අලුතෙන් හදන ඔබේ නිවසේ නිදන කාමරයට මේ දේවල් 10 එක් කරන්න එපා

ඔබේ නිදන කාමරයේ ඇති සුවපහසුව ගැන ඔබ සැලකිලිමත් වෙනවා ඇති. නමුත්, ඔබ එහි සැරසිලි සැකසුම් සඳහා භාවිතා කර ඇති ඇතැම් වැරදි භාවිතාවන් නිසා ඔබේ නිදන කාමරයේ අවකාශය ඇහිරී තිබෙනවා විය හැකියි. බොහෝ විට නොගැලපෙන සැලසුම් ක්‍රම නිසා ඔබ අපේක්ෂා කල ආකාරයේ සැකැස්මක් ඔබේ නිදන කාමරය තුල ඇතිකරගන්න ඔබ අපොහොසත් වී තිබෙනවා ඇති. විශේෂයෙන්ම ඔබ දැඩි ලෙස ප්‍රිය කිරීම නිසා ඔබේ නිදන කාමරය තුල තබා ඇති ඇතැම් සැරසිලි වර්ග සහ ක්‍රම ප්‍රායෝගික භාවිතයේදී විවිධ ගැටලු ඇතිකරවිය හැකියි වගේම ඔබේ නිදන කාමරයේ සැපපහසු බවට බාධා ඇතිකරයි. අලංකාර සෑම දේම සෑම තැනකටම උචිත නැහැ වගේම ගැලපෙන්නේ නැහැ.ඒ නිසා නිදන කාමරයක් සැලසුම් කිරීමේදී එහි සුවපහසු බව මෙන්ම ආකර්ෂණීය බව ආරක්ෂා වන සේ ඔබ විසින් මේ වැරදි භාවිතාවන් සිදුනොකිරීමට සැලකිලිමත්වෙන්න.

01. උසින් වැඩි සහ උසින් අඩු ඇඳ මේස (නයිට් ස්ටෑන්ඩ්) භාවිතය

මෙවැනි මේස මිල දී ගැනීමේදී එය නිවැරදි ප්‍රමාණයකින් සහ උසකින් යුක්ත වේ දැයි සැලකිලිමත් විය යුතුයි. ඇඳට වඩා උසින් වැඩි ඒවා සහ මිටි බවින් වැඩි ඒවා මිලදී නොගන්න.කුඩා විදුලි ලාම්පුවක් (ලෑම්ප් ෂේඩ්) තැබිය හැකි ප්‍රමාණයේ කුඩා මේසයක් වඩාත් උචිතය. ඇඳ උසට සමාන උසින් ඇති මේසයක් ‍තෝරාගන්න.

02. කාමරයේ ඇති ඉඩකට වඩා ප්‍රමාණයෙන් ඉතා විශාල ඇඳක් භාවිතය

අලුතින් ඇඳක් මිලදී ගැනීමේදි ඔබේ නිදන කාමරයේ ඉඩකඩ ප්‍රමාණය ගැන අවදානය යොමුකල යුතු අතර වඩාත් විශාල නොවන ඇඳක් ‍තෝරාගන්න. කාමරය තුල ඇති ඇඳක දෙපසින් සහ ඇඳ අවසන් වන සීමාවෙන් එපිටට අවම අඟල් 30ක් (සෙ.මි. 76) ක් පමණ බිත්ති සහ ඇඳ අතර ඉඩකඩක් තිබිය යුතුය. නමුත්, මෙම මිනුම් ඇඳවල් වල ප්‍රමාණය අනුව වෙනස් විය හැකියි.

03. ඇඳේ කොට්ට රාශියක් තිබීම

ඇඳ පුරා විවිධ හැඩයේ කොට්ට සැරසිලි යෙදීම ඇතැම් අය සිදුකරන දෙයක්. නමුත්, බොහෝ කොට්ට ප්‍රමාණයක් ඇඳ මත තිබීමෙන් ඇඳේ ඉඩකඩ ඇහිරියාම සිදුවේ. ඒ වගේම ඇඳ නැවත පිළිවෙලකට සකස් කිරීමේදි ඔබට එය ගැටලුවකි. ඇඳකට කොට්ට අවශ්‍යයි. එසේ නොමැතිව නිදන කාමරයේ පෙනුම සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ ඇඳේ ඉඩකඩ අනුව සහ ඔබේ ප්‍රියතාව අනුව අවශ්‍යම කොට්ට ප්‍රමාණයක් පමණක් තිබෙන්නට හරින්න.

04. නොගැලපෙන විලාසිතාවකින් යුතු ඇඳ විට්ටමක් සහිත ඇඳවල් භාවිතය

ඇඳේ විට්ටම කාමරයේ වෙනත් සැරසිලි සහ සැකසුම් වලට ගැලපෙන එකක් වීම වඩාත් වැදගත් වේ. ඉන් ඔබේ නිදන කාමරයට හොඳ ආකර්ෂණීය පෙනුමක් ලැබේ. ඇඳ හේත්තු කර තබන බිත්තියේ පසුබිම් සැරසිලි සමඟ බොහෝවිට ගලපා ගැනීම සිදුකරන්න.

05. කාර්යාල මේස සහ උපකරණ නිදන කාමරයේ තබා තිබීම

ඔබේ නිදන කාමරය විසින් වඩාත් සුවපහසුව සහ සැහැල්ලුවෙන් නිදහසේ ගත කරන අවකාශය විය යුතුයි. එබැවින් ඔබේ ‍රැකියාවේ කටයුතු නිදන කාමරයට ගෙන ඒම නම් එතරම් උචිත අදහසක් නොවේ. කාමරය තුල කාර්යාල මේසයක් ,පරිගණකයක් තිබීම හොඳ අදහසක් නොවේ.ඉන් ඔබේ නින්දේ ගුණාත්මක බව කෙරෙහිද බලාපෑම් ඇතිකරයි. ඔබට හැකියි මේ සඳහා වෙනත් කාමරයක් හෝ ස්ථානයක් කාර්යාල වැඩකටයුතු සඳහා භාවිතා කිරීමට. කෙසේවෙතත් ඔබේ කාර්යාල මේසය ඇ‍ඳෙන් ගොඩක් ඈත දුරකින් තිබීම නුවණට හුරුයි. විවේකයක් ලබාගන්න ආපු තැනදී ආතතියට පත්වෙන්න අවශ්‍ය නැහැනේ!

06. කාමරයේ ප්‍රමාණයට නොගැලපෙන තරම් කුඩා කාපට් භාවිතා කිරීම

රග් එකක් නැතිනම් කාපට් භාවිතයෙන් බොහෝ දුරට අපේක්ෂා කරන්නේ නිදන කාමරයට හොඳ අලංකරණයක් එක්කිරීමයි. කාමරය තුල බොහෝ ඉඩකඩ ප්‍රමාණයක් ආවරණය වන පරිදි කාපට් යෙදීම සිදුකරන්න. ප්‍රමාණයෙන් කුඩා ඒවා ඔබේ නිදන කාමරයේ ආකර්ෂණීය බව අඩුකරයි.

07. කාමරයේ එක් ආලෝකකරණ මූලාශ්‍රයක් පමණක් තිබිම

නිදන කාමරය සැලසුම් කිරීමේදී කාමරයට ආලෝකය සපයාගන්නා ආකාර ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම ඒවා ස්ථානගත කරන ආකාරය සහ කුමනාකාරයේ ආලෝක ක්‍රමයක් භාවිතා කරන්නේද කියා ඔබ සැලසුම් කල යුතුයි. කාමරයේ ප්‍රධාන විදුලි බල්බයට අමතරව වෙනත් ලාම්පු වැනි දේ කාමරය තුල තබන්න(උදා: නයිට් ස්ටෑන්ඩ් එකක් මත කුඩා ලාම්පුවක් තැබීම වැනි). ඒවගේම තමයි කාමරය තුල වැඩි ආලෝක මූලාශ්‍ර ප්‍රමාණයක් තිබීමෙන් කාමරයේ සැපපහසු ආකර්ෂණීය බව වැඩිවන්නේ නැති බව ඔබ අවබෝධ කරගත යුතුයි. ඒ නිසා ඔබ ප්‍රමාණයට වඩා ගුණාත්මක අතින් වඩාත් උචිත ක්‍රම අනුගමනය කිරීමට සැලකිලිමත්වෙන.

08. වඩාත් ඝනකමින් යුතු හෝ වඩාත් සිහින් තිර රෙදි (කර්ටන්ස්) යොදා තිබීම

තිර රෙදි භාවිතා කරන්නේ ආරක්ෂිත ආවරණ ලෙසයි. සුලං , හිරු එළිය, වැසි වලින් ආරක්ෂාව මෙන්ම පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට අපි තිර රෙදි භාවිතා කාර්න්නෙමු. නමුත්, තිර රෙදි භාවිතයේදී ඔබ මතක තබාගත යුතු දේවල් කිහිපයක් තිබෙනවා. ඝනකමින් වැඩි තිර රෙදි භාවිතය නිසා කාමරය තුලට හොඳින් සූර්යාලෝකය නොලැබී යයි. ඉන් ඔබේ කාමරය උදෑසන සහ දහවල් කාලයේදී පවා වඩාත් අඳුරු ස්වභාවයකට පත්වේ. එය එතරම් ආකර්ෂණීය නැහැ. නිදන කාමරය තුලට හොඳ ආලෝකයක් ලැබීම ඉතා වැදගත් වේ. වඩාත් තුනී තිරරෙදි භාවිතය හේතුවෙන් ඇතුලත දේවල් පිටතට පෙනෙන ස්වභාවය  වැඩි නිසා ඔබේ පෞද්ගලිකත්වය බොහෝ විට අවදානමට ලක්විය හැකියි. වර්තමානයේ බ්ලයින්ඩ් (blinds) වැනි ක්‍රම අතිශය ප්‍රචලිතයි. කාමරයට අවශ්‍ය ආලෝකය ඔබට කැමති ආකාරයෙන් වෙනස් කරගත හැකි පරිදි ඒවා සකසා ඇත.

09. නිදන කාමරය තුල අධික ගෘහ භාණ්ඩ ප්‍රමාණයක් තබා තිබීම

නිදන කාමරය තුල බඩු ගොඩක් දක්නට ලැබීම එතරම් ප්‍රියමනාප නැහැ. ඉන් ඔබේ නිදන කාමරයේ ඉඩකඩ අනවශ්‍ය ලෙස ඇහිරීයන අතර කාමරය තුල එහාමෙහා ගමන් කල හැකි වීම සීමා වේ. වඩාත් විශාල බවින් වැඩි ගෘහ භාණ්ඩ ‍රැසක් නිදන කාමරය තුල නොතැබිය යුතුයි.නිදන කාමරය සඳහා ඇඳවල්, ඇඳ මේස, කබඩ්, කුෂන් පු‍ටු, රාක්ක වැනි නිදන කාමර භාණ්ඩ ‍තෝරාගැනීමේදී කාමරයේ පවතින ඉඩකඩට ගැලපෙන ප්‍රමාණයේ ඒවා ‍තෝරාගන්න්.

10. දීප්තිමත් වර්ණ වලින් යුත් තීන්ත ආලේප කර තිබීම 

රතු, තැඹිලි හෝ තද කහ වැනි දීප්තිමත් වර්ණ වල තීන්ත නිදන කාමරයේ බිත්ති සඳහා කිසිසේත් නොගැලපේ. විශේෂයෙන්ම නිවසේ විවේකයෙන් ගත කිරීම සඳහා භාවිතා වන කිසිඳු කාමරයකට හෝ ස්ථානයකට එවැනි තද වර්ණ භාවිතා නොකල යුතුයි. ඊට හේතුව නම් මෙම වර්ණ ඔබේ මනස සැහැල්ලු වීමට  බාධා ඇතිකිරීමයි. එබැවින්, නිවසේ සාමකාමී පරිසරයක් ඇතිවන ආකාරයේ ලා පැහැති තින්ත වර්ණ බිත්ති සඳහා භාවිතා කරන්න. උදාහරණයක් ලෙස සුදු පැහැයෙන් යුතු තීන්ත භාවිතයෙන් කාමර වල ඇතුලත  විශාල බවින් වැඩි පෙනුමක් ඇතිකරවයි. බිත්ති සඳහා ආලේප කරන වර්ණ ‍තෝරාගැනීමේදී නිදන කාමරයේ ඇති භාණ්ඩ, කාපට්, ඇඳ රෙදි, සැරසිලි වලට ගැලපෙන වර්ණයක් ‍තෝරාගැනීමට ද සැලකිලිමත්වන්න.