‘මම ගුරුවරියක් වෙන්න ඉන්නේ හැබැයි මම රංගනය අතහරින්නේ නෑ’ රුක්ශානා කියන කතාව

රුක්ෂානා දිසානායක නම කියු සැනින් කලා ලෝකයේ නොදන්න කෙනෙක් නැති තරම්. නිරූපණය හරහා රංගනයට පිවිසෙන රුක්ෂානා මේ වන විට ⁣කලාවේ බොහෝ දුරක් පැමණ ඇත. අද අපි කතා කරන්න හිතුවේ ඇය සමඟයි. හිරු මෙගාස්ටාර් වේදිකාවේද සිය දස්කම් පෑ රුක්ෂානා මේ දිනවල විවිධ චරිත ඔස්සේ සිය රංගන හැකියාවන් පෙන්නුම්කරයි.

රුක්ෂානා මේ දිනවල කාලය ගත කරන්නේ කොහොමද කියලා අහන්න හිතුවේ මේ ගෙවෙන කාලයේ රංගන ශිල්පින් බොහෝ දෙනා නිවෙස් වලට කොටුව ඇති නිසා. “භාරගත් මගේ වැඩ ටික කරගෙන යනවා. ගොඩක් වැඩ මේ කා⁣ලයේ නෑ. මම මගේම ඇකඩමියක් කරගෙන යනවා රුක්ෂානා දිසානායක නමින්. හැබැයි මේ කාලයේ ඒකේ වැඩත් නෑ මට දැන්.”

රුක්ෂානා දක්ෂ නිරූපිකාවක් නිසාම රංගනයට එළඹෙනවා. හැබැයි ඔබ රංගනය කරන ටෙලිකතා තුළ ඔබට ප්‍රධාන චරිතය හිමි වෙනවා අඩුයි නේද, “එහෙම දෙයක් නෑ මොන චරිතෙ කලත් මම මට හොදනම් කරනවා. අනික මම ටෙලිනාට්‍ය 80ක පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ අතරෙ ප්‍රධාන චරිත කරපු ටෙලි කතා තියෙනවා. මම ප්‍රධාන චරිත බලාපොරොත්තුවෙන් රංගනයට ⁣එන්නේ නෑ.”

වර්තමාන ටෙලි සිනමාවෙ නම තරුණ පිරිස් කරලියට එද්දි සමහර පරණ නළු නිලියන් ඈත්ව යනවා. කාලයත් එක්ක රුක්ෂානාත් කලාවෙන් ඉවත් වෙනවද. “මගේ වෘත්තීය රංගනය. ඉතින් ඒ නිසා මම ඒ කලාවෙන් අයින් වෙන්න හිතලා නෑ. මම ගුරුවරියක් වෙන්න ඉගෙන ගන්නවා. මොකද මම මේ වෙද්දි සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධිය අවසක් කරලා තියෙනවා. ඒ එක්ක තමා ගුරුවරයෙක් වෙන්න ආසාවෙන් ඉන්නේ. හැබැයි මම කලාවට සමු දෙනවා කියලා තිරණය කරලා නෑ කොහෙත්ම. මම ආසයි මේ කලාවට.”

රුක්ෂානා නිළියක් වුනත් සම්මානයකට පාත්‍ර වෙලා නෑ ඉතින් දුකක් නැද්ද ඔබට ඒ ගැන. “අනේ ඇත්තටම නෑ. මොකද මම 2017 යෞවන සම්මාන උළෙලේ හොදම නිළිය සම්මානය හිමි කරගන්නවා. 2018 සුමති සම්මාන උළෙලට මගේ නම නිර්දේශ වෙනවා. ඉතින් මට දුකක් නෑ. කාලයත් එක්ක ලැබෙන දේවල් මට ලැබෙයි.” කියලයි.