දැන් නළුවෝ දවසේ පඩියට දෙබස් කියනවා විතරයි

රොජර් සෙනෙවිරත්න කියන්නේ ටෙලිනාට්‍ය තුළින් අපට නිරතුරුවම හමුවන ශිල්පියෙක් නෙවෙයි. ගොඩක් කලාතුරකින් ආවත් ඒ එන හැමවිටම විශේෂ යමක් සිය රසිකයාට රැගෙන එන රොජර් මේ දිනවල සුනිල් කොස්තාගේ You Hear Me තුළින් සිය රසිකයන් හා වෙනස්ම කතාබහක යෙදී සිටිනවා. ඉතින් අපි අද කතාබහට එකතු කරගත්තේ හැමෝම ආදරේ කරන රොජර් සෙනෙවිරත්නයි

රොජර් කියන්නේ තෝරාගත් නිර්මාණවල පමණක් රඟපාන රංගන ශිල්පියෙක්ද?

අපෝ නැහැ, ඕනම කෙනකුගේ නිර්මාණයකට මම දායක වෙනව. එත් කෙනෙක් මට නිර්මාණයකට කතා කරල ඒ සාකච්ඡාව නිර්මාණයට දායක වීම සඳහා මගේ කොන්දේසි විමසන තැනට ආවහම දවසෙ පඩියට මම කීයටවත් එන්නෙ නැහැ. මුළු වැඩේටම ගාණක් ගෙවනව නම් මම මේ වැඩේට එන්නම් කිව්වට පස්සෙ එම නිර්මාණයට සම්බන්ධ වෙන්නේ කියලා කිවුවට පස්සේ ඒ වැඩ ආයේ මට එන්නේ නෑ, දිනපතා කුලියටම තමයි එයාල නළු නිළියො හොයන්නෙ. ඔන්න ඔය කාරණය නිසයි ගොඩක් ටෙලිනාට්‍යවල මම නැත්තෙ. නැතිව මම විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂකවරු හෝ විශිෂ්ට ගණයේ පිටපත් තෝරාගැනීමක නැහැ.

රොජර් මෙගා නාට්‍ය සමගත් රංගනයෙන් එක්වීමට එකඟද?

මටනම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිහෙකුට බලන්න පුළුවන් ටෙලිනාට්‍යයක් නිර්මාණය වෙනවද අපි ඒකට ඉඩ හදල දෙන්න ඕන. ඒක ඇතුළේ විශාල පිරිසක් ජීවත් වෙනව. හැබැයි නාට්‍යය දිර්ඝ කරන්න බහුබූත දාලා නාට්‍ය කන්න එපා කියලයි මම කියන්නෙ. මිනිස්සුන්ට විඳින්න හැකි මෙගා නාට්‍යයකට ඇරයුමක් ලැබුණොත් කීයටවත් මම ඒක ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. නිකං තිබ්බ ගැහුවා නාට්‍යවලට නම් අපි සම්බන්ධ වෙන්නෙ නැහැ. ඒවා අද තිබ්බ හෙට නෑ

ඇයි ඔබ මේ දෛනික ගෙවීමේ ක්‍රමය මේ තරම් ප්‍රතික්ෂේප කරන්නෙ ඒක හොඳ නැද්ද ?

මේක පවත්වාගෙන යන්න දායක වන ශිල්පීන්, ශිල්පිනියන් කම්කරුවන් මටට්මට දාලා සිද්ධ වෙන දිනපතා පඩියට යා යුතු නැහැ කියන එකයි මම පවසන්නෙ. මොකද අපි මේක කරන්නෙ ජීවත් වෙන්නම විතරක් නෙමෙයිනෙ. අපි කලාව කරන්නෙ නිර්මාණ ගැන ශිල්පීන්, ශිල්පිනියන් ගැන බලාපොරොත්තු තියෙන විශාල පිරිසක් වෙනුවෙන්. ඒ සියලුම දෙනා අප කරන දේ දෙස බලාගෙන ඉන්නව.

කාරණා කෙසේ වෙතත් ඔබේ රංගනය අහිමි වීම නේද මේ සිදුවෙන්නෙ?

ඔය ප්‍රශ්නයටත් මට දෙන්න තියෙන්නෙ පෙර පිළිතුරමයි. අඩුවෙන් වැඩ කරන්න හේතු තියෙනව. ඒ හේතුව තමයි මම කලින් කියපු කාරණය. දැන් ට්‍රෙන්ඩ් එක හැදිල තියෙන්නෙ කවර හෝ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් රුපියල් හත් අට දහසකට නැත්නම් දහ පහළොස් දහසකට ගත්තම ඔවුන් ඒ චරිතයට දෙබස් ටික කියල ගෙදර යන එක. දැන් හැදෙන නිර්මාණ දිහා බලපුවහම ඒක හොඳටම පෙනෙනවනෙ රංගනයක තියෙන්න ඕන කිසිම දෙයක් ඒවගේ නෑ. දෙබසක තියෙන වටිනාකම, දෙබසක තියෙන අරුත, දෙබසක තියෙන බර ඒ කිසිම දෙයක් මතු වෙන්නෙ නැහැනෙ රචනාවක් වගේ එහෙන් මෙහෙන් කියවනවා. වේදිකා නාට්‍යවල නම් දෙයිහාමුදුරුවන්ගෙ පිහිටෙන් ඒ ගුණය තවම රැකිල තියෙනව. ටෙලිනාට්‍යවලත් ඒ රසයදැනෙනවානම් ගොඩක් වටිනවා,

Can You Hear Me ටෙලි නාට්‍ය ඇරුණහම ඔබේ කාලය ගෙවෙන්නෙ කොහොමද?

ටෝනි රණසිංහ මහත්මය රචනා කළ ජුලියස් සීසර් නාට්‍ය පිටපත මම නැවත නැවත කියවනව. ඒ හැරුණම අපි සාමාන්‍යයෙන් කලාකරුවන් විදිහට අපිට අදාළ වැඩ ටික කරනව. මොක නැතත් අපි පොත පත කියවනව, ඊට අමතරව මම කාලයක් තිස්සෙ බොන්සායි පැළ ගැන දැනුමක්, අවබෝධයක් පවත්වාගෙන යනව. මෙතෙක් මම සකස් කළ බොන්සායි ගස් මා ළඟ තියෙනව. බොන්සායි පෝච්චි ටිකක් මගේ දෑතින්ම හදාගෙන යමින් ඉන්නව. ඒක මනස නිදහස් වෙන්න වගේම විනොදන්ශයටත් ගොඩක් හොඳයි,