එයා ආදරය කරපු විදිහ අදටත් මට දරාගන්න බැහැ – අනුරාධා එදිරිසිංහ

“වස්සාන සිහිනය” ටෙලි නාට්‍යයේ සුමුදු ලෙසත් “මගේ ආදර අවනඩුව” හී නිම්මි ලෙසත් ඔබේ ආලින්දයට පැමිණි ඇය අනුරාධා එදිරිසිංහ යි. මේ දිනවල පුංචි තිරයේ පෙරැළි කරන ලාංකීය රසිකයන් ආදරේ කරන අලුත්ම තාරකාව සමගයි අද අපේ කතා බහ,

අනුරාධා ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ ?
පහුගිය දවස්වල නම් එක දිගටම ෂූටිං නිසා ජීවිතේ ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. ආයෙම කොරෝ-නා වසංගතයත් එක්ක ඒ හැම දෙයක්ම ටිකකට නතර කරලා දාන්න වුණා. ඒ නිසා දැන් ටික දවසක ඉඳන් ගෙදරටම වෙලා ඉන්නේ. කාර්යබහුල වුණ නිසාම මඟහැරුණු දේවල් ටිකත් කරගෙන ගෙදර අයත් එක්ක කාලය ගත කරමින්, ෆිල්ම් බලමින් ගොඩක් සතුටින් මේ දවස්වල කාලය ගෙවනවා.

ඔයාගේ ජීවිතය පටන් ගත්තේ කොතැනින්ද?
මගේ ජීවිතේ පටන් ගත්තේ අපේ පවුලේ බාලම දරුවා විදිහට. මට එක අයියා කෙනෙක් ඉන්නවා. මගේ අම්මාගේ පවුලේ අයගේ සහ තාත්තාගේ පවුලේ අයගෙත් ආදරය එක්කමයි මම හැඳුනේ වැදුනේ. අදටත් එහෙමම තමයි. ඒ දෙන්නාගේම පවුල්වල ගෑනු දරුවෝ අඩුයි. වැඩිපුරම මට වඩා ගොඩක් වැඩිමහල් අක්කලා තමයි ඉන්නේ. ඒ නිසා ඒ හැමෝම මට ආදරෙයි. මගේ තාත්තා මට කතා කළේ චූටි මැණිකේ කියලා. ඒ නිසා මගේ අක්කලා මගේ අයියා මට කතා කළේ චූටි මැණිකේ කියලයි. අදටත් එහෙමම තමයි.

පොඩි කාලේ ඉදම්ම ඔයා ආසා කළේ කවුරු වෙන්නද?
පුංචි කාලේදී තාත්තා ඔයා දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න පුතේ කියලා ඉඳලා හිටලා කියනවා මතකයි. තාත්තා පොලිස් නිලධාරියෙක් නිසා මම ඉගෙන ගත්තේ නීතිය පැත්ත. උසස් පෙළට කළෙත් ඒ හා සම්බන්ධ විෂයන්. මම නීතිඥවරියක් වෙන්න ගොඩාක් ආසා කළා.

අනුරාධා ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂය කොතැනද?
ජීවිතේ හැරවුම වුණේ මගේ තාත්තාගේ වියෝවයි. මගේ තාත්තා මට ආදරය කරපු විදිහ අදටත් මට දරාගන්න බැහැ. මම මොන දේ කළත් මට දඬුවමක් දෙනවා තියා අඩුම ගණනේ මං දිහා රවලවත් බලන්නේ නැතිව මට ලොකු ආදරයක් තාත්තාට දෙන්න පුළුවන් වුණා. ඒ හයිය ගැන කියන්න තේරෙන්නේ නැහැ.

“මම නිළියක්” කියලා අනුරාධාට හිතුණේ කවදාද?
අදටත් මට එහෙම හිතිලා නැහැ. අදටත් මම මගේ ගෙදරට, මගේ නෑදෑයින්ට පුංචිම පුංචි චූටි මැණිකේම තමයි. ෂූටිං කරද්දී කැමරාව ඉදිරියේ මම ඒ ඒ චරිත රඟපෑවත් ඉන් එහාට මම අනුරාධා.

පාසැලේදී දඟ වැඩ කරලා දඬුවම් ලබපු දවසක් පිලිබඳ ටිකක් මතක් කරමුද?

දවසක් මගේ උපන් දිනයට පන්තියේ හැමෝටම කේක් අරගෙන ගියා. ඉතින් යාළුවෝ ඒවාත් කාලා ඩෙස්ක් වලට ගගහ සිංදු කිව්වා. ඒ පීරියඩ් එකේදී එහා පන්තියෙ හිටිය විද්‍යා ටීචර්. ඒ ටීචර් හරිම සැරයි. මාවයි තව සිංදු කියපු කොල්ලෙකුයි නැගිට්ටවලා පන්තිය මැද පුටුවක් තියල ඒකේ අපි දෙන්නටම පීරියඩ් එකක් වාඩිවෙලා ඉන්න කිව්වා. ඇත්තටම ඒ වෙලාවේ මට හිනාගියා. මම හිනාවුණ නිසා ටීචර්ට තවත් තරහ ගිහින් එකම පුටුවේ අපි දෙන්නම පීරියඩ් දෙක්ක වාඩි කරවලා තිබ්බා. අම්මෝ ඒක පුදුමම දඬුවමක් තමයි.

ඔයාගේ ජීවිතේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද?
මට එහෙම ලොකු බලාපොරොත්තු කවදාවත් තිබිලා නැහැ. තාත්තා නැති වුණාම මට වගකීම් ගොඩක් එකතු වුණා අද මට ඕනේ මට ලැබුණු, මගේ ගෙදර අයට නොලැබුණු දේවල් ඒ අයට ලබලා දෙන්නයි. මම කාපු දෙයක් මගේ අම්මා, මගේ අයියගේ පවුලේ අය කාලා නැත්නම් ඒක මම කොහොම හරි ඒ අයට දෙනවා. මම විදෙස් ගතවෙලා තිබුණට මගේ අම්මවත්, මගේ අයියවත්, එයාගේ බිරිඳවත්, එයාගේ දරුවවත් කවුරුවත් එහෙම පිටරට ගිහින් නැහැ. ඒ නිසා ඒ හීන ටික ඒ අයට දෙන්න මට ඕනේ. ඒ අයගේ සතුට වෙනුවෙන් මට දෙයක් කරන්න තියෙනවා නම් මම ඒ දේ කරනවා. ඒක තමයි මගේ බලාපොරොත්තුව.