අදටත් මිනිස්සු මට ගොඩක් ආදරෙයි – සචිනි අයේන්ද්‍රා

සචිනි අයේන්ද්‍රා අපිට වැඩිපුර දකින්න ලැබෙන්නේ රිදී තිරයෙන්. පහුගිය කාලේ ඇය චිත‍්‍රපට පහක වෙනස්ම විදියේ චරිත පහකට පන දුන්නා. සචිනිත් සමග අපි මේ කතා කරන්න යන්නේ ඒ චිත‍්‍රපට පහ ගැන නම් නෙවෙයී සචිනි අලූතෙන්ම දායක වුණු ටෙලි නාට්‍ය ගැන. වසර හතරකට පස්සේ ඇය ටෙලි නාට්‍යයකට දායක වෙනවා. සචිනි අයේන්ද්‍රා සමග මේ කතාබහ ඒ ගැනයි.

සචිනි අන්ද්‍රා මේ දිනවල අලූත් වැඩ කිහිපයකට අත ගහලා කියන්නේ ඇත්තද?

මේ දවස්වල අලූත් වැඩ කියන්නේ කාලෙකට පස්සේ අලූත් ටෙලි නාට්‍යයකට ලෑස්ති වෙනවා. මේ පවතින තත්ත්වයත් එක්ක තිබුණු වැඩ කිහිපයක් හිතුවේ නැති විදියට කල් ගියා. තව පොඩි පොඩි වැඩසටහන් කිහිපයක් සෙමින් කරගෙන යනවා.

ගොඩක් කාලෙකට පස්සේ සචිනි නේද ටෙලිනාට්‍යයක් භාරගත්තේ?

ඇත්තටම මට ටෙලි නාට්‍යවලට ආරාධනා ගොඩක් ලැබුනා. දිගට දිගට යන ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න මගේ ලොකු කැමැත්තක් නැහැ. මොකද මම ගොඩක්ම චිත‍්‍රපට වලට තමයි සම්බන්ධ වෙන්නේ. දැනට මම චිත‍්‍රපට පහකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා ඉදිරියේදී තිරගත වෙයි. මට හිතුනා ඉඳලා හිටලා ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා. ඉතිං හොඳ අධ්‍යක්ෂවරයකුගේ හොඳ තිර පිටපතක් ලැබුණ නිසා ඒක භාරගෙන වැඩ කරන්න ගත්තා.

සචිනිට මොන වගේ චරිතයක්ද මෙවර ලැබුණේ?

ඇත්තටම මේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තවම ආරම්භ කරලා නැති නිසා මට දැන්ම ඒ ගැන වැඩි විස්තර කියන්න බැහැ. මෙවර කාලෙකට මට ලැබුණේ මම කැමති විදියේ චරිතයක්. මීට කලින් මම මේ වගේ චරිතයක් රඟපාලා නැහැ. ඇත්තටම මේක ගොඩක් වෙනස් අත්දැකීමක් වෙයී

සචිනි ටෙලි නාට්‍යයක් හෝ චිත‍්‍රපටයක් තෝරා ගනිද්දී හරි පරිස්සම් වෙනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම. දැන් මගේ ආදරණීය වස්සානය චිත‍්‍රපටය ගත්තොත් මීට අවුරුදු පහළොවකට කලින් තමයි ඒකේ රඟපෑවේ. අදටත් මිනිස්සු ඒ ගැන කතා බහ වෙනවා. මාව දැක්ක ගමන් පේ‍්‍රක්ෂකයන්ට ඒ චරිතය මතකයි. ඒ චරිතයට ආදරෙයි අපි නිර්මාණයක් තෝරා ගන්නකොට හරි පරිස්සම් වෙන්න ඕනෑ. එහෙම නොවුණොත් පේ‍්‍රක්ෂකයන් අතරට යන්න ගොඩක් අමාරු වෙනවා.

ඔබ රඟපෑ චිත‍්‍රපට අතර වඩාත් තෘප්තිමත් මොන චරිතය ද?

මම රඟපෑ චිත‍්‍රපට අතරින් හොඳම චිත‍්‍රපටය තමයි ගර්භා-ෂය. ඒ චිත‍්‍රපටය තිරගත වෙනකම් තමයි මම ඇඟිලි ගැන ගැන ඉන්නේ. මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑවේ මම සහ සෞම්‍ය ඇත්තටම එක ගොඩාක් හොඳ අත්දැකීමක් උනා ලියනගේ අලූත් අධ්‍යක්ෂවරයෙක් යටතේ තමයි වැඩ කළේ. කොරෝනා නිසා චිත‍්‍රපටය තිරගත වීම කල් ගියා. මම ගර්භා-ෂය චිත‍්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. ඇත්තටම ඒක අනර්ග නිර්මාණයක්,

ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත්?

මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා නොලැබිලත් තියෙනවා. ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දි හරි සතුටුයි. මට නැති වුණ දේවල් වලට වඩා ලැබුණු දේවල් වැඩියි. අනෙක මම නිතරම බලන්නේ මට නැති වුණ දේවල් ගැන නෙමෙයි, මට ලැබුණ දේවල් ගැනයි. මට හොඳ පවුලක් තියෙනවා. ලස්සන දුවලා දෙන්නෙක් ඉන්නවා. හොඳ රස්සාවක් තියෙනවා. ඉන්න තැන ගැන මම හරි සතුටුයි.