ප්‍රීතිමත් යුග දිවියක් ගතකරන්න රාත්‍රී නින්දට පෙර මේ දේවල් 10 කරන්න

සාර්ථක විවාහ ජීවිතයක් සඳහා එකිනෙකා සමඟ ගත කරන කාලය ඉතාමත් වැදගත් වේ.එහි ප්‍රමාණාත්මක බවට වඩා ඔබ දෙදෙනා එක්ව ගත කරන කාලයේ ගුණාත්මක බවයි ඔබේ සබඳතාව වඩාත් ශක්තිමත් කරවන්නේ. එකිනෙකා සමඟ දවස ගත වූ ආකාරය ගැන කතාබහ කරමින් විනෝදයෙන් සහා සැහැල්ලුවෙන් ගත කරන කාලය පැය ගණනක් ද නැතිනම් මිනිත්තු කිහිපයක් ද යන්න වැදගත් නැත. ඒ මොහොතේ ඔබ දෙදෙනා එකිනෙකා කෙරෙහි දක්වන ආදරය සහා සෙනෙහස තුලින් ඇතිවන මානසික තෘප්තිය සහා සුරක්ෂිත හැඟීමට වඩා වැදගත් වන වෙනත් කිසිවක් නොමැති තරම්ය. රාත්‍රී නින්දට පෙර ඔබේ සැමියා/ බිරිඳ සමඟ සතුටින් කාලය ගත කිරීමට ඔබ විසින් අනුගමනය කල යුතු වැදගත් දේවල් කිහිපයක් ඇත. මනෝවිද්‍යාඥවරුන් විසින් නිර්දේශ කරනු ලබන සාර්ථක යුග ජීවිතයක් ගත කිරීම සඳහා ඉවහල් වන උපදෙස් 10 ක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ.

01. ඔබේ දුරකථනය ක්‍රියා විරහිත කර හෝ silent කර පැත්තකින් තබන්න.

දුරකථනය භාවිතයට ඇබ්බැහි වීම යුග දිවියේ සතුටට බාධාවකි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වීම නිසා ගෙදර අය සමඟවත් කතාබහ කිරීමට කාලයක් හෝ උනන්දුවක් බොහෝ දෙනෙකුට නැතිවි ගොස් තිබෙන ආකාරය දැකිය හැකියි. මනෝවිද්‍යාඥයින් විසින් දක්වන ආකාරයට දුරකථනයට ඇබ්බැහිවී සිටීම නිසා සිරුරේ ඔක්සිටොක්සින් නිෂ්පාදනය උදාසීන වී යන බවයි. ඔක්සිටොක්සින් යනු එකිනෙකා කෙරෙහි බැඳියාව සහා හැඟීම ඇතිවීම කෙරෙහි බලපාන හෝර්මෝනයකි. එකිනෙකා කෙරෙහි ඇති ආදරය, සෙනෙහස සහා බැඳීම වර්ධනය කරගැනීම මිසක් එයට බාධා ඇතිකරගතයුතු නැහැ නේද? එහෙනම්, ඔබේ දුරකථනය රාත්‍රී 9 න් පස්සේ ක්‍රියා විරහිථ කර පැත්තකටම දමන්න.

02. වැඩ අමතක කරලා දාන්න!

ඇඳට ගිය පසු ‍රැකියාවේ වැඩ ගැන හිතන්න එපා. ඒ කාලයේදි සිරුරට විවේකය ලබාදෙන්න. එය හෙට දවසේ ඔබේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට වඩාත් වැදගත්ය. දෛනික ජීවිතයේ ඔබ මුහුණ දුන් ගැටලු, අභියෝග සහා අත්දැකීම් ගැන ඔබේ සහකරු/සහකාරිය සමඟ පැවසීමෙන් ඔබට වඩාත් හොඳ සැහැල්ලුබවක් දැනේවි. හැබැයි, ‍රැකියාවේ දේවල් ගැන කතා නොකරන තරමට හොඳයි. විශේෂයෙන්ම මුදල් ගැටලු හෝ වෙනත් හිත කරදර වන ආකාරයේ මාතෘකා ගැන නින්දට කලින් කතා නොකරන තරමට යහපත් වේවි.

03. දෙදෙනාම එකට නින්දට යන්න.

දෙදෙනා වෙනම හෝ වෙනස් වේලාවන්වල ඇඳට යාම ඔබේ සම්බන්ධතාවයට හිතකර යැයි සිතිය නොහැකියි. එමඟින් ඔබ නොසිතන ආකාරයේ ගැටලු ඔබට අනාගතයේදි මතුවීමට ඉඩ තිබේ. එවැනි සහකරුවන් සහකාරියන් අතර නිතර අඬදබර ඇතිවීම, වාචික ගැ‍ටුම් ඇතිවීම සහා එකිනෙකා සමඟ කාලය ගත නොකරමින් බොහෝ විට එකිනෙකා මඟහැරීම වැනි ගැටලු මතුවෙනු දැකිය හැකියි. එය ඔවුන්ගේ ලිංගික ජීවිතයටත් බලපානු ඇත.  වෙන් වෙන්ව නින්දට යන යුවල වල් අතර ලිංගික සක්‍රීයතාව අවම වේ. ඔවුන් අතර සමීප බවක් සහා අන්තර්සම්බන්ධතාවක් නොමැති වීම නිසා ඉක්මනින් විවාහය අවසන් කිරිමට මොවුන් පෙලඹේ. එකිනෙකා වෙනුවෙන් කාලය වැය කිරීම කොතරම් වැදගත් ද යන වග ඔබට මින් වැටහෙනවා ඇත.ඔබේ සම්බන්ධතාවය තුල ඔබ හුදකලා නොවීමට නම් එකිනෙකා කෙරෙහි සමීප බව පවත්වා ගැනීම වැදගත්ය.දෙදෙනාම එකවර නින්දට යාම එවැනි හිතකර පුරුද්දකි.

04. දෛනික කාල සටහනක් අනුගමනය කරන්න.

දිනපතාම එකම කාලවේලාවක නින්දට යෑම පුරුද්දක් කරගන්න. කාලයත් සමඟ ඔබේ මොලය ඊට හුරු වී නිදාගන්නා කාලය ලංවන විට ඔබේ සිරුර සහා මනස ඊට වඩාත් හොඳින් සූදානම් කරවයි. හැබැයි, මෙසේ එකම වේලාවක නින්දට යාම ඔබ දෙදෙනාම විසින් සිදුකල යුතුයි. එමඟින් ඔබ දෙදෙනා අතර අන්‍යෝන්‍ය සබඳතාව සහා විශ්වාසය ශක්තිමත් වේවි.

05. Heart-to Heart සංවාදයක් ඇතිකරගන්න.

  • එකිනෙකාගේ හැඟීම් වලට හොඳ අවධානයක් යොමුකරන්න. ගැටලු හෝ අභියෝග සඳහා ක්ෂණික හෝ ඉක්මන් විසඳුම් සෙවීමට සිත කලබල කර නොගත යුතුයි.ඇතැම් විට වඩාත් ඉවසීමෙන් එකිනෙකාට ඇහුම්කන් දීමම පමණක් ප්‍රමාණවත් විසඳුමක් විය හැකියි. පීඩාවට පත්ව සිටින ඕනෑම කෙනෙකුට පළමුව අවශ්‍ය වන්නේ සෙනෙහස ,කරුණාව සහා සහයෝගයයි.
  • මනෝවිද්‍යාඥයින් පවසන ආකාරයට ඔබේ සහකරු/ සහකාරිය හට ධනාත්මක හැඟීම් ප්‍රකාශ කරන්න. එය ඔහු/ඇය වෙනුවෙන් ඔබේ ඇති ආදරය , සෙනෙහස හෝ අවධානය ගැන විය හැකියි. මෙමඟින් එකිනෙකා ගැන ඇති ආකර්ෂණය වැඩිවන බවත් දවස අවසානයේ තෘප්තිමත් බවක් දැනිමටත් හේතුවක් වන බව ඔවුන්ගේ අදහසයි. ඔබ දෙදෙනාගේම මනෝභාවයන් යහපත් වීමටත් එය බලපානු ලබයි.
  • එදිනෙදා ඔබ මුහුණ දුන් සිදුවීම් ,ගැටලු වැනි මතකයන් නිවසට ඇතුල් වීමට පෙර මතක කිරීමට උත්සාහ කිරීම වටියි. විශේෂයෙන්ම රාත්‍රි නින්දට යන විට ඒවා ආවර්ජණය කිරීම ඔබේ යුග දිවියේ පැවැත්මට හිතකර වන්නේ නැත. එවැනි දේවල් වලට වඩා ඔබේ සහකරු/සහකාරිය සමඟ සතුටින් සැහැල්ල්ලුවෙන් කතාබහක යෙදීම වඩාත් උචිතය. ඔබේ හැඟීම් එකෙනෙකා වෙත ප්‍රකාශ කිරීමේදී අවංකව හැඟීමකින් එසේ සිදුකිරීම ඔබේ යුග දිවියේ පැවැත්මට යහපත් වේවි

06. වාද විවාද හෝ ගැ‍ටුම් ඇතිවන මාතෘකා ගැන සංවාද ඇති කර නොගතයුතුයි.

නින්දට පෙර ගැ‍ටුම් හා වචන හරඹ ඇති වන ආකාරයේ මාතෘකා ගැන කතා කිරීම සුදුසු නැත. රාත්‍රී නින්දට යන අවස්ථාවේ ගැටලු වලට පිලිතුරු සෙවීම හෝ ඒවා නිරාකරණය කිරීමට උත්සාහ කිරීම කිසිසේත්ම උචිත ක්‍රියාවක් නොවේ. එවැනි ගැ‍ටුම් වලින් සිදුවන්නේ ආතතියට පත්වී දෙදෙනාටම විවේකී සුවබර නින්දක් ලබාගත නොහැකිවියාමයි. පසුදා උදෑසන වඩාත් තෙහෙට්‍ටු බවක් ඔබ තුලින් දිස්විමටත් එය හේතුවක් වේ.

07. ඔබේ නිදන ඇඳේ දරුවන් නිදිකරවා ගැනිම ගැන දෙවරක් සිතන්න.

බටහිර රටවල දරුවන් කුඩා කාලයේදීම වෙනත් කාමර වල නිදිකරවීම සිදුකරයි. මනෝවිද්‍යාඥයින් නම් පවසන්නේ දරුවන් ඔබ දෙදෙනා අසල නිදිකරවා ගත යුත්තේ ඔවුන් සිහිනෙන් බියට පත් වූ අවස්ථාවක පමණක් බවයි. කුඩා දරුවන් හැර වැඩිමහල් දරුවන් වෙනත් කාමර වල නිදිකරවීම සුදුසුයි. එමඟින් ඔබ දෙදෙනාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වේ

08. සුරතලුන් ඇඳේ නිදිකරවන්න එපා!

කැන්සාස් විශ්වවිද්‍යාලය මඟින් සිදුකල සමීක්ෂණයකින් හෙලි වි තිබුණේ සුරතල් සතුන් සමඟින් නිදාගන්නා පුද්ගලයින් අතුරින් 63% කටම ප්‍රමාණවත් නින්දක් නොලැබීම වැනි නින්ද ආශ්‍රිත ගැටලු මතු වි තිබුනු බවයි. ඔබේ සුරතලුන්ට එක දිගටම නිදාගත නොහැකියි. ඔවුන් විටින් විට ඇහැරීම, විවිධ ශබ්ද ඇතිකිරීම නිසා ඔබේ නින්දටත් බාධා ඇතිවිය හැකියි.

09. එකිනෙකා සඳහා සම්බාහන සත්කාරයක් හුවමාරු කරගන්න.

සම්බාහන සත්කාර ඔබේ මනා සෞඛ්‍ය පැවැත්මට බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතර ඔබේ ආතතීන් සහා පීඩනයන් දුරුකිරීමටත් ඉවහල් වේ. සතියකට දෙවරක් හෝ එකිනෙකා වෙනුවෙන් මිනිත්තු 15 ක් පමණ වැය කරමින් සම්බාහන සත්කාර හුවමාරු කරගන්න. එය ඔබේ මානසික සෞඛ්‍ය පැවැත්ම සහා කායික සුවතාවට බොහෝ ඵලදායී වන ක්‍රියාකාරකමකි. එකිනෙකා සමඟ ගුණාත්මක කාලයක් ගතකිරීමට අවස්ථාව ලැබීම ද මෙහිදි ඔබට ලැබෙන තවත් වැදගත් ප්‍රයෝජනයකි.

10. වැලඳගැනීම් සහා සිපගැනීම්

නින්දට පෙර එකිනෙකාව සිප වැලඳගැනීම මඟින් ආදරය සහා බැඳිම වැඩිවේ. එය ධනාත්මක චිත්තවේග ඇතිකිරීම සිදුකරන අතර ඔබ දෙදෙනාටම වඩාත් හොඳ සැහැල්ලු බවක් දැනෙනු ඇත. නිදාගන්නා විටදී ද එකිනෙකා තුරුලු කරගෙන නින්දට යාම පුරුද්දක් කරගැනීමෙන් ඔබේ යුග දිවිය ගැටලු වලින් තොර ආදරණීය එකක් වනු ඇති බවයි මනෝවිද්‍යාඥයින්ගේ අදහස වන්නේ.