ජීවිතේ වැරදි තීරණ අරගෙන තියෙනවද?

ගත්තු හැම තීරණයක්ම හරි කියන්න තරම් මම පණ්ඩිත කෙල්ලෙක් නෙවෙයි. මට වැරදුණ අවස්ථාත් ගොඩක් තියෙනවා. ඒත් ඒ වැරදි නිසා මට ලොකු හානියක් සිද්ධ වුණේ නැහැ. කල්පනා කරලා හැම දෙයක්ම යහපත් පැත්තට හරවන්න මට පුළුවන්කම ලැබුණා.

“සංගීතේ” කියන්නේ ඔබේ ප්‍රථම රංගනයද?

නැහැ. මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ හිරු අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය ලබාගනිමින්. ‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් රඟපෑවා. ‘නීළ පබළු’ නාට්‍යයේ දුෂ්ටයාගේ චරිතයක් රඟපෑවා. ඊට පස්සේ තමා ‘සංගීතේ’ ටෙලි නාට්‍යය සමග එකතු වෙන්නේ. ‘සංගීතේ’ නිසා තමා ගොඩක් අය මාව අඳුරගත්තේ ගොඩක් අය මට ආදරේ කරන්න පටන්ගත්තේ,

ආදරය සහ ප්‍රේමය ගැන මොකද හිතෙන්නේ පෙම්වතෙක් ඉන්නවද ?

දැනට නම් පෙම්වතෙක් නෑ වෙලාව ආවම ඒ දේවල් ඉබේම සිද්ධ වෙයි. කිසිම දෙයක් ගැන මට හදිස්සියක් නැහැ. මුලින්ම නීතිඥවරියක් වීම වෙනුවෙන් මහන්සි වෙනවා. අනිත් දේවල් ඊට පස්සේ බලමු.

ඔබට ක්ෂේත්‍රයේ නිසි ඇගයීමක් ලැබිලා තියෙනවද?

මෙහෙමයි… මම මහ ලොකු නිළියක් නෙවේ. තාම පුංචි කෙල්ලෙක්. ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා තාම අවුරුද්දක් නැහැ. හැබැයි ආධුනික නිළියක් හැටියට මට ඕනෑවටත් වඩා ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබිලා තියෙනවා. ජනප්‍රිය නිළිය ලෙස අවස්ථා කීපයකදී නිර්දේශ වුණා. නමුත් කවදා හරි හොඳම නිළිය දක්වා ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

ගීත්මා වැඩිපුර කැමති හොඳ නිළියක් වෙන්නද කැමති? දක්ෂ නීතිඥවරියක් වෙන්නද?

හොඳ නිළියක් වෙන්න තමා ගොඩක් කැමති. හැබැයි නීතිඥවරියක් වෙන එකත් මම අනිවාර්යයෙන්ම කරනවා.