‘මගේ හීනෙට යන්න ඕන නිසා මම උසස්පෙළ කලේ නෑ’ ලංකාවේ ලාබාලම ගුවන් නියමුවරිය කියන කතාව

අවුරුදු 17 දී ගුවනේ දස්කම් පාන ඇය සත්නාරා ප්‍රනාන්දු.අද අපේ සොදුරු කතාබහ ඇය සමඟයි. පාසල් කාලයේ පටන් කවුරු වෙන්නද සත්නාරා කැමති වුනේ. “ඇත්තටම මම පුංචි කාලේ ඉදන් කැමති වුනේ ගුවන් නියමුවරියක් වෙන්න. පාසල් කාලේ ළමයි හැමෝම ඩොක්ටර්ස්ලා, ඉංජි⁣නේරුවෝ වෙනවා කියද්දි ගොඩක් අය මගේ හීනේට හිනා වුනා. සමහර ගුරුවරු පවා හිනා වුනා. ඒ හිනා වුන නිසාම මම හිතාගත්තා අනිවාර්යයෙන් දවසක මම මගේ හීනේට යනවා කියලා. මොකද එයාලා හිනා වුනේ පුංචි කාලේ ඉදන් මම දැකපු හීනේට නිසා.”

සත්නාරාට මේ හීනේට යන්න අම්මාගෙන් ලැබුන සහය කොහොමද? මොකද ඔබේ මවත් ගුවන් සේවිකාවක්. ”මට කවදාවත් මගේ හීනයට මගේ අම්මා වැටකඩොලු බැන්දේ නෑ. මොකද එයා කැමති වුනේ මම කැමති විදිහට ජිවිතේ ඉස්සරහට යනවට. ගොඩක් දෙමාපියෝ සාමාන්‍ය පෙළ කළාම උසස් පෙළ කරන්න ළමයින්ට බල කරනවා. මගේ අම්මා කවදාවත් මට එහෙම කලේ නෑ. එයා හැමදාම ම⁣ට මගේ හීනයට යන්න හයියක් වුනා. අභියෝග භාරගන්න කියලා දුන්නා.”

ඔබ ආව ගමන ගැන මතකය ආවර්ජනය කලොත්, “මම සාමාන්‍ය පෙළ විතරයි කලේ. මම උසස්පෙළ නොකරම මම සකුරායි පුද්ගලික ගුවන් පුහුණු පාසලට ඇතුළු වුනා. ඒ වෙද්දි මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවත් ඇවිත් තිබුනේ නෑ. 2021 මාර්තු 04 පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය මම ලබාගන්නවා. මේ වෙද්දි මම වාණිජ ගුවන් නියමු බලපත්‍රය ලබාගන්න උපාධිය හදාරනවා.”

ගැහැණු ළමයෙක් විදිහට ඔබ ආව ගමන ගැන ඔබට මොකද හිතන්නේ “මුලින්ම කියන්න තියෙන්නේ අභියෝගයක් ජයගන්න අධිෂ්ඨානය කැපවිම තියෙන්නම ඕනි. මම වුනත් බය නැතුව ඒ අභියෝගය භාරගත්තා. මොකද ගොඩක් අය කියන්නේ ගුවන් නියමුවරියක් වෙන්න පුළුවන් පිරිමි අයට විතරයි කියලා. හැබැයි මම අවුරුදු 17දි ඒ අභියෝගය ජයගත්තා. ම⁣ගේ ජිවිතේමේ හිනය ජයගන්න කැප්ටන් අනුෂා මොහොමඩ් කියන චරිතය හේතුවක් වුනා. මගේ අම්මා මට හයියක් වුනා. ඉතින් මේ ආව ගමන ගැන මට සතුටුයි.”

පුංචිම ගුවන් නියමුවරිය ඔබ අනෙක් කෙනෙකුට පවසන ආදර්ශය කුමක්ද අපි ඇහුවොත්, “තමන්ගේ ජිවිතේ හීනයකට වයස, තරාතිරම, ගැහැණු-පිරිමි භේදය කිසිම අදාලත්වයක් නෑ. මොකද උනන්දුව කැපවිම තියෙනවනම් අනිවාර්යයෙන් ඒ හීනය ජයගන්න ඕනිම කෙනෙකුට හැකියාව තියෙනවා.” කියලයි ඉතින් මේ වනවිට ලංකාවේ ලාබාලම ගුවන් නියමු වරිය වුන සත්නාරා ප්‍රනාන්දුගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.