ඔබ අනිවාර්යෙන්ම දැනගෙන සිටියයුතු ජීවිතාරක්ෂක උපක්‍රම 8 ක්

ජීවිතයේ අපේක්ෂා කරන දේවල් වලට වඩා අනපේක්ෂිත දේවල් සිදුවෙනවා වැඩියි. අනතුරක් හෝ හදිසි අවස්ථාවක් වුණත්  සිදුවන්නේ කලින් දැනුවත් කරලා නෙවෙයි නේ! ඒ නිසා ඔබේ ආරක්ෂාව සලසාගත යුත්තේ ඔබ විසින්මයි. ඔබේ එදිනෙදා ජීවිතයේ දී ඔබට ඇතැම් විට මුහුණ දීමට සිදුවිය හැකි අනපේක්ෂිත අවස්ථාවලට මුහුණ දීම සඳහා ඔබට ප්‍රයෝජනවත් විය හැකි ජීවිතාරක්ෂක උපක්‍රම කිහිපයකි.

01.ඔබ පිටතට යන සෑම විටක ප්‍රමාණවත් තරමින් යම් මුදලක්, යතුරු කැරලි සහා චාර්ජ් කල දුරකථනයක් ‍රැගෙන යන්න.

එමඟින් හදිසි අවස්ථාවකදී වුවද නිවසේ අයව හෝ අනතුරක් නම් ආරක්ෂක අංශ  සම්බන්ධ කරගැනීමට ඔබට ඔබේ දුරකථනය උපකාරි වේවි. නිකමට හිතන්න ඔබේ වාහනය අතර මඟදී කැඩුණා කියා. ආපහු ගෙදර එන්න විදියක් තියෙන්න ඕන නේද? ඒ නිසා ඔබ සතුව යම් මුදලක් තබා ගැනීම ඉතා වැදගත්. හැම තැනකදීම කාඩ්පත් වලින් ගෙවීම් කරන්නත් හැකියාවක් නැති නිසා එය ඔබේ කටයුතු වලට පහසුවක් වේවි.

02. යම් වැරදීමකින් යම් කෙනෙකුගේ ඇඟේ හැප්පුනා නම් ඔහු/ ඇය හට ‘සමාවෙන්න’ යැයි පවසන්න.

එය අත්වැරදීමක් වුණත් ඇතැම් විට ආවේගශිලි පුද්ගලයෙකු බොහෝ විට එය තේරුම් නොගනිවි. ඇතැම් විට එවැනි පුද්ගලයෙකු සතුව අවි ආයුද පවා තිබිය හැකි බැවින් ඔවුන්ගේ කෝපයෙන් ඔබේ ජීවිතයට යම් අනතුරක් පවා ඇති විය හැකියි. ඉතින් සමාව ඉල්ලීම තමා හොඳම දේ.

03. ඕනම ස්ථානයකට යන විට පිටවිය හැකි ස්ථාන කිහිපයක් ගැන සොයාබලන්න.

ඇත්තටම ඔබ විසින් එවැනි පිටවිය හැකි තැන් නිරීක්ෂණය කිරීම කල යුතුයි. එය විශාල ජනේලයක් වුවද ගැටලුවක් නැත. අවශ්‍ය වන්නේ හදිසි අවස්ථාවකදි එම ගොඩනැගිල්ලෙන් පිටවිය හැකි ස්ථානයක් කල් තියා මතක් කරගෙන සිටීමයි. උදා: ගින්නක් වැනි අනතුරකදී හැමෝම එකම දොර‍ටුවකින් පිටවීමට කලබලයෙන් උත්සාහ කරති. එවිට බොහෝ දෙනා සිරවී ගොස් අනතුරට ලක්වීමේ අවදානම වැඩි විය හැකියි. එබැවින්, කල් තියාම එවැනි තැන් ගැන මතකයක් ඇති කරගැනීම ඔබේ ආත්මාරක්ෂාවට වැදගත් වනු ඇත.

04. ඔබ අවට සිටින පුද්ගලයින්ව හොඳින් නිරීක්ෂණය කරන්න.

ඔබ බස් රථයක, දුම්රියක ගමන් කරන විට හෝ යම් ස්ථානයක ‍රැඳි සිටින විට ඔබ අවට සිටින පුද්ගලයින් කෙරෙහි වඩාත් විමසිල්ලකින් සිටින්න. ආවේගශීලිව කෝපයෙන් මෙන් සිටින පුද්ගලයින් ඒ අතරේ සිටිය හැකියි. එවැනි පුද්ගලයින්ගේ මනෝභාවය නිසා ඔබට අනතුරු සිදුවිමට වැඩි ඉඩක් ඇත. එවැනි අය තවත් ප්‍රකෝපකාරි නොකර ඔවුන් සමඟ කතාවට නොයා හැකිතාක් ඔවුන්ගෙන් ඈත්ව සිටීමට උත්සාහ කරන්න.

05. ගුවන් යානයකදී ඔබ අසුන් ගෙන සිටින ස්ථානයේ සිට හදිසි පිටවුම් දොර‍ටුව පිහිටා ඇත්තේ පේළි කීයක් ඉදිරියෙන් දැයි ගණනය කරගන්න

එම ගණන සිහියේ තබාගැනීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. ඇතැම් විට යානයේ ඇතුලත ගින්නක් ඇති වූ විට එහි ආරක්ෂක පද්ධතිය අකර්මන්‍ය වී යාමෙන් යානය තුල ආලෝකය අඳුරු විය හැකි අතර ඉන් ඔබට කිසිවක් නොපෙනී යා හැකියි. එහිදී, මතකයෙන් ආසන ගණනය කරමින් ඉදිරියට ගමන් කර පිටවුම් දොර‍ටුව අසලට ලඟා විමට ඔබට හැකියාව ලැබේවි.

06. අත්වල ශක්තිය වැඩිකරගැනීමට මැණික්ක‍ටුවට ව්‍යායාම් ලබාදෙන්න

අත් වලින් යම් දෙයක් ග්‍රහණය කිරීමේ හැකියාව වර්ධනය කරගැනිම සඳහා මැණික්ක‍ටුව ප්‍රදේශ වලට දිනපතා ව්‍යායාම ලබාදෙන්න. එමඟින් ඒ ආශ්‍රිත මාංශ පේශීන් ශක්තිමත් කෙරේ. තදින් යමක් ග්‍රහණය කරගෙන සිටීමේ හැකියාව ඉන් ලබාගත හැකියි. උදාහරණයක් ලෙස හදිසි අවස්ථාවකදි ඔබට යම් දෙයක එල්ලී සිටීමට සිදුවුවහොත් ඔබේ අත් වල ශක්තිමත් බව තුලින් දරගෙන සිටිමින් ඔබේ ජීවිතය ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේවි.

07. අනතුරක සේයාවක් දැනුනු විට බියට පත් වි  දුවන්න එපා

තමන්ට අනතුරක් බව දැනෙන ඕනම විටකදි සිරුර ක්ෂණිකව ප්‍රතිචාර දක්වයි. උදාහරණයක් ලෙස කවුරුන් හෝ ඔබ පසුපස පැමිණෙන බව දැනේන විට,එහිදී හිස පහතට කරගනිමින් පියවර ඉක්මන් කරමින් ගමන් කිරීමට පෙලඹෙයි. නමුත්, ඔබ එසේ සිදුකිරීමෙන් සිදුවන්නේ ඔබ වැඩි වේගයකින් අනතුරට ගොදුරු වීමයි. එබැවින් වඩාත් විශ්වාසයකින් යුතුව හිස කෙලින් තබා වේගය අඩු කරන්න. පසුව දෙපැත්ත බලමින් ඔබේ පර්යාය දෘෂ්ටිය භාවිතා කරමින් එම පුද්ගලයා කවුරුන්දැයි දැකීමට උත්සාහ කරන්න. අවශ්‍ය නම් යම් කෙනෙකුගේ උපකාරය ලබාගැනීම සිදුකරන්න.

08. දියේ ගිලෙමින් තිබෙන මෝටර් රථයකින් ඉවතට ගමන් කර බේරෙන්නේ කොහොමද?

පළමුව, සීට් බෙල් එක ඉවත් කරගන්න. මෝටර් රථයේ දොර‍ටුව විවෘත කිරීමට හදිසි නොවන්න.  ඒ වෙනුවට ජනේලය හොඳින් විවෘත කරන්න. විවෘත කල නොහැකි ලෙස සිරවී ඇත්නම් වීදුරුව බිඳීම සිදුකරන්න. ඔබට වැඩි වේලාවක් නොමැති නිසා සිදුකරන සෑම පියවරක්ම බුද්ධිමත්ව සිදුකල යුතුයි. දොර‍ටුව ජලයේ ගිලී තිබෙන විට ජල තෙරපුම නිසා එය විවෘත කල නොහැකි තරමට සිරවිය හැකියි. එබැවින් ඒ සඳහා පරිශ්‍රමය දරමින් කාලය නාස්ති නොකර වීදුරුව බිඳිමින් පිටතට පැමිණීමට හැකිතාක් උත්සාහ ගන්න.