මගේ පළමු පෙම්වතියට තවමත් මම ගොඩක් ආදරෙයි – ලහිරු පෙරේරා

ලහිරු පෙරේරා කියලා ගායකයෙක් ඉන්නවා කියලා ඔබ අප හැමෝම අඳුරගත්තේ “රම්බරි” ගීතයෙන්. ඔහොම ටික කාලයක් යද්දී ලහිරු පෙරේරා ලා සිඤ්ඤොරේ වුණා. ආපහු වැඩි සද්දයක් බද්දයක්‌ නැතුව කාලයක් ගියා. එහෙම ටික කාලයක් නිශ්ෂබ්ද වෙලා හිටපු ලහිරු එක්ක අපිට ටිකක් කතා කරන්න හිතුනා, ඉතින් අද අපේ කතා බහ ලහිරු පෙරේරා එක්ක

ලහිරු පෙරේරා මේ දවස්වල මොනවද කරන්නේ? මම කරන්න හිටපු ප්ලෑන් ගොඩාක් මේ රටේ තත්ත්වෙත් එක්ක වෙනස් වුණා. සිංදු කිහිපයක් වගේම ප්‍රසංග ගිහිපයක්ම කරන්න තිබුණා. ඒවා ඔක්කොම පොස්පොන්ඩ් කළා. ඒනිසා මගේ පුතාලා තුන්දෙනයි, බිරිඳයි එක්ක ඉන්න ලැබෙන කාලයත් මේ දවස්වල වැඩිවුණා.

එතකොට ලහිරු ජීවිතේ පටන් ගත්තේ කොතැනින්ද? ජීවිතේ පටන් ගන්නේ ගම්පහින්. මම පවුලේ බාලම දරුවා. මට අක්කා කෙනෙක් ඉන්නවා. මම යමක් කමක් තේරෙන වයසේ ඉඳන් ජීවිතේ තේරැම් ගන්න ගොඩක් උත්සාහ කළා. අනාගතය ගැන හිතත්දී මම සෑහෙන්න වෙනස් දේවල් කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා මට කීයටවත් සාමාන්‍ය විදිහට ජීවත්වෙන්න බැහැ.

එතකොට ගායකයෙකු වීමත් ලහිරු පුංචි කාලේ ඉඳන් දැකපු හීනයක් හැබෑවීමක්ද?
ඇත්තෙන්ම ඔව් මේක උසස් පෙළ පන්තියේදී දැකපු හීනයක් මම මුලින්ම ඉගෙන ගත්තේ ගම්පහ ශ්‍රීබෝධි විදුහලේ ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ පාසැලෙත් මම සාමාන්‍ය පෙළ විභාගයට සංගීතය හදාරුවා. හැබැයි මම උසස්පෙළට කළේ ගණිත විෂය.

ගණිත විෂය හැදෑරුවත් ලහිරුගේ වැඩි කැමැත්ත තිබෙන්න ඇත්තේ සංගීතයට නේද?
සත්තකින්ම මගේ අක්කා සාමාන්‍ය පෙළ සමත්වුණ නිසා ගෙදරින් අක්කට කී බෝඩ් එකක් අරගෙන දුන්නා. හැබැයි ඒ කී බෝඩ් එක වැඩියෙන්ම පාවිච්චි කළේ මම. ඒක ලංකාවට ආව දවසේ ඉඳන් මමයි ඒක ගැහුවේ. ඒක ගහන්න පටන් ගත්ත දවසේ ඉඳන් මට මගේම සිංදුවක් කරන්න ලොකු ආසාවක් ඇතිවුණා ඒ ආසාව තමයි මම මෙච්චර දුර ගෙනාවේ

ලහිරුගේ ප්‍රථම ප්‍රේමය ගැනත් කියමුද පොඩ්ඩක්..?
මගේ ප්‍රථම ප්‍රේමයම තමයි අදටත් එකම ප්‍රේමය වෙලා තියෙන්නේ. මොකද මගේ ප්‍රථම ප්‍රේමය තමයි මම කසාද බැන්දේ. ඇයගේ නම නීපමා සල්මලී කීර්තිරත්න. උපි උසස්පෙළ පන්තියේදී තමයි යාළුවෙලා ආදරේ කලේ. 2011 වර්ෂයේදී දී අපි විවාහ වුණා. එයාගෙන් මට ලොකු දහයෝගයක් ලැබෙනවා. ඒ හේතුව නිසාම තමයි මම හරිම නිදහසේ මගේ වැඩේ කරගෙන ඉන්නේ. අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. කාටවත් යටත් නොවී, මාත් එක්ක ඉන්න අයත් මට යටත් නොවී මේ ජීවිත ගමන මම යනවා

ලහිරු කියන්නේ ගොඩක් වෙනස් විලාසිතා කරන කෙනෙක්. ඒක පටන් ගත්තේ කොයි කාලේදිද?
ෆැෂන් කරන්න මම පට්ටම ආසයි. මම ක්ෂේත්‍රයට එන්නෙත් රම්බරී ගීතයෙන්නේ. ඒකත් එක්තරා විකාර විලාසිතාවක්. මම වේදිකාවේ ඉන්න විදියයි මෙහෙම කතා කරන විදියයි, ගෙදර ඉන්න විදියයි, වැඩ කරන විදියයි ටිකක් සමානයි. මාගේ ජීවිතේ මවාගත්තු අමුතු චරිත නැහැ. මේ ජීවිත විවෘත වීම සමහරු වෙනස් විදිහටත් මනිනවා. විලාසිතා ගත්තත් මට ඕන දෙයක් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ මගේ හැටි. ඒක නිසාම මම හරි නිදහස්.