ආඩම්බරයි බැලුවම ගීතය ලෝකෙම හිට් එකක් උන එක ගැන සුරනි කියන කතාව

ලංකාවේ ගායිකාවක් වෙන රටක ජනප්‍රිය වෙනවා කියන එක නම් ඇත්තටම පුදුමයට කාරණාවක්. මොකද ලෝකයේ එක එක රටවල තරු මෙහේ කිරුළු පැලඳුවට අපේ තරු වෙනත් රටවල කිරුළු පලඳිනවා ගොඩක්ම අඩුයි. හැබැයි මේ කියන්න යන්නේ ලංකාවේ ලෝකෙටම ගිය කතාවක්. ලංකාවේ සුරනි ද මැල් ඉන්දුනීසියාවේ අංක එකේ ට්‍රෙන්ඩ් එකක් බවට පත්වෙලා කිව්වොත් ඔබට පුදුම හිතෙයි. සුරනි මීට අවුරුදු දොළහකට කලින් කරපු ‘ආඩම්බරයි බැලුවම නම්’ ගීතය ඉන්දුනීසියාවේ මේ දිනවල ජනප්‍රියම ගීතය බවට පත්වෙලා මිලියන ගණන් විවුස් ගිහින් ඉතින් අපි හිතුවා මේ සිදුවීම ගැන සුරනි එක්ක ටිකක් කතා කරන්න

  • කොහොමද ජීවිතේ, ඇත්තටම මොකක්ද සුරනි මේ වෙන්නේ?
  • අනේ ඇත්තටම මටවත් හිතාගන්න බැහැ. මම දැනට අවුරුදු දොළහකට විතර කලින් තමයි ආඩම්බරයි බැලුවම නම් ගීතය ගායනා කලේ. හැබැයි පුදුමේ කියන්නේ හිතාගන්න බැරි විදිහට ඉන්දුනීසියාවේ මේ සින්දුව ගොඩක් ජනප්‍රිය වෙලා. ඒ මාස තුනට මිලියන පහකට වඩා ඉන්දුනීසියාවේ මේ සින්දුව බලලා තියෙනවා. ඊට අමතරව පිලිපීනය, තායිලන්තය හා මාලදිවයින වගේ රටවලත් මේ ගීතයට ගොඩක් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.
  • ඇත්තටම කවුද මේ ගීතය කළේ?
  • ඉරාජ් තමයි මේ ගීතය නිර්මාණය කළේ. වසන්ත දුක්ගන්නාරාළ රචනා කෙරුවා. හිතාගන්න බැරි ආකාරයට මේ ගීතය ප්‍රේක්ෂක සිත්වල තැන්පත් වෙලා. මගේ ගීතවලට ගොඩක් කැමති ඉන්දුනීසියාවේ ඩී.ජේ. කෙනෙක් ඉන්නවා එයාගේ නම ඩේසා . ඩී.ජේ. ඩේසා තමා මුලින්ම මේ ගීතයේ සිංහල වචන ඔවුන්ගේ ආරයට වෙනස් කරලා රැප් කරලා තියෙන්නේ. එකම වචනයක්වත් වෙනස් කරලා නැහැ. ගීතය දාපු දවසේ ඉඳලා රැල්ලක් වගේ ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. එකනම් පුදුමයක්
  • කොහොමද සුරනි මුලින්ම දැනගත්තේ ඔයාගේ ගීතයක් මේ විදියට ජනප්‍රිය වෙනවා කියලා?
  • ටිකෙන් ටික ඉන්දුනීසියාවේ අය මාව හොයන්න අරගත්තා. ලංකාවේ මම කරපු අනික් ගීතවලටත් එක පාරම ඉන්දුනීසියාවෙන් කමෙන්ට් වැටෙන්න අරගත්තා. ඔවුන්ගේ සයිට්වලට ගිහින් බලපුවම දන්නේ ආඩම්බරයි මම නම් ගීතය පිස්සුවක් බවට පත්වෙලා ඇත්තටම මට ගොඩක් සතුටුයි ඒ ගැන