අතේ සතයක් නැතුව මම ලෙල්ලටම වැටිලා ඉද්දි එයා තමා මගේ ජීවිතේ වෙනස් කලේ

සෑම වැහි වලාකුළකම රීදී රේඛාවක් තියනවා කියලා කතාවක් තියෙනවනේ. අඳුරු වලාවෙන් පිරුණු ඔහුගේ ජීවිතයේ ලස්සනම ලස්සන රීදී රේඛාව වුණේ ඇය. තමන්ගේ ආදරණීය පෙම්වතිය ගැන මේ විදියට හිතුවෙ, ඒවා වචනවලට පෙරළුවෙ ආදරණීය පෙම්වතෙක්. ඔහු නමින් හර්ෂණ බෙත්මගේ. හර්ෂණ පෙම්වතෙක් බවත්, අරුණැල්ලක් සේ ඇවිත් ඔහුගේ ජීවිතය එළිය කළ අරුණි ඇයගේ පෙම්වතිය බවත් මේ වන විට කාටත් රහසක් නෙමෙයි. කෙ‍ාහොමින් කොහොම හරි ඔන්න දෙන්නා රන් හුයකින් දෑඟිලි බැඳලා, පොතේ අත්සන් කරලා එක වහලක් යටට යන්නයි සූදානම. ලෝකෙට පේන්නෙ නැතිවුණාට චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරලා,

කො-රෝනා අස්සේ කාටත් හොරා දෙන්නා එක වහලක් යටට යන්න හදනවා කියලා ආරංචියි?

කො-රෝනා ආවේ පස්සේ. අපි ඉක්මනින්ම එක වහලක් යටට යන්න සැලසුම් කරලා තිබුණේ. බාධකයක් හැටියට මතු වුණේ කොරෝනා. ඒත් අපි හිතුවා තවත් ප්‍රමාද කරන එක තේරුමක් නෑ කියලා. ඒ නිසා කොරෝනා නීතිවලට අනුගත වෙලා බොහොම චාම්ව පුංචි උත්සවයක් ගන්නවා.

ඒ කියන්නෙ උත්සවයට එන්නෙ ළඟම අය විතරද?

උපරිම පිරිස 50යි නේ පුළුවන්. පවුල් දෙකේම සාමාජිකයො එකතු වුණත් 50ට වඩා සෑහෙන්න වෙනවා. ඒ නිසා තෝරලා බේරලා ළඟම කීප දෙනෙක් විතරක් අමාරුවෙන් තෝරා ගත්තා. මම හිතනවා රටේ තත්ත්වය තේරුම් අරගෙන කවුරුත් අපිත් එක්ක අමනාප වෙන එකක් නෑ කියලා.

ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයිලුනේ. ආදරයේදී වෙච්ච හැල හැප්පීම් එක්ක අරුණිගෙ ආදරයට හර්ෂණ බය වුණේ නැද්ද කොහොමද ඒ ගැටළු වලට මුහුණ දුන්නේ?

මෙගේ අරුණි මට හම්බවුණේ මම මානසික, ආර්ථිකව බිඳ වැටිලා මම නැත්තටම නැති වෙලා හිටපු වෙලාවක. ඒ වෙලාවෙ මට මගේ කියලා හිටියේ දෙමව්පියො සහ සහෝදරයො විතරයි. තනි මතේට වැඩ කරලා සියල්ල නැති කරගෙන ආපහු මට දෙමව්පියො ළඟට යන්න උනේ හිස් අතින්. මට හැමදේම එපා වෙලා හිටියේ. මොකද මම දෙයක් කරන්නෙ ගොඩක් අවංකව. මට මුහුණ දෙන්න වුණේ ඒ අවංකකමට මට ලැබුණෙ දඬුවමක් කියලයි මට හිතුණෙ. ඇත්තටම මම සෑහෙන්න වැටුනා, දෙවියො බුදුන් මේ ලෝක‍ෙ නෑ කියලා හිතුණා. බොරු කියන්න ඕනෙ නෑනේ නැති වෙන්න දෙයක් තවත් ඉතිරිව නැතුව මම නැත්තටම නැති වුණා. කාලක් ගත වුණාට පස්සේ මම හිතුවා කොහොම හරි ඔලුව උස්සනවා කියලා. එහෙම හිතලා තාත්තත් එක්ක මම පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඊට තමයි මට විදෙස් ගත වෙලා හිටපු අරුණි හමුවෙන්නේ. ඉස්සෙල්ලාම අරුණි මගේ බිස්නස් පාට්නර් වුණා.

ව්‍යාපාරික සහකාරිය උන අරුනිව ජීවන සහකාරිය කර ගන්න සුදුසුයි කියලා හිතුණෙ ඇයි ?

අරුණිට මගේ හිතේ ගිනි නිවන්න පුළුවන් වුණා. ඒ ඇය ව්‍යාපාරික වශයෙන් මාව ඔසවලා තිබ්බා වගේම මගේ කැඩුණු හිතත් හරි ලස්සනට පිළිවෙලට පියවරෙන් පියවර හරි ගැස්සුවා. මිතුරියක් විදියට ඇය මට ඒ දේවල් කළේ මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. කාලයත් එක්ක අපි හුඟාක් සමීප වුණා. අපිට අපි නැතුව බැරි උනා,

ඔබේ දෙමව්පියො අරුණිට කැමැති වුණාද මොකද කිවුවේ අලුත් සම්බන්දය ගැන?

ඇත්තටම මේ වතාවෙ නම් සියල්ල සිද්ධ වුණේ දෙමව්පියන්ගෙ කැමැත්තෙන්. ඇය ව්‍යාපාරික වශයෙන් සම්බන්ධ වෙලා හිටිය නිසා මට කිසි දෙයක් හංගන්න බැරි වුණා. අනිත් එක හංගන්න උවමනාවක් තිබුණෙත් නෑ. අම්මා තාත්තගේ පූර්ණආශිර්වාදයත් එක්ක තමයි අරුණි මගේ මනමාලි වෙන්නේ.

අතීතය ගැන තියෙන්නෙ කලකිරීමක් ද?

අනේ නෑ. පොඩි කලකිරීමක් නෑ. වැරදි කරන අයට ස්වභාදහම දඬුවම් දෙනවා. නිකරුණේ වැරදි කාරයො වුණු නිවැරදිකාරයන්ට පහුවෙලා හරි සැනසීමක් ලබා දෙනවා එක තමා හැටි. කාලය සහ ස්වභාදහම මට ලොකු තෑග්ගක් දුන්නා. ඒ අරුණි. ඇය මට සැනසීම ලබා දුන්නා. ඊට වඩා මොනවද..

අරුණි රූපලාවණ්‍ය ශිල්පිනියක්නේ. දැන් ඒ ක්ෂේත්‍රයෙන් අයින්වෙලාද?

නෑ… එයා ඇති දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්. ලංකාවට ආවට පස්සේ තාම ඇයට රූපලාවණ්‍යාගාරයක් දාන්න තරම් විවේකයක් ලැබුණෙ නැහැ. විවාහයෙන් පස්සේ ඒකත් අපේ එක සැලසුමක්. හැමදේම හෙමින් ගොඩනගා ගන්නවා,

එහෙනම් දෙන්නටම ජයසිරි මංගලම් කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!

ගොඩක් ස්තුතියි. මම ක්ෂේත්‍රයට ආව දවසේ ඉඳන් පුළුවන් විදියට උදව් උපකාර කළ මගේ ආදරණීය මාධ්‍ය මිතුරන්ටත් ගොඩාක් ස්තුතියි කියන්නම ඕනේ. මොකද සැපේදි වගේම දුකේදිත් ඒ හැමෝම මට උදව් උපකාර කළ නිසා. ඒ ආදරේ මට කවදාවත් අමතක වෙන්නේ නෑ,