නව යොවුන්වියේ පසුවන ඔබ දැනසිටිය යුතුම දේවල් 11 ක්

අපි හැමෝටම ජීවිතයේ තරුණ කාලය තමයි වඩාත් සුන්දරව දැනෙන්නේ.මේ කාල සිමාවේදී  කායිකව , මානසික මෙන්ම සමාජයීය වශයෙන් විශාල වෙනස්කම් ‍රැසක් අපේ ජීවිතයේ ඇති වෙනවා. ජීවිතයේ ළමා අවධියෙන් පසු අප පා තබන නව යොවුන් විය නම් තාරුණ්‍යයට පත්විමේ සංක්‍රාන්ති අවධිය බොහෝ විට හඳුන්වන්නේ ජීවන ගමනේ කුණා‍ටු අවධිය කියලයි. යොවුන් වියේදී කෙනෙකු තුල අභ්‍යන්තර ජීවිතය පිලිබඳ ව සංයුක්ත ආකල්ප සහ අදහස් ගොඩ නැගීමක් සිදුවේ.  සම වයස් කණ්ඩායම් තුලදී තමාව අන් අය සමඟ සාපේක්ෂව දැකීමට පටන්ගනිති. බොහෝ විට අන් අය දරන මතය ඒ අයුරින්ම පිලිගෙන ඒ අනුව කටයුතු කිරීමට යුහුසුලු වේ. මේ කාලසීමාවේදී නව යොවුන් පුද්ගලයින්ට බොහෝ ගැටලු මතුවේ. මෙවැනි අත්දැකීම් අපටත් තිබෙනවා. තරුණ කාලයේදී පුද්ගලයෙකුට සිතෙන්නේ මේ ගැටලුව තිබෙන්නේ මට විතරයි කියලයි. නමුත්, පසු කලක ආපහු ජීවිතය දෙස හැරිලා බලද්දි ඒ හැම දෙයක්ම තරුණ කාලයැදී පොදුවේ හැම දෙනාටම වගේ මුහුණ දීමට සිදුවන ගැටලුය.

යොවුන් වියෙහි වෙනස්කම් හඳුනාගෙන එම අවධියෙහි අභියෝග ජය ගනීමට උත්සහ කරන්න. එමඟින් තම හැකියා ප්‍රවර්ධනය කරගන්නා අතරේ ඔබේ කුසලතා ඵලදායි ලෙස යොදාගනිමින් ජීවිතය සාර්ථක කරගන්නට ඔබට හැකි වනු ඇත! ඔබේ ගමනේ සාර්ථකත්වයට උපකාරී වන මේ වටිනා උපදෙස් කිහිපයත් ඔබේ මතකයේ තබාගන්න.

01. පරාජය ඔබේ ජීවිතයේ ඔබට ඇතිවු හොඳම දේ විය හැකියි

අත්වැරදීම්, අඩුපාඩු සහ පරාජය වීම සැමවිටම අපව අපහසුතාවට-ලැජ්ජාවට පත්කරවයි. නමුත්, මෙහි හොඳ පැත්තක් ද ඇති බව අප අමතක නොකල යුතුයි. එනම් ඔබට හැකියි ඔබේ වැරදීම් ,අතපසුවීම් සහ දෝෂ තුලින් නිවැරදි දේ කුමක් දැයි අත්දැකීමෙන් ඉගෙන ගැනීමට. වැඩිහිටියෙකු වි අසාර්ථක වෙනවාට වඩා නව යොවුන් වියේ පසුවෙන්වෙකු ලෙස අත්වැරදි සිදුවුවත් උත්සාහ කිරීම වඩාත් ආකර්ෂණීය මෙන්ම ප්‍රගතශීලි චරිත ලක්ෂණයකි. ඔබ අසාර්ථක වන සෑම අවස්ථාවකම ඔබ අසාර්ථක වීමට හේතුව සොයාගනිමින් ඉන් පාඩමක් ඉගෙනගන්න. ඔබේ පරාජයන් ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට අවස්ථාව සලසාදුන් ශක්තීන් බවට හරවාගන්න ඔබට පුලුවන්. පරාජය වන සැම විටම නැවත නැගී සිටීමට උත්සහක කරන්න.

02. ඔබ පළමුව ඔබ කෙරෙහි සැලකිලිමත්වීමට කටයුතු කරන්න

තමා ගැන සැලකිලිමත් වන්න යනුවෙන් අදහස් වන්නේ ආත්මාර්ථකාමී අයෙකු වන්න කියා නම් නොවෙයි. ඔබ ඔබ කෙරෙහි සැලකිලිමත් වන අයෙකු නොවේ නම් ඔබට කිසිවිටෙක බැහැ වෙනත් අයෙකුගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් සහයෝගය ලබාදීමට. ඔබ කරන හැම දෙයකදීම ඔබ විසින් ඔබටම සීමාවන් පනවා ගනිමින් කටයුතු කරන්න, සෘණාත්මක අදහස් සහ ආශ්‍රයන් බැහැර කරන්න, සිත පාලනය කරගන්න, ඔබේ ශක්තීන් වර්ධනය කරගන්න, ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත්වන්න- හොඳින්  ජලය පානය කරන්න, නිරෝගිව සිටීමට උත්සහා කරන්න, සතුටින් සිටින්න, ධනාත්මකව සිතන්න. මෙවැනි ලක්ෂණ ඔබව වඩාත් ආකර්ෂණීය අයෙකු බවට පත්කරවයි. ඉන් ඔබ කෙරෙහි අන්‍යයන් ගේ විශ්වාසය සහ ආකර්ෂණය වර්ධනය වේ.

03. Cool කියලා හිතෙන හැමෝම Cool නැහැ

මේ අවධියේදී තමන්ට වඩා අනික් අය සතු‍ටුදායි සැහැල්ලු ජීවිත ගත කරන බව ආදි හැඟිම් සිතිවිලි කෙනෙකුට ඇති විය හැකියි. ඔබේ මිතුරන් සරල සැහැල්ලු කිසි දෙයක් කෙරෙහි බරපතලව නොතක ආකාරයේ හැසිරීමක් ඇති අය ලෙස සිටිනවා විය හැකියි. නමුත්, ඔවුන් ඇත්තටම  සියයට සියයක් සතුටින් සැහැල්ලුවෙන් සිටින බව කියන්න බැහැ. මොකද කියනවානම් ඒ වයසේ සෑම කෙනෙක්ම නව යොවුන් වියේදී ඇති වන වෙනස්කම් අභියෝග වලට මුහුණ දෙමින් සිටින අය වෙති. ඔවුන්ගේ එම හැසිරීම බොහෝ විට එම අභියෝග හමුවේ නොසැලී සිටීමට ඔවුන් භාවිතා කරන් ආරක්ෂක යාන්ත්‍රණයක් විය හැකියි. පාසල් කාලයේ රූමතියක් වෙලා හිටපු තරුණියකගේ සුන්දරත්වය අවුරුදු 30 දි නැතිවෙලා යන්න පුලුවන්. පාසලේ හිටපු අදක්ෂයින් යැයි හංවඩු ගැසි සිටිය අය හොඳ ආත්ම විශ්වාසයක් ඇති සමාජයේ කැපී පෙනෙන චරිත බවට මේ වන විට පත්වෙන්න පුලුවන් .

04. උසස් අධ්‍යාපනය ගැන අධි තක්සේරුවකින් හිතන්න අවශ්‍ය නැහැ

අධ්‍යාපනය කියන්නේ අත්‍යාවශ්‍ය දෙයකි. නමුත් සැම දෙනාටම උසස් අධ්‍යාපන වරම් නොලැබෙන්නට පුලුවන්. ඔබට නොලැබුනු දෙයක් වෙනුවෙන් තැවී තැවී සිටිනවාට වඩා ඔබ කැමති වෙනත් දෙයක් හදාරමින් ප්‍රගුණ කරමින් ඔබේ වෘත්තිය ගමන ගොඩ නගා ගැනීමට ඔබට හැකිය. නොහැකි වුණු දෙයට නොව ඔබ වඩාත් දක්ෂ දේ වෙනුවෙන් ඔබේ මුදල් වැය කරමින් වැඩිදුරටත් ඉගෙන ගන්න. එතුලින් ඔබේ අනාගතය ගොඩනගා ගැනීමට උත්සහ කරන්න.

05. එක් අයෙකු වෙනුවෙන් ජීවිතය නාස්ති කරගන්න එපා

මිතුදමක් හෝ වේවා ප්‍රේම සබඳතාවක් හෝ වේවා මේ කාලයේදී සිත් බිඳීම් ඉතා ප්‍රබල ලෙස කෙනෙකුට දැනිය හැකිය. නමුත් ජීවිතය එතැනින් නතර වන්නේ නැත. එම නිසා ඔබ ජීවිතයට මුහුණ දිය යුතුය. අතීතය ගැන සිතමින් හඬා වැටීමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵලයක් හෝ ප්‍රයෝජනයක් නොමැත. ජීවිතයේදි අපට බොහෝ මිනිසුන් මුණගැසෙන බවත් ඒ සැම දෙනාම අප සමඟ නො‍රැ‍ඳෙන බවත්, අප නොසිතන මොහොතක ඒ හමුවීම් වෙන් වීම් වලින් කෙළවර වන බවත් ඔබ අත්දැකීම් ලබමින් වයසින් මුහුකුරා යන විට අවබෝධ කරගනු ඇත. මිනිසුන් වෙනස් වේ-එමෙන්ම ජීවිතද වෙනස් වී යයි. මහහැරුණු අයට වඩා හොඳ අයව ඔබට ඉදිරියේදි මුණගැසෙනු ඇත.

06. වයසෙන් මුහුකුරා යාම ජීවිතයේ ඔබේ ගැටලු වලට පිළිතුරු සපයා නොදේවි. නමුත්,

වයස ගත වුණත් ඇතැම් දේවල් සම්බන්ධයෙන් ඔබට කිසිඳු නිවැරදි අවබෝධයක් -වැටහීමක් නොතිබිය හැකිය. උදාහරණයක් ලෙස ප්‍රේම සබඳතා, ඔබේ වෘත්තිය ගමන සහ ඔබේ ජීවිතයේ ඉදිරි සැලසුම් පිලිබඳව ඔබ වයස අවුරුදු 30 ක් වී ඇතත් තවමත් යම් නිසියාකාර අදහසක් නොමැති විය හැක. වඩාත් වැදගත් වන්නේ ඔබ ඔබවම විශ්වාස කිරීමයි.  ජීවිතයේ අනාගතය කෙරෙහි බලපාන වැදගත් තීරණ ලබාගැනීමේදී ඔබ තුල පවතින දැඩි ආත්ම විශ්වාසය ඔබට සාර්ථකත්වය කරා යාමට හොඳම අඩිතාලම වනු ඇත.

07. කාලයත් සමඟ ඔබේ ආකල්ප වෙනස් වේවි

දේශපාලනය, ආගම, සංගීතය, ආදරය, අධ්‍යාපනය, නිදහස සහ තාරුණ්‍ය- ආදි නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් ඔබ වයස අවුරුදු 16 දැරූ මතය ඊට වසර 5 කට පමණ පසු ඔබ දරමින් සිටින මත වලට හාත්පසිනම් වෙනස් ස්වරූපයක් ගත් ඒවා විය හැකියි. මෙය ස්වභාවිකය. කාලයත් සමඟ පුද්ගලයින් දරන ආකල්ප , සිතිවිලි සහ අදහස් ද විශාල බලපෑමකට ලක් වෙමින් වෙනස්කම් වලට භාජනය වේ. බොහෝ විට ඔබ දැරූ ප්‍රතිපත්තිය කෙරෙහි වඩාත් නම්‍යශීලි බවකින් ඔබ කටයුතු කිරිමට පටන්ගත හැකිය. යහපත් ප්‍රහ්ගතිශීලි ආකල්ප ඇතිකරගැනීම ජීවිතයේ සාර්ථකත්වයට ඉතා වැදගත් වේ. එමෙන්ම මෙය ප්‍රගුණ කිරීමෙන් අන් අයගේ මත ඉවසා සිටීමට සහ පිලිගැනීමට ඔබට හැකි වනු ඇත. අන් අයගේ ශෘෂ්ටි කෝණයන් මෙන්ම ඔබටම ආවේණික ශෛලියකින් ජීවිතය දෙස බැලීමට හුරු වීම ඔබේ පෞරුෂත්වයේ ආකර්ෂණීයම ලක්ෂණයක් වනු ඇත.

08. අවස්ථාවන් ලබාගන්න.ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජනය ලබාගන්න

නව යුවුන් වියේදී ඔබට උපරිම නිදහසක් අත්විඳිය හැකිය. නමුත් , නිදහස වෙනුවෙන් ඔබට ලැබෙන වටිනා අවස්ථා මග නොහැරගත යුතුය. ඔබේ අනාගතය ගොඩනගා ගැනීමට ලැබෙන සෑම වටිනා අවස්ථාවකින්ම හොඳ ප්‍රයෝජනයක් ලබාගන්න.

09. සිරුරේ හැඩය ගැන අනවශ්‍ය ලෙස වද වෙන්න එපා

සර්වසම්පූර්ණ හැඩකාර ශරීර හැඩයක් ඇති අයෙකු ලොව නොවේ. එම නිසා ඔබේ ස්වභාවික ස්වරුපය පිලිගන්න. ඒ ගැන අනවශ්‍ය ලෙස වද වීම සිදුනොකරන්න. ඔබ ඔබට ආදරය කරන හැටි ඉගෙනගන්න-නීරෝගී සමබල පෝෂණයක් ඇති ආහාර වර්ග පරිභෝජනය කරන්න, හොඳින් ජලය පානය කරන්න, මනස සැහැල්ලුව සතුටින් තබාගන්න, දිනකට හොඳ නින්දක් ලබාගන්න. මින් ඔබේ ආත්ම විශ්වාසය තවත් වැඩි වනු ඇත. අන් අය සමඟ ඔබේ අඩුපාඩු සසඳමින් දුක් වීම අනුවණ ක්‍රියාවකි. ඔබව පීඩාවට පත් කරගනිමින් පරිපූර්ණ සිරුරක් ලබාගැනීමට කරදර නොවන්න.

10. කෙනෙක්ට හිත යන්නේ ආදරය නිසාම නෙවෙයි

මේ වයසේදි සිදුවන චිත්තාවේග සහ හෝර්මෝන සක්‍රීයවීම නිසා ඔබේ සිරුරේ යම් යම් රසායනයන් ක්‍රියාකාරී වීමට පටන්ගනියි. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයින් කෙරේ ආකර්ෂණය වීම නව යොවුන් වියේ ඇතිවන ප්‍රධාන කායික මෙන්ම මානසික වෙනස්කමකි. මේ අවධියේදී ආදරය සහ රාගය අතර වෙනස හඳුනාගනිමින් ඔබේ සිතිවිලි, හැඟිම් සහ ආකල්ප මෙහෙයවා ගැනීම බුද්ධිමත්ව සිදුකල යුතුයි. මේ අවධියේදී විරුද්ධ ලිංගික ඇසුර ප්‍රිය වීම ස්වභාවික වුවත් පමණ ඉක්මවා ඉදිරියට යාමක් ඉන් අපේක්ෂා නොකෙරේ.

11. දෙමාපියන්ටත් ඔබට මෙන්ම තරුණ කාලයක් තිබී ඇත

මේ වයසේදි වැඩිහිටියන්ගේ , විශේෂයෙන්ම දෙමාපියන්ගේ මත නුරුස්නා ස්වභාවයක් බොහෝ නව යොවුන් වියේ පසුවන්නන් තුල නිරීක්ෂණය කරන්නට ලැබේ.  බොහෝ විට දෙමාපියන් සතුරන් මෙන් පෙනිය හැක. නමුත්, ඔවුන්ට ද ඔබට මෙන් තරුණ කාලයක් තිබී ඇති බව අමතක නොකල යුතුයි. ඔවුන් ඔබ කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ බොහෝ විට ඔවුන් ඔවුන්ගේ තරුණ අවධියැදි සිදුකල ඇතැම් වැරදි අනුවණ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල වලින් ඔවුන් උගත් පාඩම් නිසා විය හැකියි. ඒවා ඔබත් සිදු කරාවිදැයි ඔවුන් සිතෙන් වදවෙනවා විය හැකියි.

එම නිසා ඔබේ දෙමාපියන් සමඟ උරණ නොවී ඔවුන් ඔබට පවසන දේ සම්බන්ධ හේතු වටහා ගැනීමට උත්සාහකරන්න. ඔවුන් සමඟ විවෘතව කතා කරන්න. දෙමාපිය-දූදරුවන් අතර සන්නිවේදනය සහ අන්තර්-සම්බන්ධතාවය දරුවන්ගේ අනාගත වැඩිහිටි පෞරුෂය ඔප්නැංවීම කෙරෙහි අතිශය වැදගත් වේ. දරුවන්ව හික්මවීම  ඔවුන්  වැඩිහිටියන් ලෙස සමාජ ගත වීමේදී ඔවුන් හට මුහුණදීමට සිදුවන අභියෝග හමුවේ ඊට සාර්ථකව මුහුණ දීමට දරුවාව සූදානම් කරවන ප්‍රයාසයක් ලෙස ද දැක්විය හැක.