මම පොඩිකාලේ ඉඳම්ම කොටට අඳින්න කැමති කෙනෙක් ඒක කාටවත් වෙනස් කරන්න බෑ

විටෙක දගකාර ඇය තවත් විටෙක කටකාරය. හිතේ එකක් තියාගෙන තවත් දෙයක් නොකියන්නට තරම් විවෘත. ඒ වගේම තමන්ටම ආවේනික වූ ගති ලක්‍ෂණ සමග දිවිගෙවන ඇය ඇත්තටම ස්වාධීන සුන්දර තරුණියක් අපේ අද කතා බහා ඔයාලා හැමෝම ආදරේ කරන යුරේනි නොෂිකා සමග

ඉතින් යුරේනි කොහොමද ජීවිතේ

ජීවිතේ ඉතින් වෙනද වගේම තමයි. ලොකු වෙනසක් නෑ පුංචි වෙනසකට තියෙන්නෙ රටේ පැතිරෙන වසංගත තත්ත්වය නිසා අපි හැමෝටම විවේකයක් ලැබිල තියෙන එක. මේ තත්ත්වය ඉක්මනින් සමනය වේවා කියලා උදේ හවස ප‍්‍රාර්ථනා කරන අතරෙ මගේ ඉදිරිය ප්ලෑන් කරගන්න වගේම මම ගැන හිතන්න මම මේ නිවාඩුව ප‍්‍රයෝජනයට ගනිමින් ඉන්නවා. එච්චරයි

මේ දිනවල මොනවද කරන කලා කටයුතු ගැන කතා කළොත්

හිරු වින්දනීය උදෑසනක් ෆෝග‍්‍රෑම් එක තමයි කරමින් හිටියෙ. පාසල් නිවාඩුවත් එක්ක ඒ වැඩසටහන තාව කාලිකව නැවතුනා. අලූත් ටෙලිනාට්‍යයකට ආරාධනාවක් ලැබුණා. ඒත් තාම පිටපතවත් ලැබුණෙ නෑ. එහි අධ්‍යක්‍ෂවරයා සර්ප‍්‍රයිස් එකක් හැටියට ස්ක‍්‍රිප්ට් එක මට දෙන්න හදනව වගේ බලමුකෝ මොනවා වේවිද කියලා

ෆොටෝ ෂූට් එකක් නිසා මේ දවස්වල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙලා නේද?

මම හිතන විදියට එහෙම කතාබහට ලක්වෙනවා නම් ඒ ස්විම් සූට් එකකින් කරපු ෂූට් එක වෙන්න ඕන. දැන් ඔය ඇඳුම ඇඳල අපි පූල් එකකට බහිද්දී එතන කාන්තාවන්ට පමණක් වෙන් වුණ තැනක් නෙමෙයිනෙ. පුරුෂ පාර්ශ්වයත් ඉන්නවා. එතකොට එහෙම ඇඳල ඉන්නව පිරිමි අය දකින්නෙ නැතුවද මේ යුරේනිගේ ෆොටෝ ෂූට් ගැන ලොකුවට කතා වෙන්නෙ. පුංචි දෙයක් කරලා මං ගැන ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා නම්. ඒ කියන්නෙ මම මගේ වැඬේ සාර්ථකව කරල තියෙනවා.

පාසල වගේම පාසල් කාලේ ගැන මතක් කළොත්

කොල්ලූපිටියෙ මෙතෝදිස්ත විදුහලේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. මම අවුරුදු 12 ක්ම හැදුනෙ වැඩුනෙ හොස්ටල් එකේ. මම ගොඩක් දගකාර ළමයෙක් විදියට ප‍්‍රසිද්ධියක් උසුලපු කෙනෙක්. වැඩිදුර ගැවසුනේ ග‍්‍රවුන්ඞ් එකේ. ඒත් ළමා කාලය කියන එක උපරිමව විඳිමින් අධ්‍යාපන කටයුතු හරියටම කළා. හරිම සුන්දර කාලයක්

පාසල් ජීවිතෙන් පස්සෙ මොකද කලේ

ඩයලොග් ආයතනයක් රැකියාවක් ලැබුණා. බොහොම සතුටින් අවුරුදු 4 ක් මම එහි සේවය කළා. නීතිය පැත්තෙන් මිනිස්සුන්ට උදව් කරන්න ඕනෙ කියලා හිතාගෙන ලෝ එන්ට‍්‍රන්ස් කළා. ඒත් රිසල්ස් පොඩ්ඩක් මදි වුණා

ඊටපස්සෙද ඔබ නිරූපන ක්‍ෂේත‍්‍රයට යොමු වෙන්නෙ

ඒක වෙන්නෙ මෙහෙමයි. ඩයලොග් ආයතනයෙන් ඉවත්වෙලා. මගේ හොඳම යාළුවෙකුත් එක්ක ගුවන් සේවිකාවක් ලෙස ගුවන් සමාගමකට බැඳෙන්න ගියා. අයැදුම් කරපු දාහක විතර පිරිසක් අතරින් අන්තිම 8 දෙනා අතරටත් දෙයියනේ කියලා මම තේරුණා. මොකක් හරි හේතුවක් නිසා අපිට ඒ රැකියා අවස්ථා හිමිවුණේ නෑ. නොලැබීම කියන්නෙ ඒක තමයි. එහෙම ඉන්න අතරේ මට අහම්බෙන් රොසෑන් ඩයස් මහත්මිය මුණ ගැහෙනවා. ඒත් සමග තමයි නිරූපන ක්‍ෂේත‍්‍රයට යොමු වෙන්නෙ. ඇත්තටම ඒක අහම්බයක්

එදා සිට මේ දක්වා රංගන දිවියේ ගත වු වසර 14 ක කාලය ගැන මොකද හිතෙන්නෙ

නිරූපිකාවක් – රංගන ශිල්පිනියක් නිවේදිකාවක් වගේම ගායිකාවක් විදියට ක්‍ෂේත‍්‍රය තුළ යම් දෙයක් කළා නේද කියලා හිතෙනකොට මට මම ගැන නිහතමානී ආඩම්බරයක් ඇති වෙනවා. ඒ පිලිබඳ මට ගොඩක් සතුටුයි ඒත් කූඹියෝ ටෙලි නාට්‍යය නොඑන්න අදටත් මගේ කැපෑසිටි එක ගැන ගොඩදෙනෙක් දන්නෙ නෑ

ඔබේ ජනප‍්‍රියත්වය තියෙන්නෙ නිර්මාණවලට වඩා සමාජ මාධ්‍ය තුළ නේද?

ඔව්. ඒකට ලොකු හේතුවක් තියෙනවා. මම බොලිවුඞ්වලට යන්න හීන දැකපු කෙල්ලක් හැටියට මට ලැබෙන ජනප‍්‍රියත්වය පේ‍්‍රක්‍ෂක ආදරය ආකර්ෂණය ලෝකයාට පෙන්නන්න පුළුවන් වුණේ ඒ හරහා. ඔය කියන කාලෙ ප‍්‍රියංකා චොප්රට පෑන්ස්ලා 50000 ක් වෙද්දී මේ පුංචි යුරේනි නොෂිකට 20000 ක් විතර හිටියා ඒකම කොච්චර ලොකු දෙයක්ද?

යුරේනි තෝරාගන්නා විලාසිතා වැඩිදෙනාගේ විවේචනයට ලක්වෙන හේතුවක් කතාබහට ලක්වෙන ආකාරයට ඔබ ඒවා තෝරා ගන්නවාද කියලා ඇහුවොත්

ඒව ඉතින් මගේ ප‍්‍රශ්න නෙමෙයිනෙ අනේ. පුංචි කාලෙ ඉඳල මම කොටට අඳින්න කැමති ගෑනු ළමයෙක්. දිගට ඇන්දනම් ඒ ස්කූල් යුනිෆෝම් එක විතරයි. ඒකත් නොඇඳ බැරි නිසා. අදටත් මගේ ඒ පුරුද්දෙ ලොකු වෙනසක් වෙලා නෑ. අනික මම අඳින්නෙ පළඳින්නෙ මගේ සතුට වෙනුවෙන්. කාගෙවත් විවේචනවලට බයේ චරිත සහතික ගන්න හිතාගෙනඒ සතුට කැප කරන්න මම ලෑස්ති නෑ. අඳින පළඳින විදියෙන් මිනිස්සු මනින්නත් බෑ. එක අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ