ඔබේ සිරුරේ ප්‍රෝටීන් ඌනතාවයක් ඇති බව හඟවන ලක්ෂණ 8 ක්

සිරුරේ මනා ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රෝටීන් අත්‍යවශ්‍ය පෝෂකයක් බව අපි හොඳින් දන්නෙමු. ශරීරයේ වර්ධනයට, ගෙවී ගිය පටක නැවත අළුත්වැඩියාවීමට, රෝග වලින් අපව ආරක්ෂා කරන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට ආදී සිරුරේ නිරෝගි බව ආරක්ෂා වීම සඳහා ප්‍රෝටීන් ප්‍රධාන වශයෙන් වැදගත් වන පෝෂකයකි. ආහාර ජීර්ණය වීමට අවශ්‍ය එන්සයිම නිපදවීමට  මෙන්ම රුධිරය ඔස්සේ විවිධ ද්‍රව්‍ය සහ සංයෝග ප්‍රවාහය කිරීමට දායක වන්නේද ප්‍රෝටීන් ය. එම නිසා ප්‍රෝටීන් අඩංගු පෝෂණීය ආහාර නිසි ප්‍රමාණවලින් දිනපතාම ආහාරයට එක්කරගැනීම ඉතා වැදගත්ය.

සිරුරේ ප්‍රෝටීන් ඌනතාවයක් හටගැනීම සිරුරේ පීඩාකාරි ස්වභාවයන් ඇති වීමට හේතු සාධක වේ. අධ්‍යයනයකින් පෙන්වාදෙන ආකාරයට ලොව ජනගහනයෙන් බිලියනයක් පමණ ජනයා ප්‍රෝටීන් ඌනතාවයෙන් පෙලෙන බවයි. විශේෂයෙන්ම මධ්‍යයම අප්‍රිකානු සහ දකුණු ආසියානු රවලට 30 % පමණ දරුව ප්‍රෝටීන් ඌනතාවයෙන් පෙළෙන බව එහි සඳහන් වේ. අපේ සිරුරේ ප්‍රෝටීන් ඌනතාවය හටගෙන ඇති බව හඳුනාගන්නේ කෙසේද?  අද අපි කතා කරන්නේ ඒ ගැනයි. ප්‍රෝටීන් ඌනතාවයක් හටගෙන ඇති බව හඳුනාගත හැකි ලක්ෂණ 8 ක් පහත දැක්වේ.

01. ආහාර වලට අධික ආශාවක් ඇතිවීම

ඔබට නිතර බඩගිනි ඇතිවේනම් හෝ ආහාර වලට දැඩි ප්‍රියතාවයක් ඇතිවී ඇත්නම් ඊට හේතුව බොහෝ විට අඩු ප්‍රෝටීන්, ඉහළ කාබෝහයිඩ්‍රේට් සහ සීනි ප්‍රමාණයක් අඩංගි ආහාර පාන ගැනීම නිසා විය හැකියි. ගැටලුව නම් කැලරි ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රෝටීන් ප්‍රමාණය අඩු ඉහළ කැලරි අගයක් ඇති ආහාර වර්ග පරිභෝජනයට ඔබට අසීමිත ප්‍රවේශයක් තිබීමයි.

02. මාංශ පේෂි ස්කන්ධය අඩුවීම සහ සන්ධි වේදනා හටගැනීම

ප්‍රෝටීන් විශාල වශයෙන් ගබඩා වී ඇත්තේ අපේ සිරුරේ මාංශ පේශීන් තුලයි. මාංශ පේශීන්ගේ වර්ධනයට සහ මනා පැවැත්මට ප්‍රෝටීන් අත්‍යවශ්‍ය වේ.මාංශ පේශීන් දුර්වලවීම, මස්පිඬු වේදනාව සහ පේශි ස්කන්ධය අඩුවීයාම ප්‍රෝටීන් ඌනතාවයේ ලක්ෂණ වේ. අධ්‍යයන වලින් පෙන්වාදෙන ආකාරයට මෙම තත්වය බහුලවම වැඩිහිටි වයස්ගත පුද්ගලයින් තුල හඳුනාගැනීමට ලැබෙන බවයි.

03. නිය සහ චර්ම ගැටලු හටගැනීම

ප්‍රෝටීන් ඌනතාව හටාගැනීම නිසා ඔබේ නියපොතු දුර්වල වි යාහැකියි. බොහෝ විට නියපොතු පළුදු වීම සහ ඇතැම් විට සුදු ඉරි ස්වභාවයක් ලෙස හෝ දුඹුරු කැලැල් වශයෙන් නියපොතු මත ලක්ෂණ මතුවීමට පටන්ගන්නේ සිරුරේ ප්‍රෝටීන් හිඟවීම නිසයි.

ප්‍රෝටීන් ඌනතාවය සමේ නීරෝගිකමට ද හානි ඇතිකරයි. ප්‍රෝටීන් මඟින් නව සෛල නිපදවීම, සෛල ප්‍රතිසංස්කරණය කරවීම මෙන්ම නව සෛල හරහා මැරුණු සෛල ඉවත්කිරීම ද සිදුකරයි. ප්‍රෝටීන් ඌනතාවය හටගත් විට මේ ක්‍රියාවලින් ඇණහිටීමට පටන්ගනියි. සම අධික ලෙස වියළීයාම, සමේ පොතු ගැලවීයාම (කොරපොතු ස්වභාවය) සහ සම පැලීම සිදුවන්නේ එසේ වූ විටයි.

04. හිසකෙස් හැලීම

හිසකෙස් වලින් 90% ක් ම නිර්මාණය වී ඇත්තේ කෙරටීන් නම් ප්‍රෝටීනයෙනි. සිරුරට නිසි ප්‍රෝටීන් පෝෂණයක් නොලැබෙන විට හිසකෙස් ස්වභාවයෙන් වඩාත් තුනී වී පැහැයෙන් දුර්වර්ණ වූ පෙනුමකට පත්විය හැකිය. මෙසේ සිදුවන්නේ සිරුර විසින් දැනට පවතින ප්‍රෝටීන් පෝෂණය හිසකෙස් වර්ධනය වැනි අත්‍යාවශ්‍ය නොවන ක්‍රියාවලින් සඳහා වැය නොකර ආරක්ෂාකරමින් රඳවා තබාගැනීමට  ප්‍රයාස දැරීම නිසයි.

05. අක්මාවේ තෙල් තත්වය හෙවත් සිරෝසිස්

අක්මාවේ තෙල් තත්වය ප්‍රෝටීන් ඌනතාවය නිසා හටගන්නා ප්‍රධාන  පොදු ලක්ෂණයකි. නිසි පරිදි ප්‍රතිකාර නොකලහොත්, Fatty liver disease නම් රෝග තත්වය වර්ධනය වීමට ඉඩ ඇත. එමෙන්ම අක්මාව ප්‍රදාහයට ලක්වීම , අක්මාව තුවාල වීම (සිරෝසිස් තත්වය) මෙන්ම බරපතල ලෙස අක්මාව අකර්මන්‍යවී යාම පවා සිදුවිය හැයි.

අධික ලෙස මත්පැන් පානය කරන පුද්ගලයින්, ස්ථූලතාවයෙන් පෙළෙන අය සහ කුඩා දරුවන් තුල පවා මේ තත්වය මතුවිමේ හැකියාව බහුලය.

06. අස්ථි බිඳීයාමට ඇති අවදානම ඉහළ යාම

මාංශ පේශීන් වලට මෙන්ම අස්ථි වල නීරෝගි බව සඳහා ද ප්‍රෝටීන් ඉතා වැදගත් වේ. සිරුරට ප්‍රමාණවත් ලෙස ප්‍රෝටීන් පෝෂණයක් නොලැබෙන විට සිරුරේ අස්ථි දුර්වල වී යාමට පටන්ගන්නා අතර ඒ හේතුවෙන් අස්ථි බිඳියාමට-පළුදුවීමට ඇති අවදානම ඉහළ යයි. මීට ප්‍රධානම හේතුව නම් අස්ථි පරිවෘත්තිය සඳහා මෙන්ම අස්ථි සඳහා අත්‍යවශ්‍ය කැල්සියම් අවශෝෂණය කරගැනීමට ප්‍රෝටීන් ඉතා වැදගත් සාධකයක් වීමයි.

07. නින්ද නොයෑම

නින්ද ආශ්‍රිත ගැටලු හටගැනීම බොහෝ විට ප්‍රෝටීන් ඌනතාවය හා සම්බන්ධ තත්වයක් සේ සැලකේ. නිදිමත ඇතිකරවීම සඳහා ප්‍රධාන කාර්යක් ඉ‍ටු කරන ට්‍රිප්ටෝෆන් (tryptophan) නම් ඇමයිනෝ අම්ල වර්ගය වර්ධනය විම සඳහා ආහාර ලෙසින් අප ලබාගන්නා ප්‍රෝටීන් පෝෂක ඉතා වැදගත් වේ. නින්දට පෙර ප්‍රෝටීන් පෝෂණය අඩංගු ආහාර පාන පරිභෝජනය කිරීම සුවපහසු නින්දක් ඇතිවීමට උපකාර කරන බවයි ඉන් අදහස් වෙන්නේ.

08. “බ්‍රේන් ෆොග් (brain fog) ” හෙවත් මොළයේ මීදුම තත්වය

මොළයේ මීදුම නමින් හඳුන්වන මේ තත්වයේදි තියුණු මතක ශක්තියක් නොමැතිකම සහ මානසික ඒකාග්‍රතාවක් නොමැතිකම ප්‍රධාන ලක්ෂණ වේ. උනන්දුවක් (අභිප්‍රේරණයක්), අලුත් යමක් ඉගෙනගැනීමට -මතකයේ තබාගැනීමට අපහසුබවක් දැනීම, මතකය දුර්වල වීම වැනි ලක්ෂණ පහළ වීම ප්‍රෝටීන් ඌනතාවයේ ලක්ෂණයි. මොලයේ ක්‍රමවත් සහ නිරෝගි ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රෝටීන් අත්‍යවශ්‍ය බව මින් ඔබට පැහැදිලිවනවා ඇති.මනසේ ඒකාග්‍රතාව නැතිනම් අවධානය පවත්වාගැනීම සඳහා උපකාරී වන්නේ ඩොපමයින්, එපිනෙෆ්‍රින් සහ සෙරෙටොනින් වැනි ස්නායු සම්ප්‍රේෂකයි. (ප්‍රෝටීන් ආහාර වල අඩංගු ට්‍රිප්ටොෆන්, ටයිරෝසින්, හිස්ටිඩීන් වැනි ඇමයිනෝ අම්ල වර්ග මොලයේ ස්නායු සම්ප්‍රේෂක සංස්ලේෂණය සඳහා අවශ්‍ය වේ.)

United States Deartment of Agriculture ආයතනය දක්වා ඇති ආකාරයට වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු  දිනකට අවම වශයෙන් ප්‍රෝටීන් ග්‍රෑම් 56 ක ප්‍රමාණයක්, කාන්තාවක්  දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 46 ක ප්‍රමාණයක් පරිභෝජනය කල යුතු බවයි. කුඩා දරුවන් සඳහා ඔවුන් ගේ වයස් වල වෙනස අනුව මෙම ප්‍රමාණයන් ග්‍රෑම් 19-34 දක්වා පරාසයක  තීරණය වේ.ගර්භනී හෝ රෝගී පුද්ගලයින් ලබාගත යුතු දෛනික ප්‍රෝටීන් ප්‍රමාණයන් මෙම අගයන්ට වඩා වෙනස් විය හැකියි.

නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට නම් දිනපතා හොඳ ප්‍රෝටීන් පෝෂණයක් අඩංගු ආහාර ඔබේ පරිභෝජනයට එක්කරගන්න!