ඔබටත් ආයුෂ වැඩිකරගන්න පුළුවන් ක්‍රම කිහිපයක්

අමරණීයත්වය සත්‍යයක් ද? නැතිනම් මිථ්‍යාවක් ද? අමරණීයත්වය යනු විද්‍යා ප්‍රබන්ධයක් නැතිනම් හුදු මතයක් පමණක් බවයි අවුරුදු ගණනාවක් තිස්සේ මිනිසුන් විශ්වාස කරමින් සිටින්නේ. බොහෝ දෙනෙක් එය දෙවියන් හට පමණක් සිදුකල හැක්කක් ලෙසත් විශ්වාස කරති. කෙසේ වෙතත්, මෙම අමරණීයයත්වය යන සංකල්පය කෙරෙහි නවීන විද්‍යාවන් සහා තාක්ෂණ ක්ෂේත්‍රයන් ද අවධානය යොමුකරමින් සිටියි.අනාගතවාදී විද්‍යාඥයින්ගේ මතයට අනුව ඉදිරි සීමිත වසර ගණනාවක් තුල මිනිසා අමරණීයයත්වයට පත්කල හැකි ක්‍රමය ලොවට අනාවරණය කල හැකි වනු ඇතැයි අනාවැකි පලවේ.

මෙවැනි ගණයේ අධි විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා ඩොලර් මිලියන ගණනින් ආයෝජනය කරමින් සිටින්නේ ‘ගූගල්’ වැනි දැවැන්ත සමාගම් විසින් ය. කෙසේ වෙතත්, විද්‍යාඥයින් මෙම ගවේෂණයේදී බොහෝ අභියෝග සහා ගැටලු වලට ද මුහුණ දෙමින් සිටින බව සඳහන් ය. මිනිසා අමරණියත්වය කෙරෙහි මෙතරම් උනන්දු වන්නේ ඇයි? බොහෝ විට ඒ මරණයට පත් විමට ඇති බිය නිසා විය හැකියි. ඊට ඇති හොඳම විසඳුම උපරිම ආයුෂ ප්‍රමාණය තවත් දීර්ඝ කරගැනීම බව ඔවුන් සිතන්නට ඇත. වර්තමාන විද්‍යා ක්ෂේත්‍රය තුල අමරණීයත්වය ලබාගැනීම සඳහා සිදුකරමින් සිටින පරික්ෂණ වල වත්මන් තත්වය ගැන සොයාබලමු.

පර්යේෂණ කටයුතු තවදුරටත්…

අමරණීයත්වය නම් සංකල්පය කෙරෙහි නවින විද්‍යාව සහා වෛද්‍ය ක්ෂේත්‍රයන් තුල ඇති වී තිබෙන උනන්දුව නිසාම බොහෝම ඉක්මනින් ඵලදායි ප්‍රතිඵලයක් දැනගන්නට ලැබෙන බව ස්ථීරය. උදාහරණයක් ලෙස, ඇමෙරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වෙස්ටර්න් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකල පරීක්ෂණයකින් genetic switch (ජානමය වෙනස්වීම)හෙවත් වයස්ගත වීම සිදුවීමට බලපාන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය අක්‍රීය කල හැකි බව සොයාගැනීමට සමත් වී ඇත. නමුත්, ඒ මිනිස් ශරීරය තුල නම් නොවේ. මේ පර්යේෂණය සිදුකර තිබුණේ පණුවන්ගේ ශරීර යොදාගනිමිනි. කෙසේ වෙතත්, මෙය හොඳ ආරම්භයක් සහා ප්‍රගමනයකි. නුදුරේදීම මෙය මිනිස් සිරුර තුලද අත්හදා බලනු ඇත.

එවැනිම වූ තවත් සාර්ථක පරීකෂණයක් වුයේ තරුණ මීයන්ගේ රුධිරය මඟින් වයස්ගත වු මියන්ගේ ශරීරය බලගැන්විමයි (ප්‍රතිසංස්කරණය කිරිම). පර්යේෂකයින් විසින් පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාවලිය මිනිස් සිරුර තුලද ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි.

ඒ සඳහා ලොව නන් දෙසින් ලැබෙන සහයෝගය ලැබෙමින් පවතියි…

අමරණීයත්වය ලබාගැනීම සඳහා සිදුකෙරෙමින් පවතින ගවේෂණ සහා සායනික පර්යේෂණ සඳහා ආයෝජනය කර තිබෙන මුදල් ප්‍රමාණය අති විශාල ය. ඔවුන් අතරේ ප්‍රසිද්ධ චරිත ද වේ. Larry Ellison (ලොව සිටින පළමු ධනවතුන් 5 දෙනාගෙන් අයෙකි),Sergy Brin (‘Google’ ,Calico Foundation යන සමාගම් වල සම-නිර්මාතෘ) සහා Aubrey de Grey (ප්‍රසිද්ධ විද්‍යාඥ සහා පර්යේෂක) වැනි චරිත මේ කාර්යේදී ප්‍රමුඛත්වය ගෙන සිටිති.

සෛල වල මරණයට මුල් වන බලපෑම්

විද්‍යාඥයෙකු මෙන්ම කතුවරයෙකුද වන Aubrey de Grey විසින් රචිත Ending Aging (2007) කෘතියේ දැක්වෙන පරිදි විද්‍යාඥයින් විසින් මිනිස් ජාන වල ඇති මරණයට මුල් වන සාධක ඉවත් කිරීමට හැකි උපක්‍රම පිලිබඳව පරීක්ෂණ කරමින් සිටිති. සෛල වල වයස්ගත වීම ඇති කරන එවන් සාධක ඔහු විසින් හඳුන්වා ඇත්තේ ‘Deadly SENS’ යනුවෙනි. ඒවා මූලිකව 7 කි.

  • න්‍යෂ්ටික විපර්යාස/විකෘතිතා (nuclear mutations)-සෛල විපර්යාසයට ලක්වීමෙන් පිළිකා ඇති වේ.
  • මයිටොකොනොන්ඩ්‍රීය විකෘතිතා (mitochonondrial mutations)-සෛල වල අඩංගු ශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සංඝටක වේ.
  • අන්තර්සෛලීය සුන්බුන් (intracellular junk)-සෛල මඟින් හරියාකාරව ජීර්ණය නොකෙරෙන ප්‍රෝටීන් කොටස් වේ.
  • බහිර්සෛලිය සුන්බුන් (extracellular junk)-සෛල වල පිටතින් තැන්පත් වන ප්‍රෝටීන් කොටස් වේ. ඇල්සයිමර්ස් රෝගීන්ගේ මොලයේ මෙලෙස ප්‍රෝටීන් තැන්පත් වී ඇත.
  • සෛල විනාශ වීම (cell loss)-ශරීරය තුලදි ප්‍රතිනිෂ්පාදනයට ලක්වීමට නොහැකි වර්ගයේ සෛල විනාශ වූ පසු නැවත වර්ධනය නොවේ.
  • සෛල වෘද්ධතාව (cell senescence)-සෛල විභාජනයට ලක්වීමේ හැකියාව නොමැති වි යාමයි.
  • බහිර්සෛලීය හරස් සබඳතා (extracellular crosslinks)-මේවා නිසා සෛල වල සහා පටක වල ඇදෙන සුලු බව නැතිවී යාමට පටන්ගනියි.

නවීන විද්‍යානුකූල ක්‍රමවේද ඔස්සේ අමරණියත්වය ලබාගැනීමට උත්සාහ කරන ආකාර 5

අමරණීයත්වය ගැන බිහිවී ඇති කෘති, ටෙලිකතා සහා චිත්‍රපට ආදිය ඔබත් රසවිඳ ඇති. මේ සඳහා විද්‍යාවේ දායකත්වය කෙබඳු ස්වරූපයක් ගන්නේ ද කියා අපි විමසා බලමු. ඇරොසෝනා විශ්ව විද්‍යාලයේ පර්යේෂකවරයෙකු වන Wolfgang Fink විසින් වරක් දක්වා තිබූ අදහස මෙසේය “මම විශ්වාස කරන්නේ අමරණීයත්වය ජෛව විද්‍යාත්මක ක්ෂේත්‍රය තුලින් සොයාගත හැකි වනු ඇති බවයි. ශීතජනක ක්‍රම (cryogenic methods) භාවිතා කරමින් හෝ සෛල දන්දෙන්නන්(donors) හරහා සෛල වියපත් වීම සහා මියයාම වළක්වාගැනීම තුලින් ස්වභාවික ආයුෂ වඩාත් දිගුකරගත හැකියි”යනුවෙනි.

විද්‍යාඥයින් විසින් විශ්වාසය තබා ඇති ආකාරයට අනුව අමරණීයත්වය ලබාගත හැකි ආකාර 5 කි.

  • ජාන වල බලය අනාවරණය කරගැනීම- ජාන වල හඳුනානොගත් පැතිකඩ අධ්‍යනය කිරීම හරහා ‘අමරණීය ජාන’ (immorality genes) සොයාගනිමින් සිරුරේ රෝපණය කල හැකි බව.
  • ක්ලෝනිකරණය (cloning)- මිනිස් සිරුරේ කොටස් ප්‍රතිස්ථාපනය කරමින් සම්පූර්ණ වෙනත් මිනිස් ශරීරයක් ගොඩනැගීම. දැනට  වඩාත්  ඉදිරියෙන් සිටින අමරණීයත්වය පිලිබඳ විද්‍යාත්මක සොයාගැනීමයි.
  • ගූහාගෘහය/ ශීත ජනක ක්‍රමවේදය (crogenics)

ජීවීන් සංරක්ෂණය කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදයයි. ඇතැම් පුද්ගලයින්ගේ රෝගයට විසඳුම් සොයාගන්නා තුරු ඔවුන්ව ක්‍රයෝජනික නින්දට(cryogenic sleep) පත් කිරීම සිදුකරයි.

  • සයිබර් මොලය (cyber brain)

සිරුර වියපත් වුවද මිනිසාගේ මනස hard drive එකකට පිටපත් කරමින් බොහෝ කාලයක් රඳවාගත හැකියි. මෙය ‘Russia-2045’ නම් පර්යේෂණ මට්ටමේ පවතින විද්‍යා ව්‍යාපෘතියකි. මෙය ඉදිරි වසර 17 ක කාලය තුලදී සාක්ෂාත් කරගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින පරීක්ෂණයකි.

  • සෛලීය අලුත්වැඩියාවන් (cellular repairs)

නැනෝ තාක්ෂණය යනු වර්තමානයේ දියුණු වෙමින් පවතින විද්‍යා ක්ෂේත්‍රයකි. ඒ අනුව ඉදිරි කාලයේදී මිනිස් සිරුරේ ප්‍රතිසංස්කරණයන් සහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම නැනෝ රොබෝවරුන් හරහා සිදුකරගත හැකි බව අපේක්ෂා කෙරේ.මියයමින් පවතින සෛල නව සෛල මඟින් ප්‍රථිස්ථාන ගත කිරීම සහා සෛල සුවපත් කිරීමේ ක්‍රියාවලින් සිදුකල හැකි විශේෂ හැකියාවක් සහිත රෝබෝ වරු නිර්මාණය කිරිම සඳහා දැනටමත් විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී ඇත.

භාවනා ක්‍රම මඟින් සදාකාලික ජීවිතයක් ලබාගත හැකි ද?

1852 වසරේ උපත ලබා ඇති Dashi -Dhorzho Itigilov නම් බුර්යාටියානු බෞද්ධ ලාමාවරයා අදටත් වැඩ සිටින්නේ භාවනානුයෝගීව මිස මියගොසින් නොවන බව පිලිගැනේ. මේ සඳහා ඔහු මිය ගිය අවස්ථාවේ සිදුවු සිදුවීම විශේෂ හේතුවක් වී ඇත. තම අවමගුල් චාරිත්‍ර සඳහා සියල්ල සූදානම් කල පසු උන්වහන්සේ තම මහණ සගයින් හට චාරිත්‍ර ඉ‍ටුකරමින් භාවනානුයෝගි වන්නැයි පවසා ඇත. එහිදී උන්වහන්සේ පුෂ්පාසනයෙන් වැඩ සිටිමින් තමන් වහන්සේ මේ මොහොතේ මියයන බව ප්‍රකාශ කරමින් භාවනා කිරීමට පටන්ගෙන ඇත. නමුත්, උන්වහන්සේ එම ඉරියව්වෙන්ම වැඩසිටියා මිස නැවත අවදි වී නැත.

අදටත් ඔහුගේ ශරීරය එම භාවනානුයෝගී ස්වරූපයෙන් දිරාපත් නොවී පවතින්නේය. බොහෝ දෙනා විශ්වාස කරන්නේ එතුමන් නින්දකට පත් වි ඇති බව හෝ නිර්වාණය ලබා ඇති බවයි. භාවනාකිරීමෙන් සියලු දෙනා හටම සදාකාලික ජීවිතයක් ලබාගත නොහැකි වීමට ඉඩ ඇත. නමුත් භාවනා කිරීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිඵල ඉතා විශ්මයජනකය. එන්ඩෝ‍ෆින් හෝර්මෝන ශ්‍රාවය කිරීම (ප්‍රීතිමත් බව වඩවන හෝර්මෝනයකි)

  • ආතතීන් දුරුකරලීම
  • සුවබර නින්දක් ලැබීම
  • වේදනා සමනය කිරීම
  • රුධිර පීඩනය අවම කිරීම

මේ සියලු ප්‍රතිලාභයන් ඔබේ ආයුෂ වැඩි කරවන ධනාත්මක බලපෑම් වීම ද විශේෂ වේ.

ශතායුෂ්කයින් හෙවත් වසර සියයකට වඩා ජීවත් වූ පුද්ගලයින් (the centenarians)

අතීතයේ සිට අද දක්වාම ඇතැම් ගැහණුන් සහා පිරිමින් විසින් උපරිම මිනිස් ආයු කාලය ලෙස සැලකෙන වයස අවුරුදු 100 සීමාව පසුකිරීමට සමත්ව ඇත. මේ එවැනි පුද්ගලයින් කිහිපදෙනෙකි:

Jean Calment(1875-1997) – වයස අවුරුදු 122 දින 164 ක් ජීවත් වී ඇත.

Shigechiyo Izumi(1865-1986)- වයස අවුරුදු 120 දින 276 ක් ජීවත් වී ඇත.

Sarah DeRemer Knauss (1880-1999)- වයස අවුරුදු 119 දින 97 ක් ජීවත් වී ඇත.

Lucy Hannah- වයස අවුරුදු 117 දින 248 ක් ජීවත් වී ඇත.

Marie Louse Febronie- වයස අවුරුදු 117 දින 230 ක් ජීවත් වී ඇත.

මෙසේ වයස අවුරුදු සීයකට වඩා අයු වලඳා මියගිය පුද්ගලයින් අතරින් අතැම් අය එළවලු පමණක් ආහාරයට ගත් අය වේ. ඇතැම් අය නිතරම මස් වර්ග සහා වයින් වර්ග භාවිතා කල අය වූහ. ඇතැම් අය දුම්පානය කල අය වූහ. ඇතැම් අය චොකලට වලට ඉතා ප්‍රිය කල අය වූහ, ඔවුන් අතරින් සමහරක් අය ව්‍යායාම සිදුකිරීමට ඉතා අකමැත්තක් දැක්වු අය වූහ. නමුත්, ඔවුන් සෑම දෙනා තුලම දැකිය හැකි වන පොදු ලක්ෂණය වන්නේ ඔවුන්ගේ ජීවිත ඉතා ප්‍රීතියෙන් සහා සරලව ගත කිරීමට හුරුවී තිබීමයි. එබැවින්, විද්‍යාඥයින් විසින් මෙම අමර්ණීයත්වය පිලිබඳ රහස අනාවරණය කරගන්නා තුරු සියලු දෙනාම තමන්ගේ ජීවිත සතුටින් සහා සැහැල්ලුවෙන් ගතකිරීම නොවේද වඩාත්ම සුදු වන්නේ?