නිවස පිරිසිදු කිරීමේදී මෙන්න මේ වැරදි 10 සිදු කරන්න එපා

ගේ දොර පිරිසිදු කිරීම් කටයුතු සඳහා බොහෝ කාලයක් වැය කරමින් අප විසින් භාවිතා කරන ඇතැම් ක්‍රම ඇත්තෙන්ම ප්‍රයෝජන රහිතයි. ඒ වගේම ඇතැම් මෙවලම් හා උපකරණ වැරදි ලෙස භාවිතා කිරීම නිසා පහසුවෙන් සිදුකර ගැනීමට හැකි බොහෝ දේවල් අප විසින්ම සංකීර්ණ කරගෙන තිබෙනවා. ඇතැම් පිරිසිදු කිරීම් ක්‍රම බරපතල සනීපාරක්ෂක ගැටලු පවා මතු කිරීමට ඉඩ ඇති තරම් අවදානම් ඒවායි. මේ ආකාරයෙන් ගේ දොර කටයුතු වලදී නොදැනුවත් කම නිසා සිදුකරනු ලබන අත්වැරදී නිසා සැපපහසුවෙන් ගත කිරීමට ඇති කාලය නිකරුණේ නාස්ති වී යාම සිදුවෙනවා. එදිනෙදා ජිවිතයේදී පහත දක්වා ඇති වැරදි ඔබත් සිදුකරනවා නම්, දක්වා ඇති උපදෙස් අනුව කටයුතු කරමින් ඔබේ අත්වැරදීම් නිවැරදි කරගන්න කියා අප ඔබට මතක් කරනවා.

1. දොරවල් සඳහා ප්ලාස්ටික් අගුල් සවිකර තිබීම

වර්තමානයේ, විවිධ මාදිලියේ කැටයම් හා පින්තාරු සහිත අලංකාර දොර අගුල් සහා හැඬල වෙළඳපොලේ දැකිය හැකියි. එක් එක් පුද්ගලයාගේ කැමත්ත අනුව ඒවා ‍තෝරාගෙන මිලදී ගැනීමට තරම් වර්ග ‍රැසක් හඳුන්වා දී තිබෙනවා. නමුත්, ‘doorknobs’ නැතිනම් දොර අගුල් බෝල ‍තෝරාගැනීමේදී ඒවා සාදා ඇති අමුද්‍රව්‍ය සනීපාරක්ෂාව කෙරෙහි ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම පිත්තල වලින් සෑදූ දොර අගුල් වඩාත් ආරක්ෂිත බව නිර්දේශ කර ඇත. ඊට හේතුව නම් එම ලෝහය ස්වභාවික විෂබීජ නාශක ධාරිතාවක් පැවතීමයි. එනම් පිත්තල මඟින් බැක්ටීරියා සහා වෛරසයන් විනාශ කරදැමීම සිදුකරයි. මීට සාපේක්ෂව වෙලඳපොලේ ඇති මල නොබැ‍ඳෙන වානේ සහා ප්ලාස්ටික් වලින් සෑදු දොර අගුල් බැක්ටීරියාවන් සඳහා හොඳ වාසස්ථාන සපයන බව සොයාගෙන ඇත. එබැවින් ,අගුල් මිලදී ගැනීමේදී මේවාට වඩා පිත්තල වලින් නිර්මිත ඒවා ‍තෝරාගැනීමට කටයුතු කරන්න.

2. හිරු රශ්මිය අධික දිනවලදී ජනෙල් සෝදා පිරිසිදු කිරිම

ජනෙල් සෝදා පිරිසිදු කිරීම ඒවායේ පිරිසිදු කම පවත්වාගැනීමට ඉතා වැදගත් වුවත් අධික හිරු රශ්මියක් ඇති දිනවලදි එසේ සිදුකිරීම නුවණට හුරු දෙයක් නොවේ. ඒ සඳහා අඳුරු හෝ වළාකුළු වලින් බර දින යොදාගැනීම සිදුකල හැකියි. අධික හිරු රශ්මියක් තිබෙන දිනයක ජනෙල් සේදීමේදී වීදුරුව ඉක්මනින් වියළී ගෝස් පැල්ලම් ලෙස ඉතිරි වීම සිදුවේ. එම නිසා ඔබේ උත්සාහය මෙන්ම කාලය ද නාස්ති වීම සිදුවිය හැකියි.

3. වැසිකිළි කඩදාසි රෝල උඩු අතට නොව යටි අතට තබාතිබීම

මෙය මතභේදාත්මක කතාබහක් බවටත් පත් වී තිබෙනවා. නමුත්, අද්‍යනයකින් හෙලි වී තිබුණේ බොහෝ භාවිත කරන්නන් එය උඩු අතට (over position) තබාතිබීම පහසුවක් සේ සලකන බවයි. කෙසේවෙතත්, වැසිකිළි කඩදාසි නිර්මාණකරු මේ සම්බන්ධයෙන් මුල පටන්ම නිර්දේෂ කර ඇත්තේ සැම විටම කඩදාසි රෝල පහළ අතට (under position) තැබිමෙන් පහසුවෙන් භාවිතා කල හැකි බවයි. නමුත්, මෙහි ඇති ප්‍රායෝගික වැදගත්කම මෙසේය. වැසිකිළි භාවිතයේදී ඔබ පිරිසිදු කරගැනීමේ කාර්ය සඳහා අසල ඇති කඩදාසි රෝල වෙත අත යැවීම සිදුකරන විට ඒ අවට බිත්ති ස්පර්ෂ වීම සිදුවේ. පිරිසිදු කරගැනීමේ කාර්ය සඳහා ඔබ භාවිතා කරන්නේ ඒ අත නිසා එය සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් විය හැක. නමුත්, රෝල උඩු අතට තබා තිබීමෙන් එම කඩදාසි හෝ අපේ අත් හෝ අසල බිත්තියේ ස්පර්ෂ වීම සිදු නොවේ. වැසිකිළි කැසිකිළි භාවිතයේදී බැක්ටීරියා පැතිරීමට මිනිස් අපද්‍රව්‍ය ප්‍රබල හේතුවක් වන බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වීම ඉතා වැදගත්ය.

4. නිවසට ඇතුල් වී පාවහන් ඉවත් කිරීම

බොහෝ රටවල නිවසකට ඇතුල් වීමට පෙර පාවහන් ගලවා ඉවත් කර ඇතුලු වීම සිදු කෙරේ. ජපානයේ වැසිකිළි සඳහා ඔවුන් විසින් වෙනම භාවිතා කරන සෙරෙප්පු වර්ගයක් පවා භාවිතයේ ඇත. පාවහන් ගැලවීම හා වෙනස් කිරීම යන ක්‍රියාකාරකම් වල ප්‍රධානතම අරමුණ වන්නේ සනීපාරක්ෂාවයි. නිවසකට ඇතුල් වීමේදී පාවහන් ගලවා ඇතුල් වීමෙන් කුණු දූවිලි සහා මඩ වලින් නිවස ඇතුලත පොලොව සහා පාපිස්නා කිලිටි වීම වැළැක්වේ. එමෙන්ම ඔබේ පාවහන් වල අඩිය හානිකර සහා වේගයෙන් පැතිරෙන බැක්ටීරියා වර්ධනය වීමට හැකි හොඳ ස්ථානයක් ලෙස හඳුනාගැනේ. නිවස තුලට අහිතකර බැක්ටිරියා, වෛරස ඇතුලු රෝග කාරක විෂ බීජ ඇතුල් නොවීමට නම් හැකිතාක් පාවහන් එලිමහනේ ගලවා ඇතුල් වන්න. විශේෂයෙන්ම ඔබේ නිවසේ කුඩා දරුවන් සිටියි නම්, මේ කෙරෙහි වඩාත් සැලකිලිමත් වීම වැදගත්.

5. වැකියුම් කිරීමෙන් පසු දූවිලි ගැසීම

වැකියුම් කරගත් පසු නැවත දූවිලි ගසා පිරිසිදු කිරීම මඟින් හොඳ නිමාවකින් යුත් පිරිසිදු කිරීමක් සිදුකරගත හැකියි කියා ඔබත් සිතනවා ඇති.නමුත්, නිවැරදි ක්‍රමයට අනුව වැකියුම් උපකරණය භාවිතා කිරීමට පෙර නිවසේ දූවිලි ගසා කාමර අස්පස් කිරීම සිදුකල යුතු බව සඳහන් වේ. එමඟින් ඉවත් වූ කුණු දූවිලි පහසුවෙන් එක්වර වැකියුම් යත්‍රයෙන් පිරිසිදු කරගත හැකි වීම වාසියකි. දූවිලි ගැසීමේදී ඉහළ මතුපිටක සිට පහළ මතුපිටවල් දක්වා ක්‍රමයෙන් පිරිසිදු කිරීම නිවැරදි ක්‍රමයයි. මේ හරහා විශාල ලෙස කුණු දූවිලි ‍රැඳුණු තැන් පළමුවෙන් පිරිසිදුකරගත හැකිවන අතර අවසානයේ සියල්ල එකවැර වැකියුම් යන්ත්‍රයෙන් පිරිසිදු කරගෙන යාමට හැකි නිසා ඔබට වඩාත් පහසුවක් වනු ඇත.

6. වැකියුම් බුරුසුව එක් දිශාවකට චලනය කිරීම

වැකියුම් යන්ත්‍රක් භාවිතා කිරීමේදී සිදුකරනු ලබන වැරදි දෙකක් වේ. එනම් එය එක් දිශාවකට පමණක් චලනය කරවීම හෝ වේගයෙන් ඉදිරියට හා පි‍ටුපසට ගමන් කරවීමයි. නමුත්, මේ ක්‍රම දෙකෙන්ම හොඳ පිරිසිදු කරගැනීමක් සිදුකරගත නොහැකිය. නිවැරදි ක්‍රමය නම් පේළි ආකාරයෙන් දෙපැත්තටම වැකියුම් කරගැනීමයි. පළමුව, බුරුසුව ඉදිරියට ගමන් කරවමින් පේළිය අවසානය දක්වා ගමන් කරවන්න. එහිදී කාපට් එක ගසමින් නැවත එම පේළිය ඔස්සේ පි‍ටුපසට බුරුසුව ගෙන එමින් ඉතිරි කුණු දූවිලි එක් ‍රැස් කරගන්න. මේ ආකාරයෙන් පහසුවෙන් සහා කාර්යක්ෂමව කාමරය පිරිසිදු කරගත හැකිවේ.

7. අධික හිරු රශ්මියක් ඇති දින වලදී ජනෙල් තිර රෙදි විවෘතව තැබීම

නිවස තුලට හිරු ආලෝකය ලැබීම නිවසට හොඳ එලියක් සහා ප්‍රසන්න බවක් එක්කරයි. නමුත්, එහිදී යම් අවාසියක් ද ඇති වීමට ඉඩ ඇත. එනම් අහිතකර පාරජම්බුල කිරණ සහා දෘෂ්ටි ආලෝකය නිසා ඔබේ නිවසේ ඇති කාපට්, ගෘහභාණ්ඩ සහා බිත්ති සැරසිලි ආදියේ පෙනුම ක්‍රමයෙන් වෙනස් වී යාම (fading), ඒවායේ දීප්තිමත් බව හා වර්ණය වෙනස් වීම සිදුවිය හැක. එබැවින් ඔබේ නිවසේ සෝෆා සහා පු‍ටු වර්ග ආදු සෙසු ගෘහභාණ්ඩ හැකිතාක් සාලයේ හෙවණ සහිත තැන් වල ස්ථානගත කිරීමට කටයුතු කරන්න. ගෘහභාණ්ඩ වෙනස් නොකර ආරක්ෂා කරගැනීමට ජනෙල් සඳහා ‘බ්ලයින්ඩ්ස්’ තිර හෝ ‘කර්ට්න්’ තිර වර්ග භාවිතා කල හැකියි. ඒ අනුව අධික උණුසුම් දිනවලදී කාමර සහා සාලය තුලට හිරු එළිය නොවැටෙන සේ ජනෙල් ආවරණය කිරීම සිදුකල හැකියි. ගුණාත්මක තිරරෙදි මඟින් 99.9% ක් පමණ පාරජම්බුල කිරණ පරාවර්තනය කරනු ලබමින් ගෘහභාණ්ඩ වල පැහැය ආරක්ෂා කරගැනීමට උපකාර කරයි.

8. දොර අසල පාපිස්නා තබා ඇති වැරදි ආකාරය

නිවසට ඇතුල් වීමට පෙර කකුල් පිසදාගැනීමට සලස්වමින් කුණු දූවිලි නිවස ඇතුලට පැමිණීම වැළැක්වීම සඳහා පාපිස්නා භාවිතා වේ. එම නිසා පාවහන් පැලඳ ඒවා මත සිටගැනීමෙන් බොහෝ කුණු දූවිලි ප්රගමාණයක් ඊට එක්කාසු වීම සිදුවිය හැක. සෘජුකෝණාස්රාබකාර හැඩයෙන් යුත් පාපිස්නාවක් දොර ඉදිරියෙන් පළල් අතට නොව දිගු අතට තබා තිබීමෙන් පියවර කිහිපයක් ඉදිරියට ගමන් කරමින් කකුල් පිසදා ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව කුණු දූවිලි හොඳින් ඉවත් වී නිවස තුලට ඒවා ඇතුල් වීම වැළැක්වේ.

9. කෘතිම ආලෝකයක් යටතේ කුණු දූවිලි ඉවත් කර පිරිසිදු කිරීම

කුණු දූවිලි අංශු පැහැදිලිව පෙනෙන්නේ ස්වභාවික සූර්ය ආලෝකයටයි. හිරු එළිය වැටෙන තැන් වල කුණු දූවිලි පාවෙන ආකාරය ඔබත් මින් පෙර දැක ඇති. එම නිසා දූවිලි ගසමින් පිරිසිදු කිරීමට වඩාත් උචිත වන්නේ උදේ කාලයයි. එවිට කුණු දුවිලි ‍රැඳුනු ස්ථාන පහසුවෙන් ඔබේ ඇසට හසුවේ. නමුත්, කෘතිම ආලෝකයක් යටතේ රාත්‍රී කාලයේ පිරිසිදු කිරීමේදි ඒ ආකාරයෙන් දූවිලි ‍රැඳුනු තැන් පහසුවෙන් නොපෙනෙන නිසා සොයාගැනීම ඉතා අපහසුය. එවිට, පසුදා උදෑසන ඔබට යලිත් වරක් පිරිසිදු කිරීමට සිදුවීමෙන් කාලය නිකරුණේ නාස්ති වීමට ඉඩ ඇත.

10. ජනෙලයේ රාමුව පිරිසිදු කිරීමෙන් පසු ජනෙල් උළුවස්ස පිරිසිදු කිරීම.

ජනෙල් පිරිසිදු කිරීමේදී, එහි රාමු (panes) සහා ජනෙල් පඩි පිරිසිදු කරගැනීමද සිදුකල යුතුය. නමුත්, පළමුවෙන්ම සිදුකල යුතු පියවර එය නොවේ. මුලින්ම, වැකියුම් ක්ලීනර් එකකින් ජනෙල් උළුවස්ස සහා ජනෙල් පඩි වල කුණු දූවිලි හොඳින් ඉවත් වන සේ පිරිසිදු කරගන්න. ඉන්පසුව, සේදුම් දියරයකින් ජනෙල් රාමු සෝදා පිරිසිදුකරගන්න. ජනෙල් උළුවස්ස පිරිසිදු කරගත් පසු ජනෙල් රාමු සෝදාගත යුතු බව මතක තබාගන්න. එසේ සිදුනොකල විට, උළුවස්සේ ඇති කුණු දූවිලි ඉන් පෙර පිරිසිදු කරගත් ජනෙල් රාමුව හා ජනේලය අවට නැවත තැවරීමට ඉඩ ඇත. එහිදී, ඔබ හට එය නැවත නැවත පිරිසිදු කිරීම සඳහා කාලය වැය කිරීමට සිදුවනු ඇත.