අලුතෙන් හදන ඔබේ නිවසේ පෙනුම වැඩිකරගන්න මෙන්න මේ දේවල් 12 නිවසට එකතු කරන්න

නිවසක් ඉදිකිරීමේදී ඉඩකඩ හසුරුවාගනිමින් ක්‍රමවත් සැලසුමක් අනුව ඉදිකරගැනීම ඉතා වැදගත් වේ. නමුත් නිවසේ පිළිවෙල සහ සැපපහසුබව මනාව පවත්වාගැනීම හිතන තරම්ම පහසු නැහැ. ඔබේ නිවස අලංකාර කරගැනීමට සිතා නිවස ඇතුලත බොහෝ භාණ්ඩ පුරවාගැනීමෙන් ඔබ හිතන තරම් ආකර්ෂණයක් නිවසට එක්වන්නේ නැහැ. ඒ නිසා දකින දකින දේවල් මිල දී ගෙන ඔබේ නිවසේ පුරවාගන්න එපා. ඔබේ නිවසේ පෙනුම අති නවීන සුඛෝපභෝගි පන්නයේ නිවසක ඇතුලත දැකිය හැකි සැකසුමකට පත්කරගන්න පහත සඳහන් උපදෙස් ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි.

අභ්‍යන්තර සැරසිලි, සැකසුම් සහ සැලසුම් වලදී ඔබ විසින් නොකල යුතු දේවල් සහ අනුගමනය කල යුතු දේවල් ගැනයි මේ පැහැදිලිකිරීම.

01. විවෘත රාක්ක

පොත් මෙන්ම කුඩා කුඩා සැරසිලි ද්‍රව්‍ය තැන්පත් කර තැබීමට වඩාත් සුදුසුම ස්ථානයක් ලෙස මේවා හැඳින්විය හැකියි. නමුත්, මේවායේ අධික ලෙස භාණ්ඩ වර්ග පුරවා තැබීම එතරම් ආකර්ෂණීය නැහැ.අඩු භාණ්ඩ ප්‍රමාණයක් අසුරා තැබිම සහ භාණ්ඩ අතර හොඳ පරතරයක් තැමීම වඩාත් උචිතයි.

02. පැරණි පොත්

පැරණි පොත් එකතුවක් කියන්නේ බොහෝ නිවෙස් වල දකින්නට ලැබෙන දෙයක්. නමුත්, මෘදු කවර සහිත හෝ ගෙවි ගිය පි‍ටු සහිත පොත් ප්‍රදර්ශණය වන තැනක නොතිබිය යුතුයි. පොත් රාක්ක අලංකරණ ක්‍රමයක් සේ භාවිතා කිරීමේදී  ඒවා රාක්ක තුල පිරවීම හෝ පොත් ලඟ ලඟ තැබීම නොකල යුතුයි. පොත් 2-3 ක් පැත්තකින් අසුරා ඉතිරි හිඩැස් ප්‍රදේශයේ යම් යම් කුඩා සැරසිලි කිහිපයක් අසුරා තැබිම සිදුකල හැකියි. රාක්කයක 80% තරම් ඉඩකඩක් ඔබ භාවිතයට ගෙන ඇත්නම් ඉන් හොඳ ආකර්ෂණීය පෙනුමක් නිවසට එක්වේවි.

03. කුෂන් වර්ග

අලංකාර රටා සහිත කුෂන් වර්ග පුරවා තැබීමට වඩා කවුච් එකක කෙළවර දෙකේ කුෂන් කොට්ට 2-3 උපරිමයෙන් තිබිම වඩාත් ආකර්ෂණීයය. කුෂන් කොට්ට එක උඩ එක ගොඩ ගැසී ඇත්නම් වියවුල් ස්වභාවය ඉවත්වන සේ ඒවා පිළිවෙලකට පේළියකට සකස්කරන්න.

04. බිත්ති වලට සමාන්තරව ගෘහ භාණ්ඩ තැන්පත් කර තිබීම

සෑම ගෘහ භාණ්ඩයක්ම බිත්තිය දෙසට කර අසුරා තිබෙන විට කාමරය තුල ඉඩකඩ ඇහිරී ගිය -ප‍ටු වූ ස්වභාවයක් පෙනිය හැකියි.භාණ්ඩ අසුරා තැබීමේ පිළිවෙල මදක් වෙනස් කිරීමට ඔබට හැකියි. උදාහරණයක් ලෙස කෑම කාමරයේ ඇති කෑම මේසය  හෝ ආලින්දයේ ඇති පු‍ටු මේස කාමරයේ කොනක තිබියදි වඩා මැදට කර අසුරා තැබීමෙන් වඩාත් වැඩි ආකර්ෂණීය පෙනුමක් ඇතිවේ.

05. රාමු කල පින්තූර සහ ඡායාරූප

විවිධ රාමු හැඩයන් වල ඡායාරූප හා පින්තූර ගණනාවක් බිත්තියේ එල්ලා තිබීම තරමක් අපිළිවෙල අවුල් ස්වභාවයක පෙනුමක් ඇතිකරයි. ගෘහ භාණ්ඩයක් ඉහළ බිත්තියේ මෙසේ ඡායාරූප කිහිපයක් එල්ලා තිබීම අලංකාර පෙනුමක් ඇතිකරවයි. කාමරය තුල ඇති ඡායාරූප හා පින්තුර එල්ලා තැබිය යුත්තේ එක් බිත්තියකයි. තැනින් තැන කිහිපයක් බැගින් එල්ලා තැබිම පෙනුමින් කැතය. දීප්තිමත්  වර්ණ කාමර අභ්‍යන්තරය සඳහා භාවිතා කර ඇත්නම් කලු හෝ සුදු පැහැයට හුරු ඡායාරූප එල්ලා තැබීම අපූරු අදහසක් වේවි. ඉන් කාමරයේ ඇති වෙනත් අලංකරණ වල ආකර්ෂණීය බව ද ආරක්ෂා වේ.

06. වයර්

ටීවි සෙට් , නෙට්වර්ක් කේබල්, එක්ස්ටෙන්ඩර්, චාර්ජර් ඇතුලු වයර් වර්ග ආවරණය කිරීමට හැකිනම් ඉන් වඩාත් පිළිවෙල බවක් ඇතිකරගත හැකියි. ක්ලෑම්ප් (clamp) හෝ වෙල්ක්‍රෝ (velcro)  භාවිතා කරමින් ඇතැම් විවෘත වයර් ඇති තැන් ආරක්ෂිතව ආවරණය කල හැකියි.

07. ගෘහභාණ්ඩ

විශාල බවින් ඉතා වැඩි හෝ අතිශය කුඩා ප්‍රමාණයේ ගෘහ භාණ්ඩ පුරවා තිබෙන විට බඩු එක ලඟ එක සිරවී නිවසේ ඉඩකඩ ඇහිරුණු ස්වභාවයක් හෝ හිස්බවක් ඇතිවිය හැකියි.කාමරයේ ඇති මේස පු‍ටු කිහිපයක් ඉවත් කර පිළිවෙලක් සහ වැඩි අවකාශයක් සහිත වාතාවරණයක් කාමරය තුල ඇතිකරවිය හැකියි.

08. ජනෙල් වලට විශාල ‍රැලි සහිත තිරරෙදි යෙදීම

ජනේලයකට තිර රෙදි තිබිය යුත්තේ 2 ක් බව රීතියකි. දෙපස තිර රෙදි වලට ඉහළින් තුන් වන කොටසක් ආකාරයෙන් පහළට ‍රැළි ස්වභාවයක් සහිත තිර රෙදි සැකැස්ම නිසා ජනේලය වඩාත් විශාල වී පෙනේ. කොතරම් ඉඩකඩ සිමා සහිත නිවසකට වුවත් හොඳින් හිරු එළිය වැටීමට ඉඩ සැලැස්වීම මඟින් නිවස ඇතුලත වැඩි අවකාශයක් සහිත පෙනුමක් ලබාගත හැකියි. ඉන් නිවසට හොඳ අලංකාරයක් ද එක්වේ.

09. තද පැහැති සැරසිලි භාණ්ඩ

සුදු හෝ පැස්ටල් වර්ණ භාවිතය තද පැහැති ඒවාට වඩා වැඩි පිළිවෙල-ආකර්ෂණිය ස්වභාවයක් ගනියි. එමෙන්ම තද වර්ණ වල ගෘහ භාණ්ඩ නිසා කාමරය තුල අඳුරු මලානික බවක් ඇතිවිය හැකියි වගේම ඒවා මතුපිට ඉක්මනින් කුණු දුහුවිලි ‍රැඳී ඇති ආකාරයක් දැකිය හැකිය. කාමර සඳහා තරමක් ලා පැහැති වර්ණ භාවිතය වඩාත් ආකර්ෂණීය වේ.අඳුරු වටපිටාවක් ඇති කාමරයක ලා වර්ණ වල ගෘහ භාණ්ඩ යෙදීමෙන් එහි අඳුරු ගතිය බොහෝ දුරට දුරුකරගත හැකිය.

10. ප්‍රමාණවත් නොවන ආලෝකකරණය

කාමරය තුලට හොඳින් ස්වභාවික හිරු එළිය නොලැබේ නම් කෘතිම ලෙස හෝ හොඳ ආලෝකකරණයක් ලබාදෙන්න. මෙවැනි සැකසුම් සඳහා අභයන්තර සැලසුම් ශිලිපීන් භාවිතා කරන උපක්‍රම කිහිපයක් පහත දැක්වේ.

  • සිවිලිම සුදු වර්ණයෙන් තීන්ත ආලේප කිරීම මින් කාමරය තුල හොඳ ඉඩකඩක් සහිත පෙනුමක් ඇතිවේ.
  • බිත්ති සහ සිවිල පරාවර්තක පෘෂ්ට (reflectors)ලෙස භාවිතා කිරීම.උදා: මේස ලාම්පු හෝ පහන් කණු වල ආලෝකය ඒ මතට වැටෙන සේ බිත්ති/සිවිලිම ආසන්නයෙන් ස්ථාන ගත කිරීම.
  • සිහින් රාමුවක් සහිත විශාල කණ්ණාඩියක් හෝ දෙකක් එල්ලා තැබීම. රාමුව නිසා විශාල පෙනුමක් නොමැති මේවා මඟින් කාමරය තුල ආලෝකය හොඳින් පරාවර්තනය කරමින් වටපිටාව තුල වඩාත් සැපපහසු බවක් ඇතිකරවයි.

11. රටා (patterns)

90′ දශකයේ භාවිතා වූ යල් පැන ගිය භාවිතාවක් වූ මෙම රටාවන් කිහිපයක් සංයෝජනය කරමින් නිවස අභ්‍යන්තරය සැරසීම තවදුරටත් ආකර්ෂණීය අදහසක් නොවේ. රටාවන් කිහිපයක් එකට දැකීම ප්‍රියතාවක් ඇති නොකරයි. උදාහරණයක් ලෙස,solid colors කාණ්ඩයේ වර්ණයක සරල ගෘහ භාණ්ඩයක් හෝ දෙකක් පමණක් කාමරය තුල තැබීමෙන් වඩාත් වෙනස් අලංකාර පෙනුමක් ඇතිකරවා ගත හැකියි.

12. සවිකිරීම්

මුලුතැන්ගෙයි විශාල පෙනුමක ඇතිකරගැනීමට නම් එහි ඇති බිත්ති කබඩ් පහතින් නොව සිවිලිම දෙසටම කර සවිකිරීම වඩාත් සුදුසුයි. කබඩ් මෙන්ම කර්ටන් භාවිතයේදීද ඒවා උපරිම උසකින් සහ පළලකින් සවිකිරීම මඟින් නිවසේ ඇතුලත පෙනුම තිබෙනවාට වඩා විශාල පෙනුමකට පත්කරගත හැකි බව සැලසුම් ශිලිපීන්ගේ අදහසයි. ජනෙල් කෙළවර සිට නොව එම දෙකෙළවර සිට අඟල් කිහිපයක් පමණ වැඩිපුර දෙපසින් පොලු යොදා  ජනෙල් තිර රෙදි යෙදීමෙන් වැඩි පළලකින් සහ උසකින් ඒවා සවිකරගත හැකියි. ඉන් ජනෙල් වලට විශාල පෙනුමක් එක්වන අතර කාමරය තුල අවකාශීය පෙනුම සහ පිළිවෙල ස්වභාවය වඩාත් හොඳින් වැඩිකරගත හැකිය.