ඔබේ නිවසේ ඇති මෙම ස්ථානවල කවදාවත් මුදල් තබන්න එපා

හදිසියකදි භාවිතා කිරීම සඳහා මුදල් සඟවා තැබීම බොහෝ දෙනා සිදුකරන දෙයකි. නමුත්, එසේ සෑම තැනකම මුදල් සැඟවීම ඒවායේ සුරක්ෂිත බවට තර්ජනයක් විය හැකියි. එබැවින් නිවසේ මෙවැනි තැන් වල ඔබේ වටිනා දේවල් සහ මුදල් සඟවා තබන්න එපා!

නිවස පි‍ටුපස

නිවස පි‍ටුපස වලක් හාරමින් මුදල් සැඟවීම එතරම් උචිත අදහසක් නම් නෙවෙයි. ඔබ මෙසේ සිදුකිරීම ඔබේ අසල් වැසියෙකුගේ නෙත ගැටිය හැකි බැවින් එය අවදානම් විය හැකියි. එමෙන්ම ඔබේ නිවසේ බලුසුරතලුන් පොලොව හැරීම නිසා වගේම අධික වැස්ස නිසා ඔබේ මුදල් විනාශයට පත් විය හැකියි.

ඇඳ මෙට්ට යට

ඔබ ‍රැ‍ඳෙන ස්ථානයක් නිසා මෙට්ටය යට මුදල් සැඟවීම ඒවා ආරක්ෂා කරගැනීමට හොඳම ක්‍රමය බව හැ‍ඟෙනවා විය හැකියි. නමුත්, ඔබ නිවසේ නොමැති වූ අවස්ථාවක නිවසට කඩා වැදුණු සොරෙකු විසින් පළමුවෙන්ම පරීක්ෂාවට ලක්කරන ඉලක්ක ස්ථානයක් තමයි මේ.

ෂොපිං බෑග් වල

මේවා සැකයට බඳුන් වන ස්ථාන නොවුණත් ඇතැම් විට නිවසට කඩා වැදුණු අයෙකු තමන් සොරාගත් දේ දමාගෙන යාමට මෙවැනි මලු ‍රැගෙන යා හැකියි. එබැවින්, වටිනා දේවල් මෙවැනි මලු තුල නොතබන්න.

පරණ මුදල් පසුම්බි සහ ගමන් මලු වල

භාවිතයේ නොමැති බව පෙනුනත් මෙවැනි තැන් කෙරෙහි සොර සතුරන්ගේ අවධානය යොමු නොවී තිබෙන්නේ නැහැ. ඒ නිසා මේවායේ මුදල් සඟවන්න එපා.

ලොන්ඩ්‍රි බාස්කට් වල

කිලිටි ඇඳුම් අස්සේ ඔබේ මුදල් සඟවා තැබීම කීවෙකුගේ සැකයට ලක් නොවන ක්‍රමයක් සේ ඔබට සිතිය හැකියි. නමුත්, මෙවැනි බාස්කට් වල සොරකම් කරන ලද ද්‍රව්‍ය බහාලමින් ‍රැගෙන යාමේ අවදානම ඇති බැවින් මීට වඩා බුද්ධිමත් ක්‍රමයක් ගැන සිතිය යුතු වේ.

පින්තූර හෝ ඡායාරූප රාමු පි‍ටුපස

මෙවැනි තැන් අවධානයට යොමුවනවා වැඩි බැවින් ඔබේ මුදල් වල පරිස්සම අවදානමට පත්විය හැකියි.

ශක්තිමත්ව සවිකර නොමැති සේප්පු තුල

සේප්පුවක් කුඩා හෝ විශාල හෝ වේවා එහාමෙහා ගෙන යා හැකි නම් එය සොරසතුරන්ට ගැටලුවක් නොවේ. එවැනි මුදල් සේප්පුවකින් ඔබට ලැබෙන ප්‍රයෝජනයක් නොමැති තරම්ය. එබැවින්, යම් පෘෂ්ඨයකට (බිත්තියට හෝ පොලොව මත) සවිකල අගුලු දැමූ සේප්පුවක් භාවිතා කරන්න.එය හොඳම සහ ආරක්ෂාකාරි ක්‍රමයකි.

ලාච්චු සහ කැබිනට් තුල

මුදල් ආරක්ෂිතව තැබීම සඳහා ලාච්චු හෝ කැබිනට් භාවිතය නුවණක්කාර අදහසක් නම් නොවෙයි. ඒවා අගුලු දමා තිබුණත් සොරුන් හට පහසුවෙන් ඉස්කුරුප්පු නියනකින් හෝ ක්‍රෝබාර් එකකින් ඒවා බිඳදැමිය හැකියි. එමෙන්ම අගුලු දමා ඇති ගෘහභාණ්ඩ ඔවුන්ගේ පරික්ෂාවට ලක්වන ප්‍රධාන ඉලක්කගත ස්ථාන වේ.

මුදල් ප්‍රවේශමින් සඟවාතබාගැනීමට සරල අදහස් කිහිපයක් පහත දැක්වේ.

  • පොලිතින් බෑගයක මුදල් ඔතා මුලුතැන්ගෙයි රාක්කයක් යට නොපෙනෙන සේ ටේප් පටියකින් අලවාගන්න. කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු පෙටිටියේ පතුලේ සූක්ෂම ලෙස සැඟවීමත් කල හැකියි.
  • ජලයට ඔරොත්තු දෙන බඳුනකට මුදල් දමා ශීතකරණයේ අධි සිසිල් කොටසේ හෝ පහළම ලාච්චු කොටසේ තබන්න. එය එතරම් ආකර්ෂණීය පෙනුමක් නොමැති බඳුනක් වීම වඩාත් සුදුසුයි.
  • බොත්තම්, නූල් සහ වෙනත් මැහුම් උපකරණ අතරේ මුදල් සැඟවිය හැකියි.එවැනි තැන් වැඩි අවධානයක් නොලැබෙන තැන්ය.
  • පරණ සපත්තු, ඇඳුම් හෝ පැරණි පරිගණකයක් තුල (භාවිතයේ නැති) මුදල් සැඟවිය හැකියි. ඒවා සුන්බුන් ලෙස දිස්වීම වඩාත් සුදුසුය.