මම කැමැතියි මගේ වැරැදි හදාගන්න

TV දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ “චූටි මැණිකේ” ලෙසින් අප කා අතරත් ජනප්‍රිය අනුහස්ගේ ආදරය දිනාගන්න ආක්ෂා එක්ක සීතල සටනක ඉන්න නවක රංගන ශිල්පිනී ශලිනි ප්‍රනාන්දු සමඟිනුයි අද අපේ මේ කතා බහ.

ශලිනි කොහොමද රංගන ක්‍ෂේත්‍රයට එකතු වුණේ?

මම 2017 වසරේ දෙරණ අවුරුදු කුමරිය වුණා ඊට පස්සෙ දෙරණින්ම තමයි මට ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයට එකතු වෙන්න කියලා කතා කළේ. මම දෙවෙනි ඉනිමට එකතු වෙද්දීත් ඒ ටෙලිනාට්‍ය ගොඩක් ජනප්‍රියයි ඇත්තටම ඒක ගොඩක් සතුටු හිතුන අවස්තාවක්

ඔබ මේ ක්‍ෂේත්‍රයට ආවේ රංගනය පිළිබඳ හැදෑරීමක් කරලද?

ඇත්තටම නෑ, මම රංගනය පිළිබඳ හැදෑරීමක් නොකර තමයි ක්‍ෂේත්‍රයට ආවේ. ඉදිරියේදී රංගනය පිළිබඳ හරියට හදාරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ කියන්නේ දිගටම රංගන කටයුතුවල රැඳෙනවා කියන එකද?

ඉදිරිය කොහොම වෙයිද කියලා බලමු නේද..? අනාගතේ මොනවා වේවිද කියලා හරියටම කියන්න අපිට බෑ නේ

ඔබේ අනෙකුත් නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු.

ආරාධනා නම් ගොඩක් ලැබෙනවා ඒත් මම තාම ඉන්නෙ ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ විතරයි. මියුසික් වීඩියෝ දෙකකට සම්බන්ධ වුණා. ඒ ඔක්කොටම මට අවස්ථාව ලැබුණේ දෙරණ නිසා.

ශලනිට මේ වෙනකොට ක්‍ෂේත්‍රයේ තමන්ටම කියලා අනන්‍යතාවක් ගොඩනඟාගන්න හැකිවී තිබෙනවා කියා හිතනවද?

ඇත්තම කිවුවොත් තාම නැහැ. අනන්‍යතාව කියන එක කෙටි කාලයකින් හදාගන්න අමාරුයි. මම හිතන්නේ ඒකට ගොඩ කාලයක් යනවා කියල. කාලයත් එක්ක ඉදිරියේදී මටම කියලා අනන්‍යතාවක් ගොඩනැඟෙයි.

සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය සම්මානය සඳහා නිර්දේශිත නාමයන් අතරට එක්වෙන්නටත් ශාලනිට හැකි වුණා නේද මොකද හිතෙන්නේ ඒ ගැන?

ජනප්‍රිය නිළිය තෝරන අවසන් දහදෙනා අතර මම හිටියා. ඒකට මගේ කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය මේ වෙලාවෙ අනිවාර්යෙන් මතක් කරන්න ඕනෙ. මොකද මම රංගනය හදාරලා නෙවෙයි මෙතෙන්ට ආවේ. අපේ කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය නිසා තමයි ‘චූටි මැණිකේ’ කියන චරිතය ගොඩක් ජනප්‍රිය වුණේ. ඒ දේවල් නිසා ජනප්‍රිය නිළි ගොන්නට මගේ නමත් නිර්දේශ වුණා. මම ගොඩක් ආඩම්බර වෙනවා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ නම් එක්ක මගේ නමත් තිබුණු එක ගැන. ඒ නිසා සම්මානෙ ලැබුණේ නැතත් සම්මානය ලැබුණා හා සමාන ආඩම්බරයක් තියෙනවා. ඒ නිසා හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන,

රිදී තිරයට එන්න ආරාධනා ලැබුණාද?

චිත්‍රපට වලටත් ආරාධනා ගොඩක් ලැබුනා අධ්‍යාපන කටයුතු සහා දෙවෙනි ඉනිම ශුටින් නිසා ඒවත් පොඩ්ඩක් මඟහැරලා තියෙන්නෙ. මම ආස කරන හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යෙන්ම සම්බන්ධ වෙනවා.

ඔබට ස්තුති කරන්නත් යම් පිරිසක් ඇති?

දෙරණ නාළිකාවෙ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය වගේම දෙවැනි ඉනිම අධ්‍යක්ෂතුමා ඇතුළු සහෝදර ශිල්පීන්ට මම ස්තුතිවන්ත වෙනවා මට ලබාදුන් සහයෝගයට. ගොඩක් සුහද ශීලී පිරිසක් දෙරණේ ඉන්නේ ඒ වගේම මට ඉදිරියටත් සහයෝගය ලබා දෙන්න. මගේ අඩුපාඩු කියන්න. මොකද මම කැමැතියි මගේ වැරැදි හදාගෙන ඉදිරියට යන්න.