ඡායාරූප වලට පෙනී සිටින විට මේ විදියට අත් තබාගෙන ඉන්න එපා කියන්නේ ඇයි?

තමන්ගේ ඡායාරූප සමාජ ජාලා ගිණුම් වල පළ කරන එක අපි කවුරුත් කරන දෙයක් වගේම අද කාලයේ ඉතා සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙන දෙයක්. හැබැයි මේ ක්‍රියාව හිතන තරම් අහිංසක නැහැ කියලයි අධ්‍යයන මඟින් පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ඡායාරූප වලට පෙනී සිටින විට අපි ඇඟිලි මඟින් සිදුකරන ඇතැම් සංඥා (උදා: peace sign/victory sign)  නිසා අපේ පෞද්ගලික තොරතුරු පිටට යෑම ඇතැම් විට අපේ පෞද්ගලිකත්වයට තර්ජනයක් විය හැකි බවයි. තමන්ගේ ඡායාරූප පළකිරීම හරහා තමන්ගේ පෞද්ගලික දත්ත අන් අය අතට පත්වීමේ අවදානම ඇති බවත් ඇතැම් වංචනික පුද්ගලයින් විසින් ඒවා අපට එරෙහිවම තර්ජනාත්ම ලෙසින් අවභාවිතා කිරීමේ අවදානම ඇති බවත් එවැනි කරුණු ගැන සැලකිලිමත් නොවී අපගේ දත්ත රිසිසේ පළකිරීම භයානක ක්‍රියාවක් බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. අන්තර්ජාලය හරහා අපගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය වන ආකාරයේ අකටයුතුකම් වලට ලක් වීමේ අවදානම වැඩි කරගනිමින් මෙසේ ඡායාරූප පළකිරීම නුවණට හුරු ක්‍රියාවක් නොවන බව පැහැදිලි කරන මෙම අධ්‍යයනවලින් හෙලි වූ කරුණු මෙසේයි.

ඡායාරූප වල අපේ ඇඟිලි මඟින් පෞද්ගලික කරුණු අනාවරණය විය හැකියි

Japan’s National Institute of Informatics (NII)  ආයතනය මඟින් සිදුකල පර්යේෂණයකදී අඩි 9 ක් තරම් ඈතින් සිට ලබාගත් ඩිජිටල් ඡායාරූප තුනක් පරික්ෂාවට ලක් කෙරුණා. ඔවුන් හට හඳුනාගත හැකිවූයේ එතරම් දුරක සිට ගත්තද ඡායාරූප ඔස්සේ එම පුද්ගලයාගේ ඇඟිලි සලකුණු (finger vein pattern) පිටපත් කිරීම සිදුකල හැකි බවයි. අති නවීන ඇඟිලි සලකුණු හඳුනාගැනීමේ තාක්ෂණය හරහා එය  ස්කෑන් කිරීම, පිටපත් කිරීම සහ අවශ්‍ය ලෙස භාවිතා කිරීමේ හැකියාව පවා ඇති බව සොයාගැනිනි.

ඡායාරූපයේ Quality එක වැඩිවන තරමට අවධානමත් වැඩියි.

දිනෙන් දින ස්මාර්ට් දුරකථන වල විශේෂාංග අලුත් වෙමින් වැඩිදියුණු වෙමින් පවතිනවා. ඒ නිසාම දැන් ඡායාරූප ගන්න high-resolution කැමරාවක්ම අවශ්‍ය නැහැ. ඊටත් වඩා හොඳ quality එකකින් ස්මාර්ට් දුරකථනයෙන්ම ඡායාරූප ගැනීමේ හැකියාව අද කාලයේ තිබෙනවා.  මෙවැනි උසස් ගුණාත්මක බවින් යුත් සුපැහැදිලි ඡායාරූප අන්තර්ජාලය හරහා පළවීමත් සමඟයි එහි අවදානම ආරම්භ වන්නේ. ඉන් ඔබේ පෞද්ගලික තොරතුරු පවා අනවශ්‍ය ලෙස අන් අය දැනගැනීම සිදුවිය හැකියි. පර්යේෂකයින් පවසන ආකාරයට ඡායාරූපයේ හොඳ focus එකකින් සහ ආලෝකයක් යටතේ ලබාගෙන තිබිම ඇඟිලි සලකුණු අවභාවිතා කරමින් දත්ත ප්‍රතිනිර්මාණය කිරීමට හොඳටම ප්‍රමාණවත් වන බවයි.

අපෙන් සොරාගත් දත්ත අපටම එරෙහිව භාවිතා කිරීමේ අවදානම වැඩිය

වෙනත් අයෙකු සොරාගත් අපට අයත් දත්ත වංචනික ලෙස අන්තර්ජාලය හරහා කූට ව්‍යාපාර (black market) හරහා නැතිනම් ඇතැම් වෙබ් අඩවි හරහා අලෙවි කිරීම හෝ මුදාහැරීම සිදුවිය හැකියි.  උදා: විවිධ app වර්ග සහ උපාංග විවෘත කිරීමට ඇඟිලි සලකුණු භාවිතා කරන විට (විශේෂයෙන්ම මුදල් ගනුදෙනු ආදියේදී) වංචනික ලෙස දත්ත සොරාගන්නන් හට අපගේ පෞද්ගලික දත්ත වලට ප්‍රවේශ වීමට අවස්ථාව ලැබී ඒ හරහා අපගේ බැංකු ගිණුම් දත්ත සහ වෙනත් සංවේදී පෞද්ගලික ගිණුම් දත්ත සොරාගැනීමට හැකියාව ලැබේ.

පුද්ගලයෙකුගේ ඇඟිලි සලකුණු ලබාගැනීම අපහසු දෙයක් නොවේ.

ඇඟිලි සලකුණු පැහැදිලිව පෙනෙන ඡායාරූප හරහා ඒවායේ ප්‍රතිනිර්මාණයක් conductive ink විශේෂයක් භාවිතයෙන් මුද්‍රණය කරමින් biometric scanner උපකරණ ‍රැවටීම අපහසු දෙයක් නොවෙයි. තාක්ෂණිකව දියුණු වී ඇති වර්තමාන ලෝකයේ එවැනි වංචනික ක්‍රියා පහසුවෙන් සහ ලේසියෙන්ම සිදුකල හැකි බව නොරහසකි. උදාහරණයක් ලෙස. Michigan State University හි පර්යේෂකයින් පිරිසක් විසින් හෙලිදරවු කරන්නේ මෙවැනි ඇඟිලි සලකුණු ප්‍රතිනිර්මාණය කිරීම සඳහා විශේෂ උපාංග අවශ්‍ය නොමැති බවත්  Inkjet printer එකක්, conductive ink , සහ සාමාන්‍ය කඩදාසියක් තිබීමෙන් ඇඟිලි සලකුණු හඳුනාගන්නා යන්ත්‍රයක් ‍රැවටීම කිසිසේත්ම අපහසු නොවන බවත් ය.

ආත්මාරක්ෂාව සලසාගත හැකි ක්‍රම කිහිපයකි!

ජපානයේ NII ආයතනයේ පර්යේෂකයෙකු විසින් වැඩිදියුණු කරන ලද ස්ටිකරයක් හඳුන්වා දී තිබෙනවා. එහි අඩංගු වන්නේ ව්‍යාජ ඇඟිලි සලකුණු රටාවක මුද්‍රණයකි. එමඟින් ඔබේ ඇත්ත ඇඟිලි සලකුණු ආවරණය කරමින් ඔබේ දත්ත සොරාගැනීම වළක්වනු ලබයි (විශේෂයෙන්ම ඡායාරූප වලට පෙනී සිටින විට හෝ වෙනත් උපාංග භාවිතා කිරීමේදි ඇඟිලි සලකුණු අවදානමට ලක්වන අවස්ථාවල දී පැලඳීමට) තවත් සරල ක්‍රමයක් තමයි ඔබ ඡායාරූප වලට පෙනී සිටින විට ඇඟිලි වලින් කරන සංඥාවන් වෙනස් කිරීම. එමෙන්ම දුරකථන සහ අනෙකුත් උපාංග වල security සැකසුම් යටතේ දුරකථනය unlock කිරීමට හෝ app වෙනත පිවිසීමට fingerprint authentification සැකසුම හරහා ප්‍රවේශ වීමේ සැකසුම ඉවත් කරන්න. ඒ සඳහා වෙනත් option එකක් භාවිතා කරන්න.