Sat. May 21st, 2022

ඇය මේ දිනවල රිදි සිනමාව සරසන යෞවනයේ පුංචි තාරකාවක්. මේ සුදානම ඇය ගැන කතා කරන්න. නමින් ඇය ඉෂංකා ජාන්වී. මුලින් අපි දැනගන්න කැමති ඔබ කලාවට සම්බන්ධ වුණේ කොහොමද, මගේ තාත්තා තමයි මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ. හැබැයි තාත්තගේ රැකියාවත් එක්ක තාත්තට කලාවට සම්බන්ධ වෙන්න වෙලාව මදි වෙනවා. එනිසාම රංගනයට එන්න තියෙන අවස්ථාද තාත්තට මගහැරිලා තියෙනවා. ඒ දේවල් එහෙම සිද්ධ වුණාට පස්සේ තමයි මමයි මල්ලියි වෙළෙඳ දැන්වීම්වලට ඉදිරිපත් වෙන්න පටන් ගත්තේ.මම වෙළඳ දැන්වීම් 30ක වගේ පෙනී ඉඳලා තියෙනවා. මගේ මුල්ම නිර්මාණය තමයි Solar Eclipse: Depth of Darkness

කියන චිත්‍රපටිය.ඒ චිත්‍රපටයට ලොව පුරා ඉන්න නළු නිළියන් ගත්තා. එතැනදී තමයි මට මුලින්ම අවස්ථාවක් ලැබෙන්නේ. මගේ ප්‍රථම ශ්‍රී ලාංකික නිර්මාණය තමයි ආශාවරී කියන්නේ. ඒ අවස්ථාව ලැබුණ විදිය ගැන මතක් කළොත් මම ශිවන්ත අයියාගේ පුංචි කතාවක් ගීතයේ රූප රචනාව ට සම්බන්ධ වුණා. ඒ නිර්මාණය දැකලා තමයි මට ආශාවරී චිත්‍රපටය තිර පරීක්ෂණයට එන්න කිව්වේ. ඒ කාලේ වෙනකොට මම උසස් පෙළ කරනවා. හැබැයි මම ලොකු උනන්දුවක් එයට දැක්වූයේ නැහැ. අම්මා මාව එයට උනන්දු කළා. තිර පරීක්ෂණයට මම ගිය බොහොම සරල විදිහට. මගේ වාසනාව කියන්නේ එදා මම ඇඳන් ගියපු ඇඳුම හරියටම ඒ තිර පරීක්ෂණයට ගැළපුණා. අවසානයේ තේජා සර් මාවයි තාත්තවයි කැඳවලා කිව්වා මාව චිත්‍රපටයට තෝරා ගත්තා කියලා.

ඔබට රංගනයෙන් දායක වෙන්න සිද්ධ වුණේ හේමාල් සමග. ඉතින් කොහොමද ඒ අවස්ථාව දැනෙන්නේ, ඇත්තටම හේමාල් අයියා කියන්නේ බොහොම නිහතමානී කලාකරුවෙක්. මම හිතන්නේ අපේ සිනමාවට ඉන්න ලොකු සම්පතක් තමයි එයා. මම මේ චිත්‍රපටය රූගත කරන අවස්ථාවේ ද හිටියේ දඟකාර මානසිකත්වයක. ඒකට හේතුව මම පාසල් ගිහින් අයින් වුණා විතරයි. මම හිතන්නේ ඒ නිසාම හේමාල් අයියට මමත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරු වෙන්න ඇති. මම එයාට ගොඩක් කරදර දීලා. වෙලාවකට චරිතයකට අවධානය දෙන්නේ නැහැ කියලා බැනුම් අහලා තියෙනවා. බොහොම සුන්දර මතක ටිකක් මට ඒ නිර්මාණය තුළ තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ වගේ ප්‍රවීණයෝ එක්ක වැඩ කරන්න ලැබීම ගැන. මම අදටත් හේමාල් අයියගේ ලොකු රසිකාවියක්.

කවදහරි දවසක හේමාල්ගේ පෙම්වතිය වෙන්න සිහින දැක්කද, මම පාසල් යන කාලෙ ඉදන් ආදරේ කරපු ආස කරපු කලා කාරයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ආචාර්ය ජයලත් මනෝරත්න. අනිත් කෙනා හේමාල් රණසිංහ. මම පාසල් යන කාලේ පන්ති කට් කරල හේමාල් අයියගේ චිත්‍රපට බලන්න ගිහින් තියෙනවා. ඒ කාලේ ආසාවක් තිබුණා කවදහරි දවසක හේමාල් අයියත් එක්ක රඟපාන්න.

ජීවිතයේ ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවාද, මට තව අලුත් නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. මේ හැමදේම එක්ක මම උසස් අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා. අධ්‍යාපන කටයුතු නිර්මාණ කටයුතු දෙකම සමබරව තමයි කරගෙන යන්නේ.

ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද, මගේ ජීවිතේ මගේ ලොකුම ශක්තිය මගේ අම්මා. මගේ පුංචි වැරැද්දක් දැක්කත් එයා ඒ වැරැද්ද පෙන්නලා දෙනවා. හරියට මගේ ජීවිතේ මගේ යෝධ ශක්තිය මගේ අම්මා. අම්මා ගෙදර නැති උනහම මගේ වැඩ සහ මල්ලිගෙ වැඩ හැම දෙයක්ම කරන්නේ තාත්තා. මටත් මගේ අම්මටත් නිරවුල් මනසකින් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙ මගේ තාත්තා නිසා. මේ හැමදේම එක්ක ලොකු සහයෝගයක් මට පවුල ඇතුලෙන් ලැබෙනවා නිර්මාණ කටයුතු වලට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *