මම රංගනය හොඳින් හදාරලා තමයි කළා ක්ෂේත්‍රයට ආවේ ඒ නිසයි මම අද මේ වගේ තැනක ඉන්නේ

මේ දිනවල විකාශය වෙන ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකම දකින ආලෝකා ධනංජනි වර්තමානයේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. අපේ මෙවර කතාබහා දිග හැරෙන්නේ ආලෝකා සමගිනි.

ආලෝකා මේ දිනවල ඔබ ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකම රංගනයේ යෙදෙනවා නේද..?

ඔව්, ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන ‘ගරුඩ මුහුර්තය’ හිරු රූපවාහිනි නාළිකාවේ ‘අහස් මාලිගා’ වගේම ස්වාර්ණවාහිනි නාළිකාවේ ‘හදවතේ කතාව’ කියන ටෙලි නාට්‍යය ත්‍රිත්වයේ මාව දකින්න පුළුවන්.

ක්ෂේත්‍රයට ආපු මුල් කාලයට වඩා අද කලා නිර්මාණ බොහෝමයක ඔබ වැඩ කරනවා නේද?

ක්ෂේත්‍රයට ආපු මුල් කාලයට වඩා අද මට ගොඩක් කලා නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඇත්තම කිව්වොත් අද වෙන කොට මම කලා කටයුතු නිසා ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා කිව්වොත් හරි.

මේ දිනවල වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ ඔබ රඟපාන මොන චරිතයටද?

එහෙම එකක් කියලා නැහැ හැම චරිතයකටම එක වගේ ප්‍රතිචාර ලැබෙනවා. නමුත්, ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන ‘ගරුඩ මුහුර්තය’ නාට්‍යයේ ‘බිළිඳි’ කියන චරිතය ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා.

රංගන ශිල්පිනියක් විදිහට ඔබ අද සිටින්නේ කුමන මට්ටමකද?

මම හිතනවා මම රංගන ශිල්පිනියක් විදිහට කළා ක්ෂේත්‍රයේ අද යම් තැනක ඉන්නවා කියලා. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙත් එක්ක සංසන්දනය කරද්දි මම අද ගොඩක් හොඳ තැනක ඉන්නවා. මොකද, අනිත් ය වගේ නෙවෙයි මම රංගනය කියන දේ හොඳින් හදාරලා තමයි මේ තැනට ආවේ. හැබැයි මම තවමත් රංගනය කියන දේ හදාරමින් ඉන්නවා. ඉතින් මම අද යම් තැනක ඉන්නවා නම් ඒ මගේ දක්ෂතාවය සහ හැකියාව නිසා කියලා මම හිතනවා.

ප්‍රේක්ෂයින් ආදරය කරන චරිතයක් වුණ ගැන මොකද හිතෙන්නේ?

ඇත්ත ටම ගොඩක් සතුටුයි ඒගැන. මොකද හැමෝටම ලැබෙන්නේ නැති දෙයක් තමයි මට ලැබිලා තියෙන්නේ. රංගනය නියැළෙන අයට විතරක් ලැබෙන දෙයක්. ඇත්තටම ඒ පිළිබඳව තියෙන්නේ මට නිහතමානි සතුටක්.

රංගනය කියන දේ දැන් ඔබගේ වෘත්තියද?

ඔව්, රංගනය දැන් මගේ වෘත්තිය වෙලා තියෙන්නේ. හැබැයි මට කලා ක්ෂේත්‍රය කියන්නේ තවමත් ආධුනික තැනක්. මම මේකේ ස්ථාවර වෙන්න ඕන. ඒ වගේම මගේ රංගන හැකියාව තව තවත් වැඩි දියුණු කරගන්න ඕනා. චරිතාංග නිලියක් වෙන එක තමයි මගේ නීනය