පුබුදු අයියා නිසා තමයි මම අද මේ වගේ තැනක ඉන්නේ – මාෂි සිරිවර්ධන

කුඩා වයසේ සිටම්ම වෙළෙඳ දැන්වීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූ ඇය අදවන විට රටක් ආදරය රසකරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්ව සිටිනවා. වරෙක ඇය ඇති දක්ෂ නිරූපණ ශිල්පිනියක් ලෙසත් තවත් වරෙක ඇය රූප රාජිනියක් ලෙසත්, ලාංකීය රසික හදවත් පැහැරගනු ලැබුවා. “ද නිවුස්පේපර්” චිත්‍ර පටය හරහා රිදී තිරයෙන් අපට හමු වූ ඇය නමින් මාෂි සිරිවර්ධන

මාෂි ඔයාගේ 25 වැනි උපන්දින සාදය පසුගිය දිනවල පැවැත්වුනා, ඒ අත්දැකීම පිළිබඳව පොඩ්ඩක් විස්තර කරමුද?

මම කලින් වතාවලදී වගේ මේ වතාවෙත් ළමා නිවාසයක නැත්නම් වැඩිහිටි නිවාසයක හරි පිළිකා රෝහලකදී අපට ගොඩක් හිතවත්ම කලාකරුවන් කිහිපදෙනකු සහභාගි කරගෙන පින්කමක් කරලා උපන් දිනය චාම්ව සමරන්න තමයි සැලසුම් කරලා තිබුණේ. කොරෝ-නා නිසා ඒ වැඩ සේරම වෙනස් වුණා.

දවස් තුනක් වගේ ගොඩාක් පුංචි කාලයක් ඇතුළතදී පුබුදු අයියා මටත් හොරෙන් මාව සප්‍රයිස් කරවන්න ලස්සන උපන්දින සාදයක් ප්ලෑන් කරලා. එයාත් ගොඩක් බිසී නිසා ඇත්තටම මේ පාර උපන්දිනය සමරන්න ඕනි කියලා මගේ හිතේ පොඩි අදහසක් වත් තිබුණේ නැ. හැබැයි පුබුදු අයියා සහ අපේ ගෙදර අය එක්ක Auslanka Delivery ආයතනයේ සහයෝගය ඇතිව ගෙදර ලස්සනට සරසලා ලස්සනම ලස්සන කේක් නිර්මාණ කිහිපයකුත් කරලා තිබුණා. ඇත්තටම ඒක නිසා මම ගොඩාක් සප්‍රයිස් වුණා. එදා මට ගොඩාක් සතුටු දවසක්

ඔබ මේ කළා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණු ආකාරය පිළිබඳව පොඩ්ඩක් මතක් කරමුද?

මම අවුරුදු 15-16 විතර පොඩි වයසේ ඉඳලම විවිධ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ 2016 වසරේ ITN නාලිකාවේ අවුරුදු කුමරිය බවට පත් වුණා. 2017 වර්ෂයේදී NSBN අවුරුදු කුමරිය හරහාත්ගොඩක් අය මාව හඳුනා ගත්තා. 2016 ITN අවුරුදු කුමරිය උනාට පස්සේ පුබුදු චතුරංගගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදියට මාව හැමෝම අතරේ ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් පුබුදු අයියා නිසා ඇති වූ ජනප්‍රියත්වයත් සමඟ මේ ක්‍ෂේත්‍රය තුළ විවිධ නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න මට ලොකු අවස්ථාවක් ලැබුනා

මාෂි ලගදී අලුත් වැඩක් පටන් ගත්තා නේද?

ඔව් ඔව්. ඇත්තටම මේ වැඩේ පුබුදු අයියාගේ අදහසකට අනුව තමයි පටන් ගත්තේ. පසුගිය දවස්වල ගෙදරට වෙලා ඉන්න කොට අපි දෙන්නා එක එක වර්ගයේ කෑම ජාති ගොඩාක් හැදුවා. පස්සේ පුබුදු අයියා කිව්වා අපි මේ රස අපේ රසිකයෝ එක්කත් බෙදාගමු කියලා. මගේ තාත්තාත් ඉන්නේ ඉතාලියේ. ඒ නිසා ඉතාලියානු කෑමවල රස මම හොඳට හඳුනනවා. මෙහේ ඉතාලියානු කෑම මිලදී ගන්නත් හොඳ තැනක් නැහැනේ. ඉතින් අපි කැෆේ මාෂි පටන් ගත්තේ විශේෂයෙන්ම ඉතාලියානු කෑම වර්ග මුල්කරගෙන

පුබුදු සමග ගතකරන විවාහ ජීවිතය ගැනත් පොඩ්ඩක් කතා කරමු නේද..?

ගොඩාක් සතුටින් කාලය ගත කරනවා. දැන් මට මගේ පවුලට අමතරව තවත් පවුලකින් ආදරය ලැබෙනවා. මම ආදරය කරන්න සහ ආදරය ලබන්න ගොඩක් කැමැති කෙනෙක්. ඉතින් පුබුදු අයියාගෙන් මට අවශ්‍ය ආදරය, රැකවරණය, ආරක්ෂාව සහ සහයෝගය කියන මේ සියලු දේවල් නොඅඩුවම ලැබෙනවා. ඇත්තටම පුබුදු අයියා ගොඩාක් හොඳ ස්වාමිපුරුෂයෙක්

පුබුදු – මාෂි කැදැල්ලට ළඟදීම අලුත් සාමාජිකයෙක් එකතුකර ගන්න අදහසක් නැද්ද?

ඇත්තටම පවුල් දෙකේම අය ඔය ප්‍රශ්නය අපි දෙන්නගෙන්ම අහනවා. නමුත් තව ටික කාලයක් මේ විධියටම ජීවිතය ගත කරන්න අපි දෙන්නම කැමැතියි. මවු පදවිය වැනි උතුම් පදවියක් දරන්න එම වගකීම සඳහා හොඳින් සූදානම් වීමට තව ටික කාලයක් අවශ්‍යයි කියලා අපි හිතුවා. භාරගත්තු වැඩ කටයුතු පිළිවෙළකට අවසන් කරලා නිසි සැලසුමකට අනුව අනාගතය ප්ලෑන් කරන්න තමයි අපි දෙන්නම හිතාගෙන ඉන්නේ.