මම විවාහ උනත් නැතත් ඒක කාටවත් අදාළ නෑ – රවීන්

මේ දිනවල බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් අපි අද කතා බහට එකතු කරගන්න හිතුවා, ඒ තමයි තාරුණ්‍යයේ සිහින කුමාරයා වී සිටින දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟයෙන් පසුව රඟපෑ දෙවෙනි ඉනිම නාට්‍ය නිසා ලංකේය රසික හදවත් දිනාගත් රවීන් කනිෂ්ක, මේ ඔහු සමඟ අප කළ කතාබහ.

රවීන් කියන්නද…? අනුහස් කියන්න ද…?

ආ… කැමති නමක් කියන්න රවීන් කිවුවත් අනුහස් කිවුවත් ඒ නම් දෙකම මට ගොඩක් හුරුයී මොකද රවීන් කියන කෙනා ලංකාව අඳුරගත්තේ අනුහස් නිසා

හොදයි අපේ රවීන් කියලම කතා කරන්නම් කෝ… රවීන් කොහොමද මේ දිනවල කලා කටයුතු?

සුපුරුදු පරිදි නිර්මාණවල යෙදෙනවා. මේ ටිකේ නම් ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නේ දෙවෙනි ඉනිම නිසා,

ළඟදී අලූත් ගීත ටිකක් කළා නේද?

ඔව් අලූත් ගීත කිහිපයක්ම කළා. ඒ අතරින් ටී.එම්. ජයරත්න මහත්මයගෙ බිරිඳ මාලනී ජයරත්න ලියපු ගීතයක් ගායනා කලා. සංගීතවත් කළේ රෝහණ වීරසිංහ සර්. ලගදීම තවත් ගීතයක් එළිදක්වනවා ඇමරිකාවෙ ඉන්න පියල් කියලා මහත්මයෙක් රචනා කරපු වික්ටර් රත්නායක මහත්මයා සංගීතවත්ක රපු ගීතයක්.

රවීන්ට තනිකමක් රවීන්ට නම් නෑනෙ නේද? නෑ. මට එහෙම තනිකමක්නම් තවම නෑ.

පසුගිය කාලෙ හොරෙන්ම විවාහ වුණා කියලා ආරංචියක් ආවා ඇත්තද ඒක?

ඒක මේ දවස්වල හැමෝම වරද්ද ගත්ත කතාවක්නෙ. ඒවා එහෙම තමයි. අපිට කට කතා වෙනස් කරන්න බෑ මිනිසුන්ට කටවල් තියෙන්නෙ කතා කියන්න. ඕනෑ කෙනෙක් ඕනෑ දෙයක් කියපුදෙන්. ඒවා මට අදාළ නෑ. ඒවා ගැන බල බලා ඉන්නවට වඩා මට වැඩ තියෙනවා. මට ගමනක් තියෙනවා

ඒ කියන්නේ ඒ කතාව බොරුවක්?

ඔව් ඉතින් මෙහෙමයිනේ. මම විවාහ වුණත් ඒක කාටවත් කියව කියව ඉන්න කෙනෙක් නෙමෙයි ඒක මගේ පෞද්ගලික කාරණාවක්නෙ ඒක කාටවත් අදාළ නෑ, මමත් කවදාහරි විවාහ වෙන්නත් එපැයි. ඒ නිසා මම විවාහ වෙයි. මගේ පෞද්ගලික ජීවිතේ, මගෙ බිරිඳ මගෙ බිරිඳ විදියට ඉන්නෙ. මගේ බිරිඳ ගෙදර වැඩ කටයුතු බලාගන්න කෙනා, මගෙ ජීවිතේ ගෙනියන කෙනා. ඒක කවුරුත් ප‍්‍රශ්නයක් කරගන්න ඕන නෑ. කවදාහරි විවාහ වුණත් ඒක පෞද්ගලික දෙයක්. කාටවත් ඒ ගැන අදාළ නෑ

රවීන් ඇයි එහෙම හිතන්නේ?

ඒ මගෙ විදිය. අනිත් අය හිතන විදියට නෙමෙයි මම හිතන්නේ. මම රවීන් කනිෂ්කනෙ. මම හිතන්නෙ පතන්නෙ මගෙ විදියට. ඒක කාටවත් වෙනස් කරන්න බෑ

ජනප‍්‍රියකම අඩුවෙයි කියලද පෞද්ගලික ජීවිතේ ගැන කතා නොකරන්නේ?

ජනතාවට අදාළ වන්නේ අපේ කලා නිර්මාණ විතරයිනෙ. මම ගයන ගීත මගෙ රංගනයන් ඒවට තමයි ඔවුන් ආදරේ කරන්නෙ. රසික ආදරේට බයේ තමන්ගෙ පෞද්ගලික ජීවිතේ වෙනස් කර ගන්න අවශ්‍ය නෑ.

මෑතකදී රවීන් විවාහ මංගල චායාරූප බොහෝ සංඛ්‍යාවකට සම්බන්ධ වුණා නේද?

ඔව්. මම කොහොමත් එක දෙයක් කරලා සෑහීමකට පත්වෙන කෙනෙක් නෙමෙයි. මට පුළුවන් හැමදේම මම කරනවා. චායාරූපවලට පෙනී හිටිනවා. මගෙ මොනවහරි සුදුසුකමක් තියෙනව නම් මට මොනවා හරි දේකට කතා කළොත් මම ඒවා භාර ගන්නවා. ඒ මගේ හැටි ඉතින් මේ වෙද්දී බොහොම සාර්ථක විදියට ෆොටෝ ෂූට් ගණනාවක් කරලා තියෙනවා. මංගල ඇඳුම්, මංගල ආයිත්තම් ඒ වගේ ගොඩක් දේවල්. ඒවගේ කරපුවා ඉදිරියට එන්නත් තියෙනවා. ඉතින් ඒ හැමදේටම හොඳ ප‍්‍රතිචාර තියෙනවා. හරි සතුටුයි ඒ ගැන. කවුරු මොනවා කිවුවත් මම මගේ ගමන නවත්තන්නේ නෑ

ගායන ක්‍ෂේත‍්‍රයෙන් වගේම රංගන ක්‍ෂේත‍්‍රයෙනුත් හොඳ ප‍්‍රතිචාර ලබා ගනිමින් ‘අනුහස්’ තවම ඉදිරියෙන් නේද?

ඔව්. ඇත්තටම දෙවනි ඉනිම ගත්තොත් එන්න එන්නම පේ‍්‍රක්ෂකාගාරයට අලූතෙන් කට්ටිය එකතු වෙනවා. අනුහස්ට ලැබෙන ප‍්‍රතිචාරත් එන්න එන්න වැඩිවෙනවා. බොහොම නිහතමානීව ඒවත් භාර ගන්නවා.

මේ හැමදේමත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද?

ඇත්තටම ගොඩක් සතුටුයි. හැමදාම අඩියෙන් අඩිය ඉස්සරහට තියන්න බලනවා. ඒක මගේ හැටි තමන්ගෙ පාඩුවෙ නිෂ්ශබ්දව වැඩ කරගෙන ජීවත්වෙන්න කැමතියි. අලූත් ගීත නිර්මාණ සහ රංගනය හැමදේමත් කරගෙන මගෙ පෞද්ගලික ජීවිතේ ව්‍යාපාර කටයුතුත් කරගෙන බොහොම හොඳ පුරවැසියෙක් විදියට පෞද්ගලික ජීවිතෙත්, කලා ජීවිතෙත් සාර්ථකව ගෙවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලමු ඉතින් නේද,