ඔබේ දරුවාට කවදාවත් මෙන්න මේ දේවල් 8 උගන්වන්න එපා

තමන්ගේ දරුවන් හොඳින් හැදෙනවා දකින්නයි හැම දෙමාපියෙකුම කැමති. තමන්ගේ දරුවට හොඳම දේ ලබාදෙන්න හැම තිස්සෙම ඒ අය උනන්දු වෙන්නේ ඒ නිසයි. නමුත්, බහුතරයක් දෙමාපියන් හිතන්නේ තමන් හිතන දේ නිවැරදි බවත් තමන්ට අවශ්‍ය විදියට දරුවා හැසිරිය යුතු බවත් යන ගතානිගතික අදහස් වලිනි. ඇතැම් දෙමාපියන් තම දරුවාගේ මනසේ ඉතාමත් වැරදි ආකාරයේ ආකල්ප ඇති කරනු ලබති. එසේ කරන්නේ අහිතකින් නොව දරුවාගේම යහපත වෙනුවෙන් බව ඔවුන් සිතුවද ඉන් සිදුවන්නේ විශාල වරදක් බව ඔවුන් වටහා නොගන්නා තරම්ය. අද දවසේ අපි කතා කරන්නේ එවැනි ආකාරයේ දරුවාගේ පෞරුෂත්වයට නරක ලෙස බලපෑ හැකි දෙමාපියන් විසින් නිවැරදි කරගත යුතු ගතානුගතික වැරදි ආකල්ප කිහිපයක් ගැනයි. ඔබත් මේ වගේ දේවල් ඔබේ දරුවන්ට කියන කෙනෙක් නම් ඔබේ ඒ අදහස් කසල මෙන් බැහැර කරන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

සතුට යනු උපයාගත යුතු දෙයක් බව

සතුට යනු ඕනෑම කෙනෙකුට පොදු දෙයකි. එය වේදනාව, විනෝදය, දුක, සැපත වැනි ස්වභාවික හැඟීමකි. ඇතැම් අය  ජීවිතයේ සතු‍ටු විය හැකි තරම් දුරක්, දෙයක් තමන් පැමිණ නැති බව සිතමින් සතුටට පත්වීම වරදක් සේ සිතන අය සිටිති. තමා කෙරෙහිම අතෘප්තියකින් කටයුතු කරති. නමුත් සතුට යනු ආයාසයකින් වෙහෙසමින් ලබාගත හැකි දෙයක් නොව, පෙර සඳහන් කලාක් මෙන් ස්වභාවිකව දැනිය යුතු දෙයකි. සතුට රඳා පවතින්නේ මුදල් මත බව, වයස්ගත වන විට සතුට ජීවිතයෙන් පලායන බව, සතුට ‍රැ‍ඳෙන්නේ ශක්තිමත් ආදරණීය සබඳතා ඇත්නම් පමණක් බව, ඇතැම් අය ජීවිතයේ උපරිම සතුටින් ජීවත් වීමට වසානාවන්තව ඉපදී ඇති බව සහා එසේ නොවන්නේ අවාසනාව නිසා  බව යන මිථ්‍යා මත මනසින් බැහැර කල යුතුය.

සතුටින් සිටීමට නම් සතුට දැනෙන දේවල් සිදුකරන ආකාරය ඉගෙන ගන්න. ඔබට හැකියි මේ සරල පියවර අනුගමනය කරන්න: ඔබට උපකාර කල අයට අවංකව ස්තූති කරන්න, සතුටින් සිටීමට ප්‍රිය කරන අය සමඟ  කතාබහේ යෙදෙමින් කාලය ගත කරන්න, අන් අයව අයගන්න, ඔවුන්ට ප්‍රශංසා කරන්න, අන් අයගේ සතුටේදී සතු‍ටුවන්න, අන් අයගේ සාර්ථකත්වය ඔවුන් සමඟ සමරන්න, ජීවිතයේ සැම මොහොතක්ම විනෝදයෙන් ගත කරන්න. මතක තබාගන්න සතුටින් සිටීමට මුදල්ම අවශ්‍ය නැත. අවට සුලං හමන විට වියළි කොළ බිමට කඩා හැලෙන දර්ශණය දෙස මදකට බලා සිටින්න; ඔබට ඔබට සැහැල්ලු බවක් දැනේවි.

වැඩිහිටියෝ දරුවන්ට වඩා දේවල් දන්නා බවත් හැමවිටම වැඩිහිටියන්ට ඇහුම්කන් දිය යුතු බවත් සිතීම

 වැඩිහිටියන් හට ගරුකිරීම ඉතා හොඳ පුරුද්දකි. නමුත්,වයසින් මුහුකුරාගොස් සිටීම විශිෂ්ට බුද්ධිමත් බවක් ඇතැයි සිතීමට තරම් ප්‍රමාණවත් සාධකයක් නොවේ. එබැවින් සැම විටම සෑම වැඩිහිටියෙකුටම ඇහුම්කන් දෙමින් ඒ අයට අවශ්‍ය විදියට ජීවත් වීම සිදුකල යුතු ද? ගරුකිරීම සහා අවනත වීම යනු එකිනෙකට වෙනස් දේවල්ය.අන් අයගේ වුවමනාවන්ට අනුව කටයුතු කරමින් කිසිඳු ස්වාධීනත්වයක් නොලබන දරුවන් අනාගතයේ තනිවම තීරණයක් ගැනීමටවත් හැකියාවක් නොමැති දුර්වල පෞරුෂයක් ඇති අයෙකු වීමට ඉඩ ඇත. දරුවෙකුගේ කායික වර්ධනය පමණක්ම වැදගත් යැයි නොසිතිය යුතුය. දරුවාගේ මනස ද යහපත් ලෙස සහා ධනාත්මක ලෙස වර්ධනය වීමට නම් දරුවා හට ස්වාධීන බවක් සහා යම් යම් දේවල් සිදුකිරීමේදී අවස්ථානෝචිතව උපදෙස් ලබාදීම  සහ සහය ලබාදීම දෙමාපියන් විසින් සිදුකල යුතුව ඇත. ඒ හැර දරුවා හට සෑම වැඩිහිටියෙකුටම අවනත වන ලෙස දැඩිව බලපැම් කිරීම උචිත නැත. එය වැව්‍රදි ආකල්පයකි.

හැමවිටම කරුණාවන්ත වීමෙන් අන් අයද තමන්ට කරුණාවන්ත ලෙස සලකනු ඇති බව

මෙහි වරදක් නැත. නමුත්, ජිවිතයේ සෑම අවස්ථාවකටම එය එසේ වන්නේ ද නැත. දරුවන් හට කුඩා කාලයේ සිට කියාදිය යුතුවන්නේ එයයි. නැතිනම්, කොතරම් හොඳ දේ කලත් මිනිසුන්ට අයහපත ,නරක සහා නපුරු දේවල් ද සිදුවන බව ඔවුන් දැන ගත් විට ජීවිතය කෙරෙහි එක්වරම කලකිරුණු ස්වභාවයකට ඔවුන් පත්විය හැකියි. එබැවින් කුඩා අවදියේ සිටම ඔවුන් හට මිනිසුන්ගේ ස්වභාවය ගැන කියාදෙන්න. ලෝකය යනු කරුණාවෙන් පිරුණු තැනක් නොව දූශණය, අපරාද, අයුක්තිය සහ අසාධාරණයෙන් පිරී ගොස් ඇති තැනක් බව ඔවුන් ට කියා දෙන්න. මිනිසුන් සමඟ බුද්ධිමත්ව කටයුතු කල යුතු බව උගන්වන්න. අන් අය ඔබට මොන දේ කලත් ,අන් අයට හිංසාවක් ඔබ අතින් සිදුවීමට ඉඩ නොතබන්න යැයි ද උගන්වන්න.ඔබ අන් අයට කරදර නොකරන නිසා ඔබට කරදරයක් නොවනු ඇති බව සිතීම “සිංහයෙකු සිටින කූඩුවකට ගොස් මම සිංහයාට කරදර කලේ නැති නිසා ඌ මාව සපා නොකාවියි” සිතීමට සමාන බව ප්‍රවීන ලේඛක පාවුලේ කෝහියෝ වරක් ප්‍රකාශ කර ඇත.

හොඳ බිරිඳක් නම් හොඳට ආහාර පිසිය හැකි වියයුතු බව

ගැහැණු සහ පිරිමින්ගේ සමාජ භූමිකා ගැන ලෝකයේ බිහි වී ඇති ඒකාකෘතික අදහස් ගණන් කල නොහැකි තරම්ය. ගැහැණු ළමුන් මුලුතැන්ගෙයි වැඩ ඉගෙන ගත යුතු බවත් පිරිමි ළමයි ‍රැකියාවක් කර ධනය උපයන ආකාරය ඉගෙන ගැනීම ප්‍රමාණවත් බව හඟවන ආකල්ප කුඩා කාලයේ සිටම දරුවන්ගේ මනසට ඇතුලු කරවන්නේ දෙමාපියන් විසිනි.

වර්තමානයේ කාන්තාවන් ද ඉහළ පෙළේ ‍රැකියාවන් වල නිරත වෙමින් හොඳින් මුදල් උපයති. පිරිමි අය කෝකිවරුන් ලෙස ආහාර පිසින ‍රැකියාවල නිරත වෙති. නමුත්, ඉහත සඳහන් එවැනි ගතානුගතික යල්පැන ගිය අදහස් තවදුරත් සමාජයේ පිළිලයක් සේ පවතියි. ආහාර පිසීම කාන්තාවන්ගේම රාජකාරියක් බව සිතීම කොතරම් සාධාරණ ද? වඩාත් වැදගත් වන්නේ කාන්තා පිරිමි භේදයක් තොරව ආහාර දෙපාර්ශවයටම වැදගත් මූලික ජීවන අවශ්‍යතාවක් බව දරුවන්ට කියා දීමය. එය කාන්තාවන්ට පමණක් සීමා කල වගකීමක් ලෙස දරුවන්ට කියාදීම සුදුසු දැයි ඔබම සිතා බලන්න.එබැවින්, ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව තමන් ඉන්නා තැන පිරිසිදු කරගනිමින් තමන්ට අවශ්‍ය ආහාර පිසගැනීමට දරුවන්ට යම් දැනුමක් ලබාදීම කොතරම් වටිනා පියවරක් ද!

අන් අයට වඩා වෙනස් බව පෙන්නන්න සූදානම් නොවන ලෙසත් “සාමාන්‍ය ” ළමයෙකු ලෙස හැසිරෙන ලෙසත් බලකිරීම

සාමාන්‍ය ළමයි යන වචනයෙන් දෙමාපියන් අදහස් කරන තේරුම් එකිනෙකාගෙන් වෙනස්විය හැකියි. එය දරුවන්ගේ අඳින පලඳින විදිය,හැසිරීම,වයස සහ ස්ත්‍රී-පුරුෂ වෙනස වැනි දේ විය හැකියි. සාමාන්‍ය ළමයි ලෙස හැසිරෙන මෙන් දරුවන්ට උපදෙස් දෙන සෑම විටකම දෙමාපියන් විසින් තම දරුවා වෙනත් දරුවන් සමඟ සන්සන්දනය කිරීමට උත්සාහ කරති. එහිදී ඒ දරුවන්ට වඩා තමන්ගේ අඩුපාඩු ඇති බව දෙමාපියන් දොස්නැගීම එම දරුවාගේ මනසට කොතරම් නරක විදියට බලපානු ඇත්දැයි බොහෝ දෙමාපියන් හට තැකීමක් නැත. නමුත් , එය ඉතා වැරදි දෙයකි. දරුවාගේ දක්ෂතා අන් අයට සමාන නොවිය හැකියි. එය දරුවා සාමාන්‍ය අයෙකු නොවන බව සිතීමට හේතුවක් නොකර ගත යුතුය. එය දරුවාගේ අසමසම හැකියාව මිස අඩුපාඩුවක් නොවන බව බුද්ධිමත්ව වටහා ගන්න. දරුවා අනාගතයේදී ගණිතයට අති දක්ෂයෙකු වී ඉංජිනේරුවෙකුම විය යුතුයි සිතන දෙමාපියන් හට සංගීතයට හෝ නර්ථනයට කැමති තම දුව හෝ පුතා සාමාන්‍ය ළමයෙකු සේ නොපෙනිය හැකියි. ඊට හේතුව වන්නේ අන් කිසිවක් නොව ඔවුන්ගේ මනසේ ඇති එම වැරදි ආකල්පයයි. කිසිවිටෙක දරුවන් අන් අය සමඟ සන්සන්දනය කරමින් ඔවුන්ගේ කුඩා මනස බි‍ඳෙන වදන් නොපවසන්න. ගහක් වැඩෙන්න වුණත් යම් කාලයක් ගත වෙනවානේ ! එ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.

පිඟානේ ඉතිරි නොකර සාමාන්‍ය ළමයෙක් වගේ ඔක්කොම කන්න කියා බල කිරීම

දරුවන් හට ආහාර ගැනීමට බලපෑම් කිරීම ඔවුන්ගේ සෞඛ්‍යයට ඉතා හානිකර විය හැකියි. ආහාර ගත යුත්තේ සිරුරට අවශ්‍ය වූ විටයි. ප්‍රියතාවයක් නොමැතීව ආහාර ගැනීම කුඩා දරුවන් හට  ඉතා අපහසු දෙයකි. දරුවන් හට යම් යම් දේ ලබාදෙන බව කියමින් බලෙන් ආහාර කැවීම බොහෝ දෙනා සිදුකරති. ආහාර වල රසය සහා දරුවන්ගේ රුචිය ඇතිනැති වීම අනුව ඔවුන් ලබාගන්නා ආහාර ප්‍රමාණය වෙනස් විය හැකියි. එබැවින් දරුවාට බලෙන් ආහාර කැවීමට උත්සාහ නොකර සිටීම යහපත් වේවි.

කිසිම වෙලාවක ගැ‍ටුම් ඇතිකරගන්න එපා යනුවෙන් අවවාද කිරීම

ජීවිතයේ අභියෝගාත්මක දේවල් වලට මුහුණ දෙන විට දරුවා ඒ සඳහා වඩාත් හොඳින් සූදානම් කල යුතුය. ඒ අවස්ථා වලදී දරුවා සමඟ සිටිමින් ඔබට ඒවා සඳහා මැදිහත් වීමට ඉඩ නොලැබිය හැකියි. දරුවන්ගේ ගැටලු වලට ජීවිතය පුරාවටම ‍රැඳීසිටිමින් සහය ලබාදීමට දෙමාපියන්ට නොහැකිය. එබැවින් දෙමාපියෙකු ලෙස ඔබට කල හැක්කේ එක් දෙයකි. එනම් ජීවිතයට මුහුණ දීමට දරුවාගේ පෞරුෂත්වය ශක්තිමත් කරවීමයි. එහිදී ඉහත ආකාරයේ ආකල්ප දරුවාගේ මනසේ ඇති නොකරන්න.ජීවිතයේ සෑම දෙයක්ම සාමකාමි වන්නේ නැත. මින් අදහස් වන්නේ දරුවා හට රණ්ඩු කරන ආකාර උගන්වන්න කියා නම් නොවෙයි. තම සතුරා සමඟ සමතයකට පත්වියහැකිනම් එය තමයි උචිතම පිලිතුර බව දරුවාට පහදා දිය හැකියි. නමුත්, අර්බුදකාරී තත්වයකදී කටයුතු කල යුතු බුද්ධිමත්ම ක්‍රමය ගැන දරුවාය සිතීමට ඉඩ දීමත් වැදගත්ය.

මිල අධික දේවල් පරිහරණය කරන අය තමයි ජිවිතේ සාර්ථකව ගත කරන අය බව සිතීම

සුඛෝපභෝගී සහා මිල අධික දේවල් කියන්නේ ජීවිතයේ සාර්ථකත්ව සංකේතවත් කරන දේවල් කියා අපි කුඩා කාලයේ සිටම ඉගෙන ගන්නෙමු. යාන-වාහන, මිල-මුදල්, තට්‍ටු නිවාස, රත්‍රං-මුතු- මැණික් ආභරණ ආදි නොයෙකුත් ද්‍රව්‍යමය දේපළ ‍රැසක් ඇති අය ජීවිතයේ සාර්ථකත්වයට පත් වී සිටින අය බව සිතීම කොතරම් දුරට නිවැරදි ද?

ඇතැම් අය ලෝකයේ මිලෙන් අධිකම දේවල් තමා සතුකරගැනීම සාර්ථකත්වය යැකි සිතද්දී තවත් කෙනෙක් තමන්ගේ පවුලේ අය සමඟ සතු‍ටුදායක ජීවිතයක් ගත කිරීම සාර්ථකත්වය යැයි සිතිය හැකියි. තවත් අයෙක් ‍රැකියාවේ උසස්වීම් ලැබීම සාර්ථකත්වය ලෙස සිතිය හැකියි. ඒ අනුව වැටහෙන්නේ සාර්ථකත්වය යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන, ඒ ඒ අයට ආවේණික නිර්වචනයක් සහිත වචනයක් බවයි. වඩාත්ම වැදගත් දේ වන්නේ තමා තමන්ටම අවංක වීමයි. ඒ නිසා, ඔබට අවශ්‍ය ඇත්තටම සාර්ථක වෙන්න ද නැතිනම් ඔබ අවට සිටින අයට තමන් සාර්ථකයි කියලා පෙන්නන්න ද කියලා ඔබම හොඳින් සිතාබලන්න!