ජිම් එකේදී මෙන්න මේ වැරදි 8 කරන්න එපා!

ජිම් එකක් භාවිතා කරන විට හොඳ විනයක් තබාගැනීමත් වැදගත්. ඔබත් ජිම් එකකට ගොස් ව්‍යායාම් කරන කෙනෙකු නම්, කිසිඳු හික්මීමක් නොමැතිව හැසිරෙන සමහර කාන්තාවන් සහා පිරිමින් දැක ඇති. ජිම් එකක් තුල හැසිරිය යුතු  නීති කිහිපයක්ම තිබෙනවා. මේවා ආචාර ධර්ම (gym etiquette) ලෙස හැඳින්වීම වඩාත් උචිතයි. මේවා පැනවිමෙන් ප්‍රධාන වශයෙන්ම අපේක්ෂා කරන්නේ ජිම් එක පරිහරණය කරන සෑම දෙනාටම හොඳ සේවාවක් ලබාදීමයි. ඔබ නිසා අන් අයට බාධාවක් ඇති නොවන ලෙස ජිම් එක භාවිතාකරන විට මේ වැරදි සිදුනොකිරීමට මතකතබාගන්න.

01. භාවිතා කල ව්‍යායාම උපකරණ වල ‍රැඳුණු දහදිය පිසනොදැමීම

ව්‍යායාම සිදුකරන විට අධිකව දහදිය දමන නිසා ඔබ ලඟ workout towel එකක් තබාගැනීම ඉතාම වැදගත් දෙයකි. ව්‍යායාම් වල නිරත වූ පසු ඔබ භාවිතා කල ව්‍යායාම් උපකරණ සහා යන්ත්‍ර වල ඔබේ දහදිය තැවරී තිබිය හැකි බැවින් ඔබ ජිම් එකෙන් පිටවී යාමට පෙර ඒවා පිසදැමීමට කටයුතු කිරීම වැදගත් ය. බොහෝමයක් යන්ත්‍ර වල ආවරණ නිමවා ඇත්තේ ලෙදර් වලින් නිසා ඔබ පිසදමන තෙක් දහදිය ඉවත් වී යාම සිදුනොවීම ඊට හේතුවයි.

02. ඔබ භාවිතා නොකරනවා නම් ව්‍යායාම් යන්ත්‍ර වල ‍රැඳී නොසිටිය යුතුයි.

ඇතැම් අය ව්‍යායාම් උපකරණ මත නැග දුරකථන ඇමතුම් ගැනීම, කෙටි පණිවිඩ යැවීම, ඊ-මේල් පරීක්ෂා කිරීම , සෙල්ෆී ගැනීම හෝ නිදාගෙන සිටීම සිදුකරන ආකාරය දැකිය හැකියි. නමුත්, ඔබ එසේ කිරීමෙන් සිදුවන්නේ එම උපකරණ භාවිතා කිරීමට අවශ්‍ය අයට  අවස්ථාව නොලැබි යාමයි. ඉතින්, අන් අයගේ අවස්ථාවට බාධා කිරීම හොඳ ආචාර ධර්මයක් නම් නෙවෙයි. ඒවගේම, ජිම් එක තියෙන්නේ ව්‍යායාම කරන්න මිසක් නිකරුණේ කාලය නාස්ති කරන්නත් නෙවෙයි.

03. උස් හඬින් දුරකථනයෙන් ඇමතීම සහා ලවුඩ්ස්පීකර් භාවිතා කිරීම

ව්‍යායාම් වල නිරත වන අතරේ උස් හඬින් දුරකථනයට ප්‍රතිචාර දක්වන අය ඔබත් දැක ඇති. මෙවැනි ක්‍රියා අන් අයට විශාල බාධාවකි. ඒ වගේම උස් හඬකින් සංගීතය වාදනය වන ලෙස ලවුඩ්ස්පීකර් භාවිතා කරන අයද සිටිති. මේ වගේ අන් අයට බාධා වන දේවල් සිදු නොකල යුතුයි. ඔබ සංගීතයට ප්‍රිය නම් ඒ සඳහා ‘හෙඩ්ෆෝන්’ එකක් භාවිතා කරන්න.

04. ව්‍යායාම් උපකරණ තිබෙන්නේ සියලු දෙනාගේම පරිහරණය සඳහා බැවින් බොහෝ වේලාවක් එක් උපකරණයක් භාවිතා කිරීම නොකරන්න.

එක දිගට එකම ව්‍යායාම උපකරණයක් භාවිතා නොකල යුතුයි. ඔබ වගේම අන් අයටත් එය භාවිතා කිරීම ඉඩ දෙන්න.ඒ නිසා,තවත් අය එම උපකරණය භාවිතා කිරීමට පෝළිමේ ඉන්නවා දැක දැකත් පැය 2 ක් විතර ‘ට්‍රෙඩ්මිල්’ උපකරණයේ ‍රැඳී ඉන්න එපා!

05. Weights තැන තැන දමා පිටවී නොයා යුතුයි.

‘ගත්ත දේ ගත්ත තැනින් තැබිය යුතුයි ‘කියා කුඩා කාලයේ පටන්ම අප ඉගෙන ගන්නෙමු. ජිම් එකේදිත් මේ කරුණ මතකයේ තබාගත යුතුයි. ඔබ ව්‍යායාම් සඳහා භාවිතා කල ‘ඩම්බ්බෙල්’ ඇතුලු weights උපකරණ භාවිතයෙන් පසු තිබූ ස්ථානයෙන්ම නැවත ගබඩා කරන්න. එසේ නොමැතිනම්, ඒවා බිම තැන තැන විසිරී තිබෙන විට පය පැටලී බිමවැටීම වැනි අනතුරු අන් අයට ඇතිවීමට ඉඩ ඇත.අන් අයගේ ආරක්ෂාව ගැන සිතමින් කටයුතු කිරීමත් වැදගත් වේ.

06. අන් අයව පීඩාවට පත්වෙන විදියේ ක්‍රියාවන් සිදුනොකල යුතුයි.

මිනිත්තු 60 කට වඩා එක දිගට ව්‍යායාම් උපකරණයක් භාවිතා කිරීම නූචිත ක්‍රියාවක් වගේම ව්‍යායාම සිදුකරමින් ඉන්න කෙනෙක් ඉදිරියේ අත් බැඳගෙන ‘ඉක්මන් කරන්න’ යැයි පැවසීම හෝ අභිනය කිරීමත් ඒ හා සමානව නරක පුරුද්දකි. අන් අයව පීඩාවට පත්කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.

07. ප්‍රමාද වී පැමිණීම යහපත් දෙයක් නම් නොවේ. එය අන් අයට බාධාවකි.

කණ්ඩායම් හෝ තනි හෝ වේවා කායික සුවතා හා ව්‍යායාම් පුහුණු පන්ති සඳහා ප්‍රමාද වි සහභාගී නොවිය යුතුයි. ඔබ එසේ සිදුකිරීම පුහුණුකරු/පුහුණුකාරිය හට මෙන්ම පන්තියේ සහභාගි වී සිටින අන් අයට ද බාධාවකි. එමඟින් ඔවුන්ගේ අවදානය බිඳියයි. ඔබ ප්‍රමාද වී පැමිණි මොහොතක අඩුම තරමින් පන්තියට බාධාවක් නොවන ලෙස ඇතුලට පැමිණීමට මතකතබාගන්න.

08. ජිම් එකේ ලොකර් රූම් ඔබේ පෞද්ගලික නාන කාමරය නොවෙයි.

ඇඳුම් මාරු කිරීම සඳහා ලොකර් රූම් එක භාවිතා කිරීමේදී අන් අය අපහසුතාවට පත්වන ආකාරයෙන් නොහැසිරිය යුතුය (නිරුවතින් එහා මෙහා යෑම, නාන කාමර තුල බොහෝ වේලාවක් ගත කිරීම, ෂේව් කිරිම, සබන් පෙණ විසිරුවීම වැනි ක්‍රියා නොකල යුතුයි. ඔබ භාවිතා කල පසු අන් අයට භාවිතා කල හැකි ලෙස නාන කාමර සහා වැසිකිළි පිරිසිදුව තබන්න). නිරුවත් වීම ඇතැම් අයට ගැටලුවක් නොවුණත් පිරිසක් සිටින තැන ඇඳුම් මාරු කිරීම අපහසුවක් සේ දැනෙන අය සිටිය හැකියි. එබැවින් අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම වැදගත්ය. සියලු දෙනා හටම කාලය ඉතා වැදගත් බැවින් ලොකර් රූම් එක ඔබේ පෞද්ගලික නාන කාමරය මෙන් සිත්සේ භාවිතා කිරීමට කටයුතු නොකල යුතුයි.