‘මාව හැදුවේ අපිව දාලා ගිය සුනිල් අයියා’ ජනප්‍රිය ගායිකා ජින්ජර් වයිට් කියන කතාව

ජින්ජර් නම කියු සැනින් කාගේත් මතකයට එන ප්‍රසංග වේදිකාවේ දඟකාරි චරිතයක් විදියට. අද ඉඩකඩ වෙන් කරගත්තේ ඇය වෙනුවෙන්. ජින්ජර් වයිට් පහුගිය කාලය පුරාවට විදේශතව සිටියා. බොහෝ වැඩ කටයුතු එක්ක ඇය කාර්යබහුල චරිතයක්. ඔබ ප්‍රසංග වේදිකාවෙන් රියලිටි කලාවට ආව ආකාරය පිලිබඳ කිවොත්, “ඇත්තටම ජින්ජර් කියන්නේ ප්‍රසංග වේදිකාවේ චරිතයක්. මට දෙරණ ස්ටාර් සිටිවලට ආරාධනා ලැබෙද්දි ⁣ටිකක් අකමැති වුනත් මම ඒ වෙනස අත්දකින්න කැමති වුනා. මට ඒක ලොකු අභියෝගයක්.

ජින්ජර් කියන නම සමාජගත වෙන්නේ කොහොමද? “ඇත්තටම මාව ප්‍රසංග වේදිකාවට ගෙනාවේ සුනිල් අයියා. මට ගොඩක් දේවල් සුනිල් අයියා කියලා දුන්නා. මම හැමදේම ඔහුගෙන් ඉගෙන ගත්තා. අවසා⁣නේ ජින්ජර් කියන නම හැදුනා. හැබැයි මගේ ජිවිතේ වෙනස් කරපු තැන ජිප්සිස් සංගීත කණ්ඩායම. මට එතනදි ලොකු ආත්ම ශක්තියක් ඇති වුනා. මේ හැමදේම සිද්ධ වුනේ සුනිල් අයියා නිසා.”

ඔබ කලාව වෙනස් කරනවද නැතිනම් රැල්ලක් හදනවද නිර්මාණ තුළ, “අපි ඇයි සංගීත ප්‍රසංගයක් බලන්න එන්නේ. වේදිකාවේ ඔහේ ඉන්න මිනිස්සු ටිකක් බලලා සංගීතය ප්‍රසංගයක් විදින්න පුළුවන් ද. මට ඕනි වෙනසක් කරන්න. අලුත් රසවින්දනයක් එක්ක ජනතාවට වෙනස් දෙයක් කරලා පෙන්වන්න.”

ඔය කෑ ගහලා දඟලන එකට විවේචන නැද්ද. “ජින්ජර් කියන්නේ විවේචන වල ඉහළින් ඉන්න කෙනෙක්. ඔය බැනුම් අහගෙන අහගෙන මම ඉස්සරහට එද්දි මිනිස්සුම ජින්ජර් කියන කෙනා හොයන්න ගත්තා. මම ලද බොළද සිනි බෝල චරිතයක් නෙවෙයි. කෙටියෙන් මට ලස්සනට කතා කරන්න ලස්සන වචන දාන්න තේරෙන්නේ නෑ. මම සිංහලෙන් කතා කරනවා. මම වේදකාව මගේ කරගන්නවා. ඒක මගේ තැනක් වෙද්දි මම දඟලලා හු කියලා පොඩ්ඩක් සද්දේ දානවා. හැබැයි මම ඇදුම් නැතුව වේදිකාවට එන්නේ නෑ. අන්න ඒ නිසා මම ඔය විවේචන වලට බය නෑ. වේදකාව හොල්ලන්න පුළුවන් චරිතයක් තමා මේ ජින්ජර් කියන්නේ.”

ජින්ජර් ඔබ මේ යුගයේ විරහ ගීත දකින්නේ කොහොමද , “විරහ ගීත කලාවක් වුනත් දැන් තියෙන ගීත බලන්න අප්පිරියයි. පිරිමි හොටු පෙරාගෙන බිම පෙරලි පෙරලි අඩනවා. ඉස්සර වුනත් අපේ රටේ විරහ ගීත තිබුනා. හැබැයි ඒවා බලන්න පුළුවන් විදිහට තිබුනා. ඔය වගේ හොටු පෙරාගෙන ඇඩුවේ නෑ.”

ඔබ කාන්තාවක් එහෙම වෙද්දි ඔබට එන විවේචන ඔබ භාරගන්නේ කොහොමද? “මේ ජින්ජර් කියන්නේ සල්ලි වලට වඩා මිනිස්සු හම්බකරපු චරිතයක්. අන්න ඒ නිසාම මට ඕනි දේකට පිරිසක් ඉන්නවා. මාව වැඩිපුරම විවේචන කරන්නේ මගේ වටේ ඉන්න අය. අන්න ඒ නිසා ජින්ජර් ඔය විවේචන මත්තේ ඉන්න කෙනෙක් නෙවෙයි. අර කතාවක් තියෙන්නේ ඵල ඇති රුකට තමා ගල් මුල් කියලා. අන්න ඒ වගේ මමත් හිතලා කිසිදෙයක් ගනන් ගන්නේ නැතුව මගේ ගමන යනවා” කියලයි.